මේ කියන විදිහට 17000න් මාසයක් ජීවත්වෙන්න පුළුවන්ද?

90

ගෙවල් ඉඩම් පමණක් නොව පුටු මේස පවා වෙන්දේසියේ

සෑම පවුලක් මතටම මිලියන භාගයක ණය බරක්

මාස 8ට කෝටි 19000ක රන් බඩු උකස් කරලා

කලකට ඉහතදී ලෝකෙන් උතුම් රට, ඉන්දියන් සාගරයේ මුතු ඇටය, ධර්මද්වීපය, සකල සිරින් පිරි සිරි ලංකාව යැයි නොයෙකුත් විශේෂණ පදවලින් හැඳින්වූ අපේ රට අද වන විට ලෝකය ඉදිරියේ බාල්දු වී හමාරය. දැන් මුළු ලෝකයම මෙරට හඳුන්වන්නේ බංකොලොත් රාජ්‍යයක් වශයෙනි. මේ බංකොලොත්භාවය අප ප්‍රකාශ කළ දෙයක් නොව පාලකයන් විසින්ම මුළු ලොවටම හඬගා පැවසූ දෙයකි. මිනීමැරුම්, ස්ත්‍රී දූෂණ මංකොල්ලකෑම් ආදී නොයෙකුත් විෂමාචාර ක්‍රියා බහුලව සිදු වන්නේ වෙන කිසිවක් නිසා නොව මිනිසුන් ආර්ථික අතින් බින්දුවටම වැටී නන්නත්තාර වී සිටින බැවිනි. කීයක් හම්බ කරත් ජීවත් විය නොහැකි මට්ටමට මෙරට ආර්ථිකය පත්වී හමාරය. පත්වී හමාරය නොව පාලකයන් විසින් පත් කර හමාරය. දැනටත් සිදු කරන්නේ එම ක්‍රියා පිළිවෙත ම ය.

රුපියල් 2500 කින් සිව් දෙනකුගෙන් යුත් පවුලකට මාසයක් කා බී සැපෙන් ජීවත් විය හැකි යැයි පැවසූ ආර්ථික ඔස්තාර්ලා සිටින රටක ජනතාවට දෙවියන්ගේම පිහිටය. දිනපතා ප්‍රවෘත්තිවලට නම් මහ බැංකු නිලධාරීන් මෙන්ම මළපහ ගොඩක් දැක්කත් හරි සුවඳයි, රසයි, හොඳයි කියන වරදාන වරප්‍රසාද ලබන ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් කීප පළක් හා ආණ්ඩුවේ හොරණෑ බවට පත්ව සිටින මාධ්‍ය ආයතන කීපයකට අනුව දිනෙන් දින මෙරට උද්ධමනය පහළ යයි. මිනිසුන්ගේ සියලු ප්‍රශ්න විසඳී ඇත. ලෝකෙට වුණු ණය පියවා දමා දැන් කිසිදු ගැටලුවක් නැත. ඔවුන්ට අනුව මේ වන විට මෙරට කිරියෙන් පැණියෙන් උතුරන තත්ත්වයට පත්ව තිබේ. නමුත් පොළොවේ යථාර්ථය ඊට හාත්පසින්ම වෙනස්ය. ජනතාව තුන් තුන්වේලක් තබා එක වේලක් කන්නේත් බොහොම අමාරුවෙනි.

රටේ උද්ධමනයේ තත්ත්වය සැබෑවට ම බලා ගැනීමට නම් උකස් මධ්‍යස්ථානයක් ඉදිරිපිටට යා යුතුය. එවිට රටේ සැබෑ තත්ත්වය දැකබලා ගැනීමට පුළුවන. රත්තරන් බඩුවක් උකස් තැබීමටත් මේ වන විට පැය දෙක තුනක්ම පෝලිමේ සිටීමට සිදුව තිබේ. දිනපතා පුවත්පතක් ගෙන බැලුවහොත් වෙළෙඳ ව්‍යාපාර, ගෙවල් ඉඩම් පමණක් නොව පුටු මේස පවා වෙන්දේසි දැන්වීම් වලින් එම පුවත්පත් පිටු පිරී ඉතිරී පවතී.

එසේම දිනපතා ම පාහේ අහන්නට දකින්නට ලැබෙන්නේ මෙරට ප්‍රධාන පෙළේ ඇඟලුම් ආයතන කර්මාන්තශාලා වැසී යන ප්‍රවෘත්තිය. මාධ්‍යයට වාර්තා නොවන කුඩා හා මධ්‍ය පරිමාණ ආයතන කොතෙක් මේ වන විට වැසීගොස් ගොස් ඇත්ද. මේ සියල්ල අතරේ උද්ධමනය මෙලෙස පහළ යා හැකි ද යන්න හැකිද යන්න පිළිබඳ ජනතාවට ඇත්තේ ගැටලුවකි.

ආණ්ඩුවේ මාසයේ වියදම

මෙරට තුළ ආර්ථික ප්‍රශ්න කප්පරකින් හෙම්බත්ව සිටින ජනතාවගේ දුක සැප සොයා බැලීම ආණ්ඩුවක වගකීමය. මේ නිසා දෝ ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පසුගිය දිනවල පුද්ගලයකුට මාසයක් ජීවත් වීමට කොපමණ මුදලක් වැයවෙත්දැයි සොයා බලා තිබේ. එම දෙපාර්තමේන්තුවේ ගණනය කිරීම්වලට අනුව මාසයක් ජීවත්වීම සඳහා එක් පුද්ගලයෙකුට වැඩිම මුදලක් වැය වනුයේ කොළඹ ප්‍රදේශයේ ජීවත්වන අයට ය. එම මුදල රුපියල් 17,233 කි. මේ වන විට පවතින බඩු මිලත් සමඟ උදෑසන ආහාර වේලක් රුපියල් 250ක් වත් වේ. දිවා ආහාර පාර්සලයක් රුපියල් 300 – 350 වේ. රාත්‍රියටත් එම මිල ම වේ. ඒ හොඳ රස ගුණ පිරි කෑම පාර්සලයක් නොව යන්තම් බඩ කට පුරවා ගත හැකි ආහාර පාර්සලයක මිලයි.

උදෑසන ආහාර සඳහා රු. 200, දහවල් සහ රාත්‍රී ආහාර සඳහා රු. 300 බැගින් වෙන් කළත් දිනකට කෑම සඳහා රු. 800 වියදම් වේ. මාසයකට එවිට රුපියල් 24000ක් වැය කළ යුතුය. අද වන විට එක් එළවළුවක් සමඟ තමන් විසින්ම කෑම සාදා ගෙන කෑවත් දවසකට රුපියල් 400 – 500 ත් අතර මුදලක් වියදම් වේ. අවම වශයෙන් රුපියල් 450 ක් වශයෙන් ගෙන බැලුවත් මාසයකට රුපියල් 13,500 ක් වියදම් වේ. ඉඳුම් හිටුම්, ප්‍රවාහන වියදම්, අනෙකුත් සනීපාරක්ෂක වියදම්, දුරකථන බිල්පත් ආදී ලෙසින් තවත් බොහෝ වියදම් මේ සඳහා එකතු වේ. ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවට අනුව ජීවත්වීමට නම් ඉතිරි රුපියල් 3733 න් මේ සියලු වියදම් ආවරණය කරගත යුතුය.

මහ පාරේ හිඟා කන යාචකයෙකුටවත් මේ මුදලින් ජීවත් විය නොහැක. ඒ තරමටම මේ වන විට බඩු මිල ඉහළ ගොස් තිබේ. බෙහෙත් හේත්, ප්‍රවාහන වියදම් විශාල වශයෙන් වැඩි වී තිබේ. එම දෙපාර්තමේන්තුවට අනුව සිව්දෙනකුගෙන් යුත් පවුලකට ජීවත් වීමට රුපියල් 68,000ක පමණ මුදලක් ප්‍රමාණවත් වේ. නමුත් ගැටලුව වන්නේ එම මුදලින් වියදම් කළ හැක්කේ ආහාර සඳහා පමණක් වීමයි. එය ද හරිහැටි ප්‍රමාණවත් නොවේ. කුලියට සිටින පවුලකට අඩුම වශයෙන් මාසික කුලිය රුපියල් 20000-30000 මුදලක් වියදම් වේ. ජල බිල්, විදුලි බිල් සහ දුරකථන පහසුකම් සඳහා අවම වශයෙන් තවත් රුපියල් 10000-15000 වියදම් වේ. දෙමාපියන්ගේ සහ ළමයින්ගේ ප්‍රවාහන වියදම් සඳහා තවත් රුපියල් 20000-30000 වියදම් වෙයි. ළමුන් දෙදෙනෙක් සිටින නිවසක් නම් අධ්‍යාපන කටයුතු සඳහා මසකට රුපියල් 30,000 ක් වෙන් කළ යුතුය. අද පවතින අධ්‍යාපන රටාවත් සමග ටියුෂන් නොගිහින් බැරිය.

රන් බඩු උකස් තැබීමේ වාර්තා

මේ කියන විදිහට 17000න් මාසයක් ජීවත්වෙන්න පුළුවන්ද?

රටේ පාලකයන්ට ජනතාව කන බොන ආකාරය නොපෙනුනාට එය මැනවින් පිළිබිඹු කරන අවස්ථාවක් පසුගියදා අනාවරණය විය. ඒ ජාතික වෘත්තිය සමිති මධ්‍යස්ථානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා කැඳවූ මාධ්‍ය හමුවකදීය. එහිදී ඔහු පැවසුවේ මේ වසරේ ගෙවී ගිය මාස අටක කාලය තුළ පමණක් රුපියල් කෝටි 19000 රන් භාණ්ඩ උකස් කර ඇති බව සමීක්ෂණයකින් හෙළි වී ඇති බවයි.

මුලින් මුලින් බොහෝ පවුල්වල බිරිඳගේ කරමාලය, සැමියාගෙ මංගල මුදුව උගස් තබා වියදම් පියවා ගන්නා පවුල් අවසානයේ කරන්නට දෙයක් නැති තැන දියණිය මල්වර වූ අවස්ථාවේ කරට දැමූ මාලය, එසේත් නැතිනම් උපන් දිනයකට ආච්චි සීයා තෑගි කළ රන් දම්වැල, කරාබු ජෝඩුව පවා උකස් කරන තත්ත්වයට පත්ව ඇත. අවසානයේ කරන්නට දෙයක් නැතිම තැන බිලිඳාගේ පංචායුධය පවා උකස් අවස්ථා අනන්තවත් අපට අසන්නට දකින්නට ලැබිණි.

මේ ආකාරයෙන් උසස් තබන රන් බඩු වලින් සියයට අසූවක් අනූවක් සින්න වන තත්ත්වයක් උද්ගත වී ඇත්තේ එදිනෙදා වියදමවත් පියවා ගත නොහැකි අවස්ථාවක රන්බඩු සඳහා මුදල් හෝ පොලිය සොයාගත නොහැකි නිසාය. රන් බඩු සින්න වීමට තවත් ප්‍රධාන හේතුවක් වී තිබෙන්නේ දැන් පවතින අධික පොලී අනුපාතිකයයි.

එමෙන්ම මෙම කාලය තුළ ලක්ෂ 5 කට අධික පිරිසක් නිවෙස් වල එකතු කළ මාරු කාසි කැට බැංකු වෙත ගෙනගොස් මුදල් ලබාගෙන ඇත. රත්තරන් බඩු නැති උදවිය මෙන්ම කරන්නට දෙයක් නැතිම තැන දෙමව්පියන් කරන්නේ ළමයින් ආසාවෙන් එකතු කළ රු. 5, 10 කාසි දැමූ කැට කඩා අසල කඩයකට දී මුදල් කරගෙන හාල් කිලෝ එකක් දෙකක් ගෙන ඒමය. මෙරට ජනතාව මේ වන විට ඒ තරමටම ආර්ථික අතින් පහළ අඩියකට වැටී තිබේ.

තවත් සමහරු නිවසේ තිබූ පිත්තල පහන්, මල්පෝච්චි, ගෑස් සිලින්ඩර, රූපවාහිනි ආදී භාණ්ඩ පවා විකුණා දමා බඩ ගින්දර නිවා ගත් අවස්ථා අනන්තවත් වාර්තා වේ. ජනතාව එසේ කරන්නේ සොරකම් කරන්නට බැරි තැන වෙන කරන්නට දෙයක් නැතිම නිසාය.

රටේ ඇති වූ ආර්ථික අර්බුදයත් සමඟ කර්මාන්තශාලාවලට කණකොකා හඬලන්නට පටන් ගත්තේය. එහි අවසන් ප්‍රතිඵලය වුණේ දහස් ගණනකට රැකියා අහිමි වීමය. එසේ රැකියා අහිමි වූ පිරිසෙන් කොටසක් ලොව පැරණිම වෘත්තිය වන ගණිකා වෘත්තිය වෙත වැටී ඇත්තේ වෙන කරන්නම දෙයක් නැතිම තැන වන්නට පුළුවන. එහි හරි වැරැද්ද කෙසේ වෙතත් අවසානයේ සිදුවනුයේ පවුල් ඒකක දහස් ගණනක් අද කඩා වැටීමය.

අප මේ පිළිබඳ මහජනතාවගේ අදහස් විමසීමට ද අමතක නො කළේ මෙම ගැටලුවෙන් පීඩා විඳින්නේ සාමාන්‍ය මහජනතාව වන බැවිනි.

නුගේගොඩ පදිංචි නිලූකා චාන්දනී මහත්මිය

අපි ඡන්දෙ දීලා පත් කරගත්තු ආණ්ඩුව අපට හොඳටම සලකනවා. අපි හැම දෙයක්ම ගන්නේ සල්ලි වලට. වත්තෙ පිටියෙන් කියලා කිසිම දෙයක් නැහැ. මෙහෙ හැම ගෙදරක්ම පර්චස් දෙක තුනක ඉඩකඩ සීමා වෙලා තියෙන්නේ. ලයිට් බිල්, වතුර බිල් ෆෝන් බිල් වගේ බිල් ටික ගෙවලා ඉවර වෙනකොට කන්න සත පහක් අතේ ඉතුරු වෙන්නේ නැහැ. හුළං තමයි අපිට බොන්න වෙලා තියෙන්නේ. මස් කෑල්ලක් මාළු කෑල්කත් කාපු කාලයක් මතක නැහැ.

ඒ මදිවට දැන් ඉස්කෝල වලිනුත් හරිහමන් අධ්‍යාපනයක් ලැබෙන්නේ නෑ. හැමදේම ටියුෂන් පන්තිවලින් කවර් කරන්න වෙලා තියෙන්නේ. ළමයි තුන්දෙනාට ටියුෂන් වලට විතරක් මාසෙට තිහක් හතළිහක් විතර යනවා. මහත්තයා විතරයි ජොබ් එකක් කරේ. බැරිම තැන මමත් ඔය ගාමන්ට් වලින් ඉවත් කරන රෙදි කෑලි ගෙනල්ලා මහනවා. ඒකත් දැන් කරන්න අමාරු තත්ත්වයක් ඇවිත් තියෙන්නෙ ලයිට් බිල් වැඩි වෙලා නිසා. ඉස්සරහට තවත් වැඩි කරනවා කියනවා. මුන්ට දෙවියන්ගේ හාල් කැවිලද මන්ද මේ තරම් මිනිස්සුන්ට වද දෙන්නේ. පුළුවන්නම් 17000කින් එක ඇමැති කෙනෙකුට ජීවත් වෙල පෙන්නන්න කියන්න.

