හයවෙනි කඩුල්ලේ සබඳතාවයෙන් ශ්‍රී ලංකාව වෙහෙස කරවයි

336

ශ්‍රී ලංකා පකිස්තාන පළමු ටෙස්ට් තරගය

අගා සල්මන් සහ සවුද් ශකීල් යන දෙදෙනා විසින් 6 වැනි කඩුල්ල සඳහා ගොඩනඟන ලද ලකුණු 120 ක සම්බන්ධතාවය මත ශ්‍රී ලංකා ඉනිමට සාර්ථක පිළිතුරක් සැපයීමට සංචාරක පකිස්තාන කණ්ඩායම ඊයේ (17 දා ) සමත් විය.

ඒ අනුව දෙරට අතර ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය නිමා වන විට පකිස්තාන කණ්ඩායම කඩුලු 5 ක් දැවී ලකුණු 221 ක් ලබා ශ්‍රී ලංකා පළමු ඉනිම වූ ලකුණු 312 ට වඩා ලකුණු 91 ක් පසුපසින් සිටියේය. පකිස්තාන කණ්ඩායමේ පළමු කඩුලු 5 ලකුණු 101 ක් තුළ බිඳ දැමීමට ප්‍රභාත් ජයසූරිය ප්‍රමුඛ ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුව ද අනතුරුව දිනය නිමා වන තෙක් එකදු කඩුල්ලක් වත් ලබා නොදීමට අගා සල්මන් සහ සවුද් ශකීල් යන පිතිකරුවෝ දෙදෙනා පරෙස්සම් වූහ. එහෙත් දුර්වල පන්දු හමුවේ ප්‍රහාරය ද අමතක නොකළ ඔවූහු ඕවර 24 යි පන්දු 4 ක් තුළ ලකුණු 120 ක් ශ්‍රී ලංකා පන්දු යවන්නන් ගෙන් උදුරා ගත්හ.

ශවුද් සකීල් දිනය නිමා වන විට නොදැවී ලකුණු 69 ක්ද,අගා සල්මන් නොදැවී ලකුණු 61 ක්ද ලබා සිටියහ.

පකිස්තානයේ දැවී ගිය කඩුලු 5 න් කඩුලු 3 ක් ප්‍රභාත් ජයසූරිය ගේ නමට ලියැවුණු අතර කසුන් රාජිත සහ රමේෂ් මෙන්ඩිස් එක් කඩුල්ල බැගින් ලබා ගත්හ.

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් ඊයේ අගනා ශතකයක් වාර්තා කිරීමට ධනංජය ද සිල්වා සමත් වූ අතර එය ඔහුගේ 10 වැනි ටෙස්ට් ශතකය මෙන්ම ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ලද 3 වැනි ටෙස්ට් ශතකය ද විය.

දිනය ආරම්භ කරන විට ශ්‍රී ලංකාව කඩුලු 6 ක් දැවී ලකුණු සංඛ්‍යාව 242 ක් ලබා සිටි අතර ශ්‍රී ලංකා ඉනිමට තවත් 70 ක් එකතු කිරීමට ධනංජය සහ

පසුපෙළ පිතිකරුවෝ සමත් වූහ. ශ්‍රී ලංකා ඉනිම ලකුණු 312 කට සීමා වූ අතර පාකිස්තාන පන්දු යවන්නන් ඔවුන්ගේ පීඩනය අවසන් පිතිකරුවන් වෙත යොමු කළ ද විශ්ව ප්‍රනාන්දු සහ කසුන් රාජිත අවසන් කඩුල්ල වෙනුවෙන් ලකුණු 29 ක වටිනා සම්බන්ධතාවයක් පැවැත්වූහ.

පකිස්තාන කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් වූ ඉමාම් උල් හක් 01, ලකුණකටත්, අබ්දුල්ලාහ් ශෆික් ලකුණු 19 කටත් දැවී ගිය අතර ශාන් මසූඩ් මුල්පෙළ පිතිකරුවන් අතර වැඩිම ලකුණු ලාභියා වෙමින් ලකුණු 39 ක් ලබා ගත්තේය.

නායක බාබර් අසාම් ලකුණු 13 ක් පමණක් සහ සර්ෆරාස් අහ්මඩ් ලකුණු 17 කට දැවී යෑම ශ්‍රී ලංකාවට මහත් සැනසිල්ලක් විය.

ලකුණු සාරාංශය

ශ්‍රී ලංකාව 312 (95.2)

නිශාන් මධුශ්ක 4, දිමුත් කරුණාරත්න 29, කුසල් මෙන්ඩිස් 12, ඇන්ජලෝ මැතිව්ස් 64, ධනංජය ද සිල්වා 122, සධීර සමරවික්‍රම 36, රමේෂ් මෙන්ඩිස් 5, ප්‍රභාත් ජයසුරිය 4, විශ්ව ප්‍රනාන්දු 21, කසුන් රාජිත 8

පන්දු යැවීම

ශහීන් ෂා අෆ්රිඩි 86/3, අගා සල්මන් 18/1, නසීම් ෂා 93/3,

අබ්රාර් අහමඩ් 68/3

පකිස්තානය 221/5(45)

ඉමාම් උල් හක් 01, අබ්දුල්ලාහ් ශෆික් ලකුණු 19, ශාන් මසූඩ් මුල් ලකුණු 39, බාබර් අසාම් ලකුණු 13, සර්ෆරාස් අහමඩ් ලකුණු 17 ,අගා සල්මන් නොදැවී 61,සවුද් ශකීල් නොදැවී 69

පන්දු යැවීම

කසුන් රාජිත 33/1, ප්‍රභාත් ජයසුරිය 83/3, රමේෂ් මෙන්ඩිස් 63/1

advertistmentadvertistment
advertistmentadvertistment