කඳුකරයේ දමිළ ජනතාව සමාජයට ඒකාබද්ධ කරනවා – ජනාධිපති රනිල් වික්‍රමසිංහ

54


දහදිය, කඳුළු වැගිරූ කඳුකරයේ දමිළ ජනතාවට සාධාරණය ඉටු කිරීමට සැබෑ වෙනස්කම් අවශ්‍යයි – ඇමැති ජීවන් තොණ්ඩමන්

කඳුකරයේ දමිළ ජනතාව සම්පූර්ණයෙන් ශ්‍රී ලංකා සමාජයට ඒකාබද්ධ කිරීමේ වගකීම ඉටු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙරේදා 02 වැනිදා සඳහන් කළේය.

සියලු ජනතාව ඒකරාශි කර ගනිමින් රට ඉදිරියට ගෙන යෑම සිය අරමුණයි බව හෙතෙම කීවේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙරේදා 02 වැනිදා එම අදහස් පළකළේ කඳුකරයේ වතු ප්‍රජාව මෙරටට ආගමනය වී වසර 200 ක් සැපිරීම නිමිත්තෙන් පැවැත්වෙන ‘අපට 200’ (NAAM 200) යි සංවත්සර ජාතික සැමරුම් උළෙල පෙරේදා (02 වැනිදා) ඒ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැති අවස්ථාවේදීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, මෙරට ආර්ථිකය වෙනුවෙන් සුවිශේෂී දායකත්වයක් ලබාදුන් කඳුකර දමිළ ජනතාව වෙනස් ප්‍රජාවක් ලෙස නොසළකා ඔවුන් සම්පූර්ණයෙන් ශ්‍රී ලංකා සමාජයට ඒකාබද්ධ කිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව කීවේය. කිනම් ජන කොටසක් නියෝජනය කළද සියලු ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ අයිතිවාසිකම් දිනා දීම වත්මන් රජයේ ප්‍රතිපත්තිය බව පැවසූ ජනාධිපතිවරයා සියලුදෙනා එක්කර ගනිමින් ශ්‍රී ලංකාව දියුණු රටක් ලෙස ගොඩනැගීම තම අරමුණ බව ද කියා සිටියේය.

මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ඉන්දීය මුදල් ඇමැති නිර්මලා සීතාරාමන් මහත්මිය සහභාගී වුවාය. කඳුකරයේ දමිළ ජනතාව 5000කට වැඩි පිරිසක් මීට එක්ව සිටි අතර ඔවුන් ඉතා උණුසුම් ලෙස මෙහිදී ජනාධිපතිවරයාව පිළිගත්හ.

කඳුකරයේ දමිළ ජනතාව සමාජයට ඒකාබද්ධ කරනවා - ජනාධිපති රනිල් වික්‍රමසිංහ

දමිළ සංස්කෘතිකාංග රැසකින් උත්සවය වර්ණවත් විය. කොටගල, මවුට්වර්නන් වතුයායේ දිඹුල පහළ කොටසේ ඉන්දීය ආධාර යටතේ ඉදිකිරීමට නියමිත නිවාස 10,000කින් යුත් ව්‍යාපෘතිය සඳහා මුල්ගල් තැබීමේ අවස්ථාවට ද මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය මුදල් ඇමති නිර්මලා සීතාරාමන් මහත්මිය මාර්ගගත තාක්ෂණය ඔස්සේ එක් වූහ. හැටන් වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ ඉදිකරන ලද නව ශ්‍රවණාගාරය සහ පරිගණක ඒකකය විවෘත කිරීම ද මාර්ගගත තාක්ෂණය ඔස්සේ සිදු කෙරුණු අතර පාසල් සිසුන් වෙත පාසල් උපකරණ ප්‍රදානය කිරීම ද සංඛේතවත්ව සිදු විය. ශ්‍රී ලංකාවේ මූල්‍ය ස්ථාවරත්වය ඇති කිරීම වෙනුවෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ප්‍රමුඛ රජය ලබාදුන් දායකත්වය මෙහිදී සිහිපත් කළ ජනාධිපතිවරයා එම සහාය නොවන්නට අද මෙම උත්සවය සාර්ථකව පැවැත්වීමට නොහැකි බව සඳහන් කළ අතර, ඒ වෙනුවෙන් කැපවූ ඉන්දීය මුදල් ඇමැති නිර්මලා සීතාරාමන් මහත්මියට විශේෂ ප්‍රශංසාවක් ද එක් කළේය. මෙම සැමරුම් උත්සවය සමඟ කඳුකර දමිළ ජනතාවගේ ජීවිතවල නව ගමනක් ඇරඹෙන බව පැවසූ ජනාධිපතිවරයා ඔවුන්ට ඉඩම් ඔප්පු ලබාදීම, අධ්‍යාපන අයිතිය තහවුරු කිරීම ඇතුළු වරප්‍රසාද දිනා දීමට ද රජය කැපවී සිටින බව වැඩිදුරටත් පැවසීය.