ආණ්ඩුවෙන් නම් හැමදාම කියනවා අරක අඩු කරා, මේක අඩු කරා කියලා. හැබැයි ගන්න ගියාම අඩු වෙච්චි දෙයක් නෑ. කඩේ මුදලාලි කියන්නේ උඹලා ගිහිල්ලා ආණ්ඩුවෙන්ම ඔය කියන මුදලට ඉල්ලා ගනිල්ල කියලා. ඒ මිනිස්සු මොනව කරන්නද පාඩු විඳින්න බිස්නස් කරන්නේ නැහැනෙ. ආණ්ඩුව දැනගන්න ඕනේ මිනිස්සුන්ට දැරිය හැකි මිලකට භාණ්ඩ ලබා දෙන්න.

වෘත්තියෙන් ත්‍රිරෝද රථ රියදුරකු වන තංගවේලු මහතා

මම කොළඹ හිටියට ගෙවල් හැටන් වල. මම ත්‍රීවීල් එකත් අරගෙන කොළඹ ඇවිත් පොඩි බෝඩින් කෑල්ලක ඉඳගෙන හයර් දුවල මාසෙකට දෙකකට වරක් විතර ගමේ යන්නේ. දැන් කොළඹ ජීවත්වෙන්න හරි අමාරුයි. තෙල් මිලත් ආයෙක් පාරක් වැඩි කළා. ඒ නිසා ඉස්සර වගේ හයරුත් දැන් නැහැ. ඉන්න තැනට රුපියල් දහදාහක් ගෙවන්න ඕන. ඒක බෝඩිමක් කිව්වට කුකුළු කූඩුවක් වගේ එකක්. ඒකෙත් හතර දෙනෙක් ඉන්නවා. පැය හතරක් පහක් විතරක් නිදාගන්න නිසා ඒක එච්චර ගානක් නෑ. මම හම්බ කරන එකෙන් වාහනෙත් නඩත්තු කරගෙන කාල බීල ඉන්න තැනටත් ගෙවලා ගෙදර ළමයි හතරදෙනයි

ගෑනිවත් නඩත්තු කරන්න ඕන. ඇහැට නිදිමත එනකොට හිතට එන්නේ ගෙදර ජීවන බර. මොනව කරන්නද කට්ට කාගෙන බර අදිනවා. ගොඩක් වෙලාවට දවසට කන්නේ වේලයි නැත්තං දෙකයි. ඉස්සර මෙහෙම අමාරු තත්ත්වයක් තිබුණේ නැහැ. කාලා බීලා ගෙදරටත් සල්ලි යවලා ඉඳලා හිටලා හරි යාළුවොත් එක්ක සෙට්වෙලා පොඩි විනෝදයක් ලැබුවා. දැන් ඒ ඔක්කොම ඉවරයි.

