කබරගල කන්ද

517

ස්වභාව සෞන්දර්යයෙන් අනූන සුන්දර දිය ඇලි, කඳු පන්ති හා වනාන්තරයන්ගෙන් සමන්විත වූ මේ පුංචි දිවයින තුළ ඒ ස්වභාවික ආශ්වාදය විඳගන්නට ශ්‍රී ලාංකික අප පමණක් නොව දස දහස් ගණනින් සංචාරය සඳහා ලංකාවට පැමිණෙන විදේශිකයන් ද ප්‍රියතාවයක් දක්වති. අද මේ සටහන වෙන්වන්නේ ස්වභාවදහමට ආදරේ කරන ඒ සුන්දරත්වය විඳින්නට ආසාවක් දක්වන සියල්ලන්ට යෑමට හැකි අපූරු අලංකාර ස්ථානයක් පිළිබඳවයි. දොලොස්බාගේ කඳු පන්තිය යනු ශ්‍රී ලංකාවේ පිහිටා තිබෙන අතිශය සුන්දර කඳු පන්තියකි. මෙය උස් වූ කඳු රාජ්‍යයක් ලෙසින්ද හැඳින්විය හැකිය. මහනුවර දිස්ත්‍රික්කයේ නාවලපිටිය නගරය ආසන්නයේ, බුලත්කොහුපිටිය දේදුගල හරහා යන ගමනේදී දොළොස්බාගේ කඳු වැටියේ උසම කන්ද වන කබරගල කන්ද පිහිටා ඇත. මේ කඳු පන්තිය නිතර මීදුමෙන් වැසී ඇති අතර වැසි වසින සමයන් හිදී මේ ප්‍රදේශයේ සංචාරය කරන්නේ නම්, මනරම් දසුන් කීපයක්ම දැක ගැනීමට හැකියාව ඇත.

මුහුදු මට්ටමේ සිට උසින් මීටර් 1506 ක් පමණ වන කබරගල කන්ද සොබාව සෞන්දර්යයේ අපූරු වූ විස්මිත නිර්මාණයක් වන කබරගොයෙකුගේ හැඩයක් ගත් කඳු පන්තියකි. මෙහි මුදුන අවසන් වන්නේ ෆයිනස් ගස් සමූහය සහිතව පර්වතයෙහි අපූරු පාෂාණ නෙරුවේ පිටතට පැන නගින ලද කඳු ගැට්ට ආසන්නයෙනි. පරිසර විවිධත්වය පෙන්නුම් කරන මෙම කඳුවැටිය තෘණ භූමියක් මෙන්ම මීදුමෙන් වැසීගිය වනාන්තරයක් ලෙසද හැඳින්විය හැකිය. මෙම පරිසර පද්ධතියට ආවේණික වූ කෘමීන් ද, සමනලුන්ද කඳුවැටියට ගෙන දෙන්නේ අලංකාරයකි. ෆයිනස් කැලෑවක් හා තේ වතුයායවල් පසුකර ගෙන කන්ද නැගිය යුතු වන අතර කෙසේ වුවද කන්ද නැගීමට නම් නිශ්චිත මාර්ගයක් සොයා ගත නොහැකිය. ඊට හේතුව මෙහි නිතර මිනිස්සු

නොගැවසෙන බැවිනි. අපහසුතා දරාගෙන කන්ද තරණය කළ පසු එහි මුදුනත සිට අංශක 360 ක වපසරියක් දැක ගත හැකිය. ගමනේ සුන්දරතම ස්ථානය නම් කඳු මුදුනේ කෙළවර එනම්, කබරයෙකුගේ හැඩැති කන්දේ හිස කොටසයි. විශේෂයෙන්ම කඳු නඟින්නන් සහ රාත්‍රී කඳවුරු බඳින්නන් මෙම ස්ථානය තම ජනප්‍රියතම ස්ථානයක් බවට පත් කරගෙන ඇත. ඔවුන්ගේ අදහස අනුව කබරගල කන්ද යනු කඳු නඟින සෑම දිනකම අලුත් අලුත් අත්දැකීම් ලබාදෙන ස්ථානයක් බවය. තෘණ භූමිබාගයෙන් වැසී ගිය මෙම කඳු මුදුනත සිට අහස බැලූ විට වළාකුළු වලින් වැසුනු අහසක් දැකබලා ගත හැකිය. පරිසර ආර්ද්‍රතාවය ඉහළ මට්ටමක ඇති බැවින් ඉලුක්, මානා පඳුරු වැනි විවිධ තෘණ වර්ග ද මෙහි දැක ගත හැකිය.

කබරගල කන්ද ප්‍රදේශය කූඩැල්ලන්ගේ රාජධානියකි. එහෙයින් මෙහි සංචාරය කිරීමේදී කූඩැල්ලන්ගෙන් ප්‍රවේසම් වීමට වගබලා ගත යුතුය. තවද මෙහි සැණෙකින් වෙනස් වන කාලගුණයක් ඇති බැවින් නිතරම මෙම ප්‍රදේශය මීදුමෙන් බරව පවති. එබැවින් ඒ පිළිබඳවත් අවධානය යොමු කිරීම වැදගත් වේ. කබරගල කඳු මුදුනත සිට කොත්මලේ ජලාශය, ශ්‍රී පාදය, අම්බුළුවාව, සප්තකන්‍යා කන්ද හා රාක්ෂගල කන්ද වැනි ස්ථානයන්ද දැක බලා ගත හැකිය. කන්ද නැඟීමට ආරම්භ කර පැය දෙකහමාරක් තුනකින් පසුව View Point ස්ථානයට ළඟා විය හැකිය. සංචාරකයන් බොහෝ අය View Point ස්ථානයට ළඟා වීමෙන් පසුව එය පසුකර නැඟීමට උනන්දුවක් නොදක්වති. නමුත් View Point පසුකර නැංග විට දොළොස්බාගේ කඳුපන්තියේ උසම ස්ථානය වෙත ළඟා වීමට හැකියාව ඇත.

එම්. තාරික්

advertistmentadvertistment
advertistmentadvertistment