කහවත්තේ මව මැරුවේ රන් බඩු පලහිලව්වකට!

687

අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු 1තෙක් රිමාන්ඩ්

සැකපිට සිටි දියණිය මුදාහැරේ

ඝාතනයට යොදාගත් පිහියත් හමුවේ

මවගේ රන් බඩු සොරාගෙන තැනකට විකුණලා:මළ ගෙදරත් ඇවිත්

කහවත්ත, වැල්ලදුර වෙලේවත්ත ප්‍රදේශයේ නිවසක් තුළදී හැත්තෑ එක් හැවිරිදි තිදරු මවක අභිරහස් ලෙස ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු කහවත්ත පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන පැල්මඩුල්ල මහෙස්ත්‍රාත් නුතිනන් සිරිවර්ධන මහතා වෙත ඊයේ (29 දා) ඉදිරිපත් කළ පසු ලබන 01 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

මෙලෙස ඝාතනයට ලක් වූයේ කහවත්ත, වෙලේවත්ත විනීතා ජයසුන්දර (71) නමැති තිදරු මවකි.

මෙම සැකකරු ඝාතන සිද්ධිය වූ දිනයේ එම මියගිය කාන්තාව සිටි නිවසට පැමිණ ඇති බවත්, මීට පෙරාතුව සැකකරු විසින් සොරාගත් කාන්තාවට අයත් රන් භාණ්ඩ සම්බන්ධ ආරවුලක් මුල්කර ගෙන මෙම ඝාතනය සිදුකර ඇති බවත් මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

මෙලෙස රක්‍ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ කහවත්ත පලන්සූරියගම, ගමගෙදර පදිංචි පස්දරු පියකු වන ටී. ඒ. අරුණ සංජීව නමැත්තෙකි.

මෙම සැකකරු කුලී වැඩ කරමින් ජීවිකාව ගෙන ගොස් තිබෙන අතර ඉකුත් ජුනි මාසයේදී ඝාතනයට ලක් වූ කාන්තාවට අයත් රත්තරන් බඩු සොරාගෙන කහවත්ත වෙළෙඳසලකට විකුණා තිබෙන බව පොලිස් පරීක්‍ෂණවලදී හෙළි වී ඇත.

අදාළ වියපත් කාන්තාව පදිංචි නිවසට ඉකුත් 13 වැනිදා දහවල් කාලයේ පැමිණ ඇති සැකකරු එහිදී අදාළ කාන්තාව සමග මෙලෙස ආරවුලක් ඇති කර ගෙන ඇතැයි ද හෙළි වී තිබේ.

මෙම අභිරහස් ඝාතනයෙන් පසු පොලිසියට ලැබුණු තොරතුරුවලට අනුව එම මියගිය කාන්තාවගේ බාල දියණිය පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය. එලෙස සැකපිට මුලින්ම අත්අඩංගුවට ගත් බාල දියණිය අධිකරණයට ඉදිරිපත් කළ පසු ලබන 01 වැනිදා තෙක් රක්‍ෂිත බන්ධනාගාර ගත කර තිබිණි. පොලිසිය ඉදිරිපත් කළ තොරතුරු සැලකිල්ලට ගත් අධිකරණය සැකපිට රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටි බාල දියණිය වන මේනකා සංජීවනී එදිරිසිංහ මෙනෙවිය මුදාහැරීමට නියෝග කළේය.

අධිකරණයේදී මේ සම්බන්ධයෙන් යමක් කීමට ඇත්දැයි සැකකරුගෙන් විමසූ අතර මා එහි ගියේ නැතැයි සැකකරු කියා සිටියේය. ඝාතනයට යොදාගත් තියුණු මුවහත් සහිත පිහිය ද පොලිසිය විසින් සොයාගෙන තිබිණි. බිත්තියේ තිබූ ලේ පැල්ලම සහිත සලකුණ පිළිබඳවත් ශේෂ කොටස් පිළිබඳ රස පරීක්‍ෂක වාර්තාවක් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසත් අධිකරණය විසින් නියෝග කෙරිණි.

තවද මියගිය අයගේ අතුරුදන්ව ඇති දුරකථනය හා එදින ලබාගෙන ඇති ඇමතුම් සහ සැකකරු විසින් එදින හා ආසන්න දිනවල ලබාගෙන ඇති ඇමතුම් සම්බන්ධ සවිස්තර සටහන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට ද නියෝග කෙරිණි. එදින සැකකරු විසින් භාවිත කළ දුරකථනයේ සිම්පත ඉවත්කර ඇති බවත්, ඇමතුම් මකා ඇති බවත්, පොලිසිය අධිකරණය හමුවේ ප්‍රකාශ කළහ. ඝාතනයෙන් පසු සැකකරු එම වියපත් කාන්තාවගේ අවමඟුල් කටයුතුවලට ද එක්ව සිටි බව ද පොලිසිය අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

ඕපනායක – ජයලත් එම්. විමලසේන, කහවත්ත – සමරවීර නිරෝෂණ

advertistmentadvertistment
advertistmentadvertistment