පී. එල්. රංජිත් නෙත්තසිංහ මහතා

මම මෙරට ප්‍රධාන පෙළේ ඇඟලුම් ආයතනයක විධායක ශ්‍රේණියේ රැකියාවක් කළේ. ලක්ෂ තුන හතරක පඩියක් අරන් ළමයි දෙන්නව ජාත්‍යන්තර පාසල්වලට දාලා උගන්වමින් හොඳට ජීවිතේ අරන් ගියා. ඒත් දැන් එකපාරටම අපේ ජීවිතවලට කණකොකා හඬලලා. දැන් මගේ ජොබ් එකත් නැති වුණා. ඒ ෆැක්ටි්‍රය වැහුන නිසා. දැන් ෆුල් නන්නත්තාරයි. වාහනේ ලීස් එක, ළමයින්ගෙ ස්කූල් ෆීස්, කෑම බීම, බදු දැන් දරාගන්න බැරි තත්ත්වෙකට ඇවිල්ල තියෙන්නෙ. මගෙයි වයිෆ්ගෙ රත්තරන් බඩු ඔක්කොම මේ වෙනකොට බැංකුවලට තියලා. සමහර ඒවා සින්න වෙලාත් ඉවරයි. මගේ යාළුවන්ගේ සපෝට් එකෙන් යන්තම් පොඩි පොඩි සයිඩ් බිස්නස් වගේකින් ජීවිතේ ඇදගෙන යනවා. දැන් වෙන කරන්නම දෙයක් නැති වුණොත් වෙන රටකට වත් පැනගන්න ට්‍රයි කරනවා.

වෙනදා මාසෙකට පාරක් දෙපාරක් ගෙදර කට්ටියත් එක්ක කොහේ හරි ඇවිදින්න යනවා. කාලා බීලා ෆුල් ආතල් එකේ හිටියේ. දැන් ඒ ඔක්කොම ඉවරයි. අපි හිතුවා රටේ ලොකු වෙනසක් වෙලා ළමයින්ට හොඳ අනාගතයක් ලැබෙයි කියලා ඒත් දැන් එහෙම දෙයක් වෙයි කියලා හීනෙකින්වත් හිතුවේ නෑ.

ආහාර අනාරක්ෂිතභාවය ඉහළට

පසුගියදා කොළඹදී පැවැති උත්සවයකදී එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ මෙරට නේවාසික නියෝජිත අසූසා කුබෝටා මහත්මිය පැවසුවේ ලෝක ආහාර වැඩසටහන වාර්තා අනුව මෙරට වැසියන් ලක්ෂ 6ක පමණ ප්‍රමාණයක් ආහාර අනාරක්ෂිතභාවයෙන් පෙළෙන බවයි.

ජනතාව මත ඉහිලිය නොහැකි ණය බරක්
රටට අත්ව ඇති ඉරණම පිළිබඳ හෙළිකරන මහාචාර්ය ඕ. ජී. දයාරත්න බණ්ඩා සහ වසන්ත අතුකෝරළ යන මහත්වරුන් පවසන්නේ සිව් දෙනකුගෙන් යුත් සෑම පවුලක් මතම රු. ලක්‍ෂ 47ක ණය බරක් වැටී ඇති බවයි.

රුපියල අවප්‍රමාණය වීම සහ විදේශයන්ගෙන් ණය ගැනීමත් සමග ඒකපුද්ගල ණය මේ ආකාරයෙන් ඉහළ ගොස් ඇති බව ඔවුහු පවසති.

වැඩිදුරටත් ඔවුන් රටේ සෑම පුද්ගලයෙකුම 2022 වර්ෂයේ අප්‍රේල් මස සිට 2023 වර්ෂයේ අප්‍රේල් දක්වා රුපියල් එක් ලක්ෂ තිස් දහසක (රු. 130,000) ණයකරුවකු කර සිටින බවයි.

ප්‍රශ්න කන්දකින් හෙම්බත්ව සිටින ජනතාවට මෙවන් විහිළු සහගත ඉලක්කම් හරඹ ඉදිරිපත් කිරීමෙන් සිදුවන්නේ තවත් කෝපය වැඩිවීම පමණි. ආණ්ඩුව සිදුකළ යුත්තේ සංඛ්‍යා දත්ත ඉදිරිපත් කිරීම නොව ජනතාවගේ ණය බර සැහැල්ලු කර ඔවුන්ට ශක්තියක් වීමය.

සමීර කන්නන්ගර

advertistmentadvertistment
advertistmentadvertistment