මෙහිදී අදහස් දැක්වූ අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේ රටට විදේශ විනිමය උපයාදීමට කැපවූ කඳුකර දමිළ ජනතාව වසර 200 පුරාවටම සිය දහදිය, කඳුළු, ලේ වගුරුවා මෙම ලාංකීය භූමිය පෝෂණය කළ අතර නිදහසින් පසු ශ්‍රී ලංකාව ගොඩනැඟීමට වැඩිම දායකත්වයක් ලබා දුන් ජනතාවක් ලෙස ඉතිහාස ගත වන බවයි. ඔවුන්ගේ එම දායකත්වයට නිසි ඇගයීමක් ලබාදෙමින්, ඔවුන් වෙනස් ප්‍රජාවක් ලෙස නොසළකා තවදුරටත් ශ්‍රී ලාංකේය සමාජයට ඒකාබද්ධ කිරීම වෙනුවෙන් පුළුල් වැඩසටහනක් ක්‍රියාත්මක කෙරුණු පළමු අවස්ථාව මෙය බවද අගමැතිවරයා පෙන්වා දුන්නේය.

කඳුකරයේ දමිළ ජනතාව සමාජයට ඒකාබද්ධ කරනවා - ජනාධිපති රනිල් වික්‍රමසිංහ

ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය මෙහිදී අදහස් දක්වමින් කියා සිටියේ කඳුකරයේ දමිළ ජනතාව ශ්‍රී ලාංකීය ආර්ථිකය ශක්තිමත් කිරීම වෙනුවෙන් විශාල දායකත්වයක් ලබා දුන් බවයි. ඔවුන් ඇගයීමට සහ ඔවුන්ගේ වරප්‍රසාද දිනාදීමට රජය ගෙන යන වැඩපිළිවෙළ අගය කළ අමාත්‍යවරිය ඒ සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ඉන්දීය රජය කටයුතු කරන බවද පැවසුවාය.

ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ ලේකම් සහ වැවිලි යටිතල පහසුකම් හා ජල සම්පාදන ඇමැති ජීවන් තොණ්ඩමන් මහතා ද මෙහිදී අදහස් දැක්වීය. මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීම වෙනුවෙන් ලේ, දහදිය, කඳුළු වැගිරූ කඳුකරයේ දමිළ ජනතාවට සාධාරණය ඉටු කිරීමට නම් දේශපාලන යෝජනාවලට වඩා සැබෑ වෙනස්කම් අවශ්‍ය බව පෙන්වා දුන් ඒ මහතා එම වෙනස ඇති කිරීමට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා විශාල දායකත්වයක් ලබාදෙමින් සිටින බවත් ඒ වෙනුවෙන් සමස්ත ශ්‍රී ලාංකීය ජනතාව වෙනුවෙන් ඉන්දීය රජය වෙත ස්තූතිය පළ කරන බවත් පැවසීය.

මෙම අවස්ථාවට මහා සංඝරත්නය ඇතුළු සර්ව ආගමික නායකයන් ද, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, නිමල් සිරිපාල ද සිල්වා, සුසිල් ප්‍රේමජයන්ත, අලි සබි්‍ර, මහින්ද අමරවීර, බන්දුල ගුණවර්ධන, මනුෂ නානායක්කාර, ලසන්ත අලගියවන්න, පාර්ලිමේන්තුමේන්තුවරුන් වන වජිර අබේවර්ධන, වඩිවේල් සුරේෂ්, දුමින්ද දිසානායක, නිමල් ලන්සා, එම්. ඒ. සුමන්තිරන්, ශානක්කියම් රාසමාණික්කම්, මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ ගමගේ, බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන්, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක යන මහත්වරුන් ද, විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයන්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු දෙස් විදෙස් ආරාධිතයින් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment