ක්‍රිකට් ලෝක කුසලානයේ වාසිය ඉන්දියාවට ඩොලර් බිලියන 2.6 ක්

3020

ක්‍රිකට් ලෝක කුසලානය සෙන්ටිමීටර් 60ක උසකින් යුක්ත වන අතර, එහි මුදුනේ රන් ගෝලයක් රිදී තීරු තුනකින් රඳවා ඇත. කඩුල්ල සහ බේල්ස් ලෙස හැඩගස්වා ඇති තීරු, ක්‍රිකට් ක්‍රීඩාවේ පිතිකරණය, පන්දු යැවීම සහ පන්දු රැකීම යන මූලික අංශ නියෝජනය කරයි. කුසලානයේ බර ආසන්න වශයෙන් කිලෝග්‍රෑම් 11ක් වන අතර එහි පාදයේ පෙර ජයග්‍රාහකයන්ගේ නම් කොටා ඇත. ඉදිරි තවත් කණ්ඩායම් දහයකට ඔවුන්ගේ නම් ලියා තැබීමට ඉඩ තබා තිබීම ද විශේෂත්වයකි. පසුගිය අගෝස්තු මස 5 හා 6 යන දිනවල අයිසීසී ක්‍රිකට් ලෝක කුසලානය පියවි ඇසින් ක්‍රීඩා ලෝලීන්ට දැක ගැනීමට හා දෑතින් ස්පර්ශ කිරීමට අවස්ථාව හිමිවිය. ක්‍රිකට් ක්‍රීඩාවට බිලියනයකට වඩා රසිකයන් සිටින අතර, අයිසීසී ක්‍රිකට් ලෝක කුසලානය රටවල් 18ක නගර රැසක ප්‍රදර්ශනය කරනු ලැබුවේ හැකි තරම් ජනතාවට සමීප කිරීමේ අභිලාෂයෙනි. විශේෂයෙන් කුවේට් රාජ්‍යය, බහරේනය, මලයාසියාව, නයිජීරියාව, උගන්ඩාව, ප්‍රංශය, ඉතාලිය සහ ඇමෙරිකා එක්සත් ජනපදය වෙත ද කුසලානය ගෙන ගොස් තිබිණි. එසේම පසුගිය ජුනි අගදී ලෝක කුසලානය බැලූනයක ආධාරයෙන් පොළොව මට්ටමින් අඩි 120,000ක් ඉහළට යවා තිබිණි. එහිදී ඕනෑම ක්‍රීඩාවකට සම්බන්ධ කුසලානයක් “අපවර්තී ගෝලය” වෙත යැවූ පළමු අවස්ථාව ලෙස මෙය වාර්තා අතරට එක් විය. 1975 වසරේ පළමු ක්‍රිකට් ලෝක කුසලානය පැවැත්වූ අතර එදා සිට සෑම ලෝක කුසලානයකටම ශ්‍රී ලංකාව සහභාගි වී ඇත.

වසර 48ක ඉතිහාසයක් ඇති ලෝක කුසලානයේ මෙවර පැවැත්වෙන්නේ 13 වැනි තරගාවලියයි. 1971 වසරේ මෙල්බර්න්හි පැවැති ටෙස්ට් තරගයේ මුල් දින තුන වැස්ස නිසා ක්‍රීඩා කිරීමට නොහැකි විය. ප්‍රවේශපත් මිලට ගෙන ක්‍රීඩාව නැරඹීම සඳහා පැමිණි ප්‍රේක්ෂකයන් වෙනුවෙන් එක් දින තරගයක් පැවැත්වීමට තීරණය කෙරිණි. එම තරගය විනෝදජනක වූ බැවින් එවැනි තරග මාලාවක් සංවිධානය කිරීමට ක්‍රිකට් බලධාරීන්ගේ අවධානය යොමු විය. එක් දින ක්‍රිකට් තරග ආරම්භ වූයේ ඒ අනුවය. ප්‍රථම ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය පෘඩෙන්ෂල් ලෝක කුසලානය නමින් එංගලන්තයේදී පැවැත්වූයේ ඔස්ටේ්‍රලියාව, එංගලන්තය, බටහිර ඉන්දීය කොදෙව්, පාකිස්තානය, ඉන්දියාව හා නවසීලන්තය යන ටෙස්ට් වරම් ලද රටවල් හයක් හා ටෙස්ට් වරම් නොලද ශ්‍රී ලංකාව හා නැගෙනහිර අප්‍රිකානු රටවලින් තෝරාගත් කණ්ඩායමක් සමගය. පන්දුවාර 60කට සීමා වූ පළමු තරගාවලිය ජයග්‍රණය කරන ලද්දේ බටහිර ඉන්දීය කොදෙව්වන් විසිනි. මේ ඉතිහාසය මතක් කිරීමකි. දැන් ලෝක කුසලානය ඉන්දියාවට ගෙන ගොස් ඇත්තේ ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය එහි පැවැත්වෙන නිසාය. මේ වන විට ක්‍රිකට් උන්මාදය දකුණු ආසියානු කලාපය පුරාම පැතිර තිබේ. පසුගිය ඔක්තෝබර් 5 දා ආරම්භ වූ ලෝක කුසලානය ලබන නොවැම්බර් 19 දක්වා ක්‍රීඩාංගණ 10ක් පුරා පැවැත්වෙන අතර එය මෙතෙක් පැවති විශාලතම ක්‍රිකට් ලෝක කුසලානය ලෙස හඳුන්වා දී තිබේ. ශ්‍රී ලංකාව සමගින් කණ්ඩායම් 10ක් ඇතුළත් වන තරගාවලියේ අවසන් තරගය අහමදාබාද් නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේ පැවැත්වේ. 2024 පැවැත්වෙන ඉන්දීය මහමැතිවරණයෙන් වැඩි වාසි ලබා ගැනීම සඳහා මෝදි ආණ්ඩුව මේ ලෝක කුසලාන තරගාවලියෙන්ද වාසි ලබා ගැනීමට උත්සාහ කරන අතර එයට ඉන්දීය ස්වදේශ කටයුතු අමිත් ශා ඇමැතිගේ පුතා වන ජේ ෂාගේ උපරිම සහාය ලැබේ. ඉන්දියාවේ ක්‍රිකට් මෙහෙයවන බලවත්ම පුද්ගලයා ඔහු බව රහසක් නොවේ.

ලෝක කුසලාන ඉතිහාසයේ එහි සියළු තරග 48ම ඉන්දියාවේ පැවැත්වෙන්නේ ප්‍රථමවරටය. 2011 ලෝක කුසලානයේ තරග කිහිපයක් ශ්‍රී ලංකාවේ හා බංගලාදේශයේදී පැවැත්විණි. මේ කුසලානය ඉන්දියාවේ පැවැත්වීම හරහා එරටට ලැබෙන ආර්ථික වාසිය බෙහෙවින් වැඩිය. ලෝක කුසලානයේ අවසන් මහා තරගය නොවැම්බර් 19 වැනිදා අහමදාබාද් නුවර පැවැත්වෙන නිසා නොවැම්බර් 13 -19 අතර කාලය තුළ එම නගරයට පමණක් ගුවන් යානා 787ක් පැමිණීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබිණි. විශේෂයෙන් ඔස්ටේ්‍රලියාව, බි්‍රතාන්‍යය, නවසීලන්තය, ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය යන රටවල සංචාරකයන් හේතුවෙන් ඉන්දියාවට ජාත්‍යන්තර ගුවන් ගමන් සඳහා ඇති ඉල්ලුම 15% කින් ඉහළ ගොස් ඇති බව ඉන්දීය ආර්ථික විශ්ලේෂකයකු සඳහන් කර තිබිණි. ඔක්තෝබර් සිට නොවැම්බර් දක්වා කාලය තුළ ක්‍රිකට් තරග පැවැත්වෙන නගරවල හෝටල් ගාස්තු 125% සිට 300% දක්වා ඉහළ ගොස් තිබේ.

පසුගිය 15 වැනිදා ඉන්දියාව පාකිස්තානයට එරෙහිව ක්‍රීඩා කරන විට, ඉන්දීය හෝටල් සමාගමට අයත් හෝටල් ජාලයක් වන ජින්ජර් හි කාමරයක මිල ඉන්දීය රුපියල් 50,000 (ඩොලර් 600) දක්වා ඉහළ ගොස් තිබිණි. සාමාන්‍ය කාලවලදී නම් ඉන්දීය රුපියල් 4,000 කාමරයක් ලබා ගත හැකිය. මෙම තරගය සඳහා අහමදාබාද් වෙත පියාසර කළ ක්‍රිකට් ලෝලීන් කාමර පහසුකම් සොයා ගැනීමට නොහැකි වූ තැන නගරයේ රෝහල්වල කාමර වෙන් කරගෙන තිබිණි. ඒ වෛද්‍යවරයා හමුවීමට නොවේ ශාහින් අෆ්රිඩි පන්දු යවනවා බැලීමටය. ක්‍රීඩාංගණවලින් මත්පැන් තහනම් කර ඇති නමුත් නිවසේදී හෝ ආපන ශාලාවකදී තරගය බලමින් ක්‍රිකට් ලෝලීන්ට බියර් වීදුරු හිස් කළ හැකිය. කිංෆිෂර් එනම් ඉන්දියාවේ විශාලතම අලෙවි වන බියර් නාමය මේ වසර ආරම්භයේ සිට 23% වර්ධනයක් ලබා තිබේ.

ඇත්තෙන්ම මෙවර ලෝක කුසලානය පැවැත්වීම නිසා ඉන්දිය ආර්ථිකයට ලැබෙන මුදල ඩොලර් බිලියන 2.6 කි. එය ඉන්දීය රුපියල් කෝටි විසිදෙදාහකි. මෙය ඉන්දීය බැරෝඩා බැංකුව විසින් කරන ලද සමීක්ෂණ වාර්තාවකින් එලි දක්වා තිබිණි. ශ්‍රී ලංකාවට ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා පසුගිය මාර්තුවේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දෙන බව පැවසූ ණය මුදල ඩොලර් බිලියන තුනකි. නමුත් ඉන්දියාව ලෝක කුසලානය පවත්වා ඒ සමාන මුදලක් උපයා ගනී. ක්‍රිකට් තරග විකාශ අයිතිය විකිණීම හරහා උපයාගන්නා මුදල ඉන්දීය රුපියල් කෝටි 12000 කි. ටිකට් විකුණා ලබා ගන්නා මුදල කෝටි 2200 කි. තත්පර 10ක වෙළෙඳ දැන්වීමක් සඳහා අයකරන මුදල මිලියන තුනකි. තත්පරයකට ලක්ෂ තුනකි. ලෝක කුසලාන තරග බලන ඔබට ඕවරයක් ඕවරයක් පාසා විකාශය කරන වෙළෙඳ දැන්වීම් කොපමණද යන්න සිතාගත හැකිද? විටින් විට කවරක් හෝ ඔසවාගෙන ශාරුක් ඛාන් මතුවෙයි. එය අතුරුදන් වන සැණින් විකට්ටු දැවී යන අයුරු හෝ දැවැන්ත හයේ පහරවල් තිරය මත දිස්වේ. කවරක් නමුත් පසුගිය සෙනසුරාදා සදීර සමරවික්‍රම මහතාගේ ඉනිම නිසා ලන්දේසීන් පරාජය කිරීමට හැකිවීම ගැන මෙරට ප්‍රේක්ෂකයෝ සැනසුම් සුසුම් හෙළුහ. ලංකා කණ්ඩායම අවසන් ලකුණ ගසන තුරු ලාංකිකයන් සිටියේ නොඉවසිල්ලෙනි. මන්ද මොවුන් විටක පිස්සුම නටන බැවිනි. ඇත්තෙන්ම ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය අයිසීසී යට ලැබෙන ආදායමින් 40% ආසන්න ප්‍රමාණයක් ලබා ගනී. එසේම මෙවර ලෝක කුසලානයේ ප්‍රචාරක අනුග්‍රහය හරහා ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ඩොලර් බිලියන භාගයකට වඩා මුදලක් අපේක්ෂා කරයි.

මේ වනවිට පැවැති ලෝක කුසලාන තරගාවලි 13න් 5ක් ජයග්‍රහණය කිරීමට ඔස්ටේ්‍රලියාව සමත් වී තිබේ. බටහිර ඉන්දීය කොදෙව් හා ඉන්දියාව දෙවරක් බැගින්ද පාකිස්තානය සහ ශ්‍රී ලංකාව එක්වරක් බැගින් ද ලෝක කුසලානය හිමි කර ගැනීමට සමත් වී තිබේ. ක්‍රිකට් ක්‍රීඩාව ලොවට හඳුන්වා දුන් එංගලන්තය ලෝක කුසලානය ජයග්‍රහණය කළේ 2019 වසරේය. ක්‍රිකට් යනු සැබැවින්ම අවිනිශ්චිත ක්‍රීඩාවකි. ඒ බව 2019 ලෝක කුසලාන අවසන් පූර්ව තරග දෙකින්ම පැහැදිලි විය. අවසාන මහා තරගයට ඉන්දියාව සහ ඔස්ටේ්‍රලියාව සහභාගි වනු ඇතැයි බොහෝ දෙනකුගේ අපේක්ෂාව විය. තරගාවලියේ ජනප්‍රියම කණ්ඩායම වූ ඉන්දියාව ප්‍රසාද ලකුණු සටහනේ අංක එක ස්ථානය හිමිකරගෙන සිටි අතර ඔස්ටේ්‍රලියාව දෙවැනි ස්ථානයේ පසුවිය. එම තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා වූයේ රෝහිත් ෂර්මාය. ඔහු ලකුණු 647ක් රැස්කළ අතර ලෝක කුසලාන තරගාවලියක වැඩිම ශතක ලාභියා වෙමින් ලෝක වාර්තාවක්ද පිහිටුවීය. රෝහිත් ශතක පහක් රැස් කිරීමට සමත් විය. පළමු අවසන් පූර්ව තරගය පැවතියේ ඉන්දියාව හා නවසීලන්තය අතරය. බිලියනයකට අධික ඉන්දියානුවන්ගේ සියලු අපේක්ෂා බිඳ දමමින් නවසීලන්තය ලකුණු 18කින් ඉන්දියාව පරාජය කළේය. අවසානයේ ලෝක කුසලානය සුපිරි ඕවරයක් දක්වා ගිය අතර ජයග්‍රාහකයා එංගලන්තය බවට පත්විය. එතෙක් මෙතෙක් පැවති හොඳම එක්දින තරගය 2019 ලෝක කුසලානයේ අවසන් මහා තරගය බව කියවේ. නමුත් මෙවර සිදුවන්නේ කුමක්ද? ඒවා කියන්නට තවම කල් වැඩිය. නමුත් පසුගිය වර ජයග්‍රාහකයා වූ එංගලන්ත කණ්ඩායම නම් දැන් ප්‍රසාද ලකුණු ලයිස්තුවේ 09 තැනට වැටී තිබේ. එය ලංකාවටත් වඩා පහළිනි. ඉන්දියාවට නම් අවශ්‍ය මේ කුසලානය කෙසේ හෝ තමන් සතු කර ගැනීමටය. එයට ඉඩ නොදීම අනෙක් කණ්ඩායම්වල වගකීම වේ. ඉන්දියානු ක්‍රිකට් ආධිපත්‍යට අභියෝග කළ හැකි කණ්ඩායම කවරක්ද? ඒ ගැන ලොවම විමසිල්ලෙනි.
● චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment