කරදියනාරු නිධන් හාරන්න ගිය අයි. පී. ඇතුළු 4 ක් අත්අඩංගුවට

236

කරදියනාරු ප්‍රදේශයේ නිධන් හෑරීමට මෝටර් රථයකින් ගමන් කරමින් සිටි පොලිස් පරීක්‍ෂකවරයකු (අයි.පී) සහ තවත් පුද්ගලයින් තිදෙනකු අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකාය සමත් විය.

පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් කාරක්කාඩු ප්‍රදේශයේ ක්‍ෂණික මාර්ග බාධකයක් යොදවා තිබෙන මොහොතක සැක කටයුතු අන්දමින් පැමිණි මෝටර් රථයක් නවත්වා තිබේ. එහිදී රථය පරික්‍ෂා කිරීමේදී අධිතාක්‍ෂණික ස්කෑන් යන්ත්‍රයක් තිබී ඇත.

එහිදී රථයේ සිටි අදාළ සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී නිධන් හෑරීම සඳහා යන බව පවසා තිබේ. තවදුරටත් ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමේදී ඉන් එක් අයකු මිරිහාන පොලිසියේ සේවය කරන පොලිස් පරීක්‍ෂකවරයකු බව හෙළිවී තිබේ.

අදාළ පොලිස් පරීක්‍ෂකවරයා අසනීප නිවාඩු ලබා සිටින අයකු බව හෙළිවිණැයි එම බලකාය පවසයි.

අත්අඩංගුවට ගත් පොලිස් පරීක්‍ෂකවරයා 50 හැවිරිදි වියේ පසුවන වාද්දුව ප්‍රදේශයේ පදිංචි අයෙකි. අනෙක් සැකකරුවන් අවුරුදු 46 ත් 58 ත් අතර වයසේ. පසුවන රුවන්වැල්ල, සියඹලාපේ, බෙන්තොට යන ප්‍රදේශවල පදිංචි අය බවත් එම බලකාය කියයි.

සැකකාර පොලිස් පරීක්‍ෂකවරයා ඇතුළු සැකකරුවන් එරාවුර් මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරි නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාගේ අධීක්‍ෂණය යටතේ නිලධාරීහු කණ්ඩායමක් වැටලීම සිදුකළහ.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment