කළුබෝවිල රෝහල කොරෝනා රෝගීන්ගෙන් පිරිලා… කාර්ය මණ්ඩලයේ සියයකටත් ආසාදනය වෙලා… සමහර රෝගීන් එළිමහනේ ගස් යට

812

කොළඹ ජාතික, කළුබෝවිල, කරාපිටිය, රත්නපුර ඇතුළු රෝහල් රැසක්ම මේ වනවිට කොවිඞ් රෝගීන්ගෙන් පිරී ඉතිරීගොස් තිබේ. එවැනි තත්ත්වයක් තුළ තමන්ට ප‍්‍රතිකාර සලසා ගැනීමේදී පහසුකම් නැතැයි ද රෝගීහු චෝදනා කර සිටිති. මෙවැනි වාතාවරණයක් තුළ කරාපිටිය හා රත්නපුර රෝහල් හදිසි තත්ත්වයක් ප‍්‍රකාශයට පත්කර තිබේ.

 ඊයේ (05 වැනිදා* දිනයේ කළුබෝවිල දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ වාට්ටු පහක් කොවිඞ් රෝගීන්ගෙන් මුළුමනින්ම පිරී ඉතිරී ගොස් තිබිණි.

 ඇඳන් නොමැති කමින් තමන්ට බිම හිඳීමට සිදු වී ඇතැයි කළුබෝවිල දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි කොවිඞ් රෝගීන් කිහිපදෙනකු දුරකථන මාර්ග ඔස්සේ පැවැසීය. එහිදී නම හෙළිකිරීමට අකමැති වූ ඔවුහු මෙසේ කීය.

 රෝහලේ ඉඩකඩ නැහැ මහත්තයෝ… කන්න තැනක් නැහැ. හරි අමාරුයි අපිට. ඩොක්ටර්ස්ලා නර්ස්ලා අපිට උපරිම ප‍්‍රතිකාර කරනවා. ඒ අය අවදානමත් දරාගෙන දෙවිවරු වගේ වැඩ කරනවා. වාට්ටුවල ඉඩ නැතිකමින් වාට්ටුවල බිමත් ලෙඞ්ඩු ඉන්නවා. මාර නරකම කාලයක් මේ. කොරෝනා නම් හදාගන්න එපා හොඳේ. හැදුණොත් අන්තිම දරුණුයි. හැමදෙනාටම කියන්නෙ පරිස්සම් වෙන්න කියලයි.

කළුබෝවිල රෝහල කොරෝනා රෝගීන්ගෙන් පිරිලා... කාර්ය මණ්ඩලයේ සියයකටත් ආසාදනය වෙලා... සමහර  රෝගීන්  එළිමහනේ  ගස් යට

එමෙන්ම, කළුබෝවිල රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ බොහෝ පිරිසක් කොවිඞ් ආසාදිතයන් බවට පත්වී ඇතැයි වාර්තාවිය. එහිදී අදහස් රෝහල් කාර්ය මණ්ඩල සාමාජිකයකු මෙසේ පැවැසීය.

 අපේ රෝහල් කණිෂ්ඨ කාර්ය සහායක පිරිස, වෛද්‍යවරුන්, හෙද නිලධාරීන් තමන්ගේ ජීවිතය ගැන හිතන්නෙ නැතුව මේ කොවිඞ් රෝගීන් වෙනුවෙන් කැපවෙනවා. දැන් තත්ත්වය නම් අන්තිම දරුණුයි. රෝහල කොවිඞ් රෝගීන්ගෙන් පිරිලා. අපේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ 100 කට වැඩි පිරිසක් ආසාදිතයන් බවට පත්වෙලා. මෙහෙම ගියොත් කළුබෝවිල රෝහලේ මුළු වාට්ටු ටිකම කොරෝනා රෝගීන් වෙනුවෙන් වෙන් කරන්න වේවි.

 අනිත් කාරණාව තමයි කොවිඞ් එන්නත විදගන්න අවුරුදු 60 ට වැඩි අය විශාල පිරිසක් ඇවිත් ඉන්නවා. මෙතන මීටරයක පරතරයක් නැහැ. ඔක්කොම එකගොඬේ. මෙතන වෙනම කොරෝනා හැදෙනවා.

 මේ අතර ඊයේ (05 වැනිදා* අලූයම කළුබෝවිල දකුණු කොළඹ ශික්ෂණ රෝහලට තම මව සමග පැමිණි සිරස නිවුස් ෆස්ට් මාධ්‍යවේදීනී තිලක්ෂණී මධුවන්තී සිය ෆේස්බුක් ගිණුමේ සංවේදී සටහනක් කර තිබිණි.

 මෙවැනි තත්ත්වයක් උද්ගතව තිබෙන මොහොතක අප මේ සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමට මුලින්ම කළුබෝවිල දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සාගරී කිරිවන්දෙණිය මහත්මිය සම්බන්ධ කරගත්තෙමි.

 කොවිඞ් රෝගීන් මේ වෙනකොට වාට්ටු පහක සම්පූර්ණයෙන්ම පිරිලා. සමහර ලෙඞ්ඩු බිමත් ඉන්නවා. අපි තවත් වාට්ටු දෙකක් අද කොවිඞ් රෝගීන් වෙනුවෙන් ගන්න කටයුතු කරගෙන යනවා. මේ

 ගන්න වෙන්නේ අනෙකුත් රෝග සඳහා ප‍්‍රතිකාර ලබන රෝගීන්ගේ වාට්ටු. මේ අනෙක් ඔක්කොම වාට්ටු කොවිඞ් රෝගීන් සඳහාම ගන්න ගියොත් අනෙකුත් රෝගාබාධ සඳහා රෝහල්ගතවන අයට ප‍්‍රතිකාර ගන්න වාට්ටු නැතිවේවි.

 ඒ නිසා ජනතාවට මා කියන්නෙ මේ දිනවල කරුණාකරල පරිස්සම් වෙන්න කියලයි. කොවිඞ් රෝගීන් දිනපතා රෝහලට එන ප‍්‍රමාණය වැඩියි. මේක අපේ කාර්ය මණ්ඩලයට දරාගන්න අමාරුයි.

 මීළඟට අපි කළුබෝවිල දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාව සම්බන්ධ කරගත්තෙමු.

 රෝහලේ කොවිඞ් රෝගීන් 250 කට වැඩි පිරිසක් ප‍්‍රතිකාර ගන්නවා. කොවිඞ් ආසාදිත ගැබිණි මව්වරුන් 5 දෙනෙක් ඉන්නවා. ඒ වගේම කොවිඞ් ආසාදිත දරුවොත් ඉන්නවා.කොවිඞ් රෝගීන් වැඩිවීමෙන් අපේ කාර්ය මණ්ඩලය ලොකු අමාරුවක වැටිලයි ඉන්නේ.

 සංචරණ සීමා පනවලා තිබුණානම් මේ තරම් රෝගීන් වැඩිවෙන්නෙ නැහැ. සංචරණ සීමා ලිහිල් කරපු එකෙන් ජනතාව සෞඛ්‍ය උපදෙස් අමතක කරලා කටයුතු කිරීම නිසා අද කොවිඞ් රෝගීන් වැඩිවෙමින් තිබෙනවා.

 අනිත් කාරණාව තමයි රෝහලේ ඔක්සිජන් සැපයුම කළමනාකරණය කරගත්තෙ නැත්නම් ඔක්සිජන් හිඟයකුත් මතුවෙලා රෝගීන් මියයන්නත් පුළුවන්.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment