කළු සල්ලි අළු සල්ලි සහ කුකුළු මස් කඩයේ මුදලාලි

1141

රත්මලාන දුම්රියපළ අසල කුකුළු මස් කඩයක හිමිකරුට මෝටර් සයිකලයකින් පැමිණි දෙදෙනකු වෙඩිතබා මැරූ බව දැනගන්නට තිබේ. අනුර දේශප්‍රිය නමැති මරණකරු 40 හැවිරිදි පුද්ගලයෙකි. මේ මරණය පිළිබඳව මේ වනවිට විවිධ කටකතා පැතිර යයි. මෙය කුඩු සම්බන්ධ සිද්ධියක් ලෙසට සැක කරන්නෝ ද වෙති. කුකුළු මස් කඩයක් යනු හොඳ ලාභයක් ඇති බිස්නස් එකකි. දවසකට කුකුළන් තුන් හාරසියයක් මරා විකුණන මිනිසාට මාසය අන්තිමට රුපියල් ලක්‍ෂ හතරක පමණ ලාභයක් තබාගත හැකිය. කුකුළන් මරන්නේ පයින් පාගාගෙන තියුණු පිහියකින් ගෙල කැපීමෙනි. මෙසේ ගෙල කඳින් වෙන්කර විනාඩි පහක් පමණ යනතුරු කුකුල් හිසේ ඇති හොට ඇරෙමින් වැහෙමින් පවතින අතර කුකුළාගේ කඳ අරමුණක් නැතිව පියෑඹීමේ යෙදෙයි. එය වැළැක්වීම සඳහා කුකුළන් මරණ එකා කරන්නේ කුකුළාගේ කවන්දය හිස් බැරලයකට දැමීමය. එවිට එම බැරලය තුළ එහා මෙහා වදිමින් විනාඩි පහක් පමණ කල්ගත කරන කුකුල් කඳ අභාවයට පත්වෙයි. රත්මලානේ මස් කඩයේ මුදලාලි ද වෙඩි වැදුණ සැනින්ම මියගොස් නැත. ඔහු මියයන්නේ රෝහලට ඇතුළු කිරීමේදී හෝ ඉන් පසුවය. කුකුල් මස් මුදලාලිගේ මරණය සහ කුකුළන් මැරීම අතර සම්බන්ධයක් ඇතැයි කීම අපේ අරමුණ නොවේ. කුකුළන් මරණ ආකාරය ගැන අප පාඨකයාට විස්තර කළේ ඒ ගැන දැනුමක් ලබාදීමට ය. මස් මුදලාලිගේ මරණය ගැන වාර්තා කළේ පාඨකයන්ට ප්‍රවෘත්තියක් ලබාදීමට ය.

මේ වසරේ ජනවාරි සිට මේ දක්වා මනුෂ්‍ය ඝාතන 370ක් සිදුවී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පවසා ඇත. මේ සිදුවීම්වලින් 60ක් ම පාතාලයට සම්බන්ධය. එම ප්‍රහාර හැටෙන් 36 දෙනකු මියගොස් ඇති අතර 28 දෙනකු තුවාල ලබා ඇත. පාතාලයේ වෙඩි තැබීම් යනු පාතාලය විසින් ඉල්ලාගෙන කන පරිප්පුවකි. පාතාලය නිතරම තමන් අවට ලෝකයෙන් ගේම ඉල්ලයි. මෙසේ ඉල්ලන අයට ගේම ලැබෙන විට එසේ ලැබුණ එකාගේ මරණ දැන්වීමේ අඩංගු වන්නේ සත් ගුණවත් අසුවල් මහතා හදිසි අනතුරකින් මියගිය බවය. මෙය දකින පිටස්තරයෙක් සත්ගුණවතා බස් එකක හැපීමෙන් හෝ කොස් ගසකින් වැටීමෙන් මියගිය බව සිතා කනගාටු වෙයි. එහෙත් අප සැබැවින්ම දුක්විය යුත්තේ වෙඩි පහරවලින් හෝ මන්න පහරවලින් මිය යන පාතාලයා ගැන නොව ක්‍රොස් ෆයර්වලින් මිය යන අහිංසකයන් ගැනය. මේ ළඟදී ද එවැනි සිද්ධියකදී වැරදීමක් නිසා හොඳ තරුණයකු එතැනම මළේය. ලංකාවේ පාතාලය ක්‍රමයෙන් හිස ඔසවමින් පවතින අතර කොච්චර මැරුවත් එය නැතිවන්නේ නැත. දෙවන ලෝක යුද සමයේ බි්‍රතාන්‍ය අගමැතිව සිටි වින්ස්ටන් චර්චිල් සිය පුත්‍රයා වූ රැන්ඩොල්ස් චර්චිල් ලවා සිය ජීවන කතා පොත ලියැවූවේය. එම පොතේ එන පරිදි චීනයත් සමග කවදාවත් යුද්ධයක් පටන්ගත යුතු නැතැයි වින්ස්ටන් චර්චිල් කියා තිබේ. එයට හේතුව කොපමණ කට්ටිය මියගියත් කුහුඹි ගුලකින් සෙනඟ එන්නාක් මෙන් දිනපතාම චීනුන් යුද බිමට පැමිණීමය. චීනය තුළ ඒසා විශාල ජනගහනයක් සිටී. චීනය වැනි රටක් සමග යුද්ධයක් පටන්ගත් විට එය නිමක් නොවන නිසා පරම්පරාවෙන් පරම්පරාවට යුද්ධ කිරීමට ආක්‍රමණිකයාට සිදුවෙයි. එනම් පියා අවුරුදු විස්සක් පමණ යුද බිමේ සිටින විට ඔහුගේ පුතා අවුරුදු විස්සක පමණ තරුණයකු බවට පත්වෙලාය. පියා යුද්ධයෙන් මළ විට මේ තරුණයා යුද බිමට සම්ප්‍රාප්ත වේ. යුද්ධ පරම්පරාවෙන් පරම්පරාවට යන බව අප කියන්නේ ඒ නිසාය. ලංකාවේ පාතාලයේ ස්වභාවය ද චීනයේ ජනගහන සංයුතියේ ස්වභාවය හා සම වෙමින් පවතී. පාතාලකාරයන් මෙච්චර මරා දමලාත් හැමදාම තවත් අලුතින් මරන්නට පස් හයදෙනෙක් ඉතිරිව සිටී. ඒ පස්හය දෙනා මැරුවාම ඊළඟ දවසේ තවත් පස්හය දෙනකු මතුවේ. අපට පෙනෙන හැටියට මුළු ලංකාවේම ජනගහනය ඉවර වුණත් පාතාල ගහණය නිමාවට පත්වන්නේ නැත. මෙය ඉන්දියාවේ තත්ත්වයට යම් තරමකින් සමානය. ඒ රටේ ද ඉතා බලගතු පාතාල යටිතලයක් තිබේ. එම පාතාල යටිතලයට නිෂ්පාදන හා සේවා ආර්ථිකයක් ද තිබේ. නිෂ්පාදන ආර්ථිකය යනු කුඩු ගෙන්වීම, පැකට් කිරීම, බෙදාහැරීම සහ විකිණීම යන ආදියයි. සේවා ආර්ථිකය යනු ප්‍රතිවාදී පාතාලකාරයන් සහ පොලිස් නිලධාරීන් මරා දැමීමේ කාර්යයයි. ඉන්දියානු පාතාලයේ ආර්ථිකය පොත්පත්වල නොලියැවෙන කවදාවත් විගණනය නොවෙන සිත්වල පමණක් ඇති රුපියල් බිලියන ගණනක ආර්ථිකයකි. මේ ආර්ථිකයෙන් උපදින මුදලින් ටැක්ස් ගෙවීමක් සිදුවන්නේ නැත. කිසියම් ආකාරයක ටැක්ස් ගෙවීමක් සිදුවන්නේ එම කළු සල්ලි නීත්‍යානුකූල කර්මාන්තයකට එනම් චිත්‍රපට නිෂ්පාදනය වැනි වැඩකට යෙදවූ විට පමණි. ලංකාව තුළ කළු සල්ලි සුදු කිරීමක් තවමත් හරියාකාරව සිදුවන බවක් අපි විශ්වාස නොකරමු. අපේ රටේ සිදුවන්නේ කළු සල්ලි බාගෙන සුදු කිරීම ය. එවිට ඒ කළු සල්ලි අළුපාට සල්ලි බවට පත්වේ. එයින් හැඟෙන්නේ එම සල්ලිවල කුණු බාගෙට හේදුණු බවකි. රත්මලානේ කුකුළු මස් කඩකාරයාගේ මරණයේ සිට වෙනත් පාතාල ක්‍රියාකාරකම් ගණනාවකට මේ සල්ලි වීසි කරනු ලැබේ. එක් පාතාලකාරයෙක් තවත් පාතාලකාරයකුට වෙඩි තබන්නේ කුලියට ය. පාතාල වෙළෙඳපොළ තුළ රුපියල් විසිපන්දහසටත් මිනී මරණු ලැබේ; රුපියල් විසිපන් ලක්‍ෂයටත් මිනී මරණු ලැබේ. ත්‍රිවිධ හමුදාවේ බුල්ඩෝසර් යොදවා මේ පාතාලය බිමට සමතලා කර ඒ මත තාර දැමීම වහා කළ යුතුය. ඒ දමන තාර නිසි ප්‍රමිතියට නිෂ්පාදනය නොකළොත් මිනීමරුවන්ගේ පැතලි වූ සිරුරු නැවත නැඟී සිටිනවා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment