ඉන්දු ශ්‍රී ලංකා ආසියා කුසලාන ගැටුම අද

419

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි හතර වටය යටතේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී අද (12 වැනිදා) ප.ව. 3.00 ට ආරම්භ වීමට නියමිත වේ.

මෙම තරගය ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන 22 වෙනි තරගය ලෙස සැලකේ.

එම තරගය සඳහා ඉන්දීය කණ්ඩායම මෙහෙයවීමේ වගකීම රෝහිත් ෂර්මා විසින් දරනු ලබන අතර ශ්‍රී ලංකා කණ්ඩායම නායක දසුන් ශානක විසින් මෙහෙයවනු ලබයි.

දෙරට අතර මේ දක්වා ආසියානු කුසලාන තරගාවලි ඉතිහාසයේ පවත්වා ඇති තරග 21 අතරින් ශ්‍රී ලංකා කණ්ඩායම වැඩි ජයග්‍රහණ ප්‍රමාණයක් වාර්තා කර තිබීම කැපී පෙනෙන කරුණක් වෙයි.

එහිදී ශ්‍රී ලංකාව තරග 11ක් ජයග්‍රහණය කර ඇති අතර ඉන්දියාව තරග 10 ක් ජය ගෙන තිබේ.

එහෙත් දෙරට අතර සමස්ත තරග ප්‍රතිඵලය දෙස අවධානය යොමු කිරීමේ දී ඉන්දියාව ශ්‍රී ලංකාව අභිබවා පෙරමුණ ගෙන ඇති අතර එහි ප්‍රතිඵලය තරග 165 ක් තුළ ඉන්දීය කණ්ඩායමේ ජයග්‍රහණ සංඛ්‍යාව 96 ක් ලෙස සටහන් වේ.

ශ්‍රී ලංකාව ඉන් ජය ලබා ඇති තරග සංඛ්‍යාව 57 කි. තරග 11 ක් විසඳුමකින් තොරව නිමා වී ඇති අතර එක් තරගයක් ලකුණු සම තත්ත්වයෙන් අවසන් වී ඇත.

දෙරට අතර අවසන් තරග පහේ ප්‍රතිඵල දෙස අවධානය යොමු කිරීමේදී ඉන් තරග 4 ක් ඉන්දියාව ජයගෙන තිබෙන අතර ශ්‍රී ලංකාව එක් තරගයක් ජය ගෙන ඇත.

ඒ අතර දෙරට හමු වූ අවසන් එක්දින ගැටුම ඉන්දියාව ලෝක වාර්තා තබමින් ලකුණු 317 කින් ශ්‍රී ලංකාව පරාජය කළ අතර ඉන්දියාවේ පැවැති එම තරගාවලියේ තරග 3 තුළදී විරාත් කෝලි ලකුණු 283 ක් (අවසන් තරගයේදී පන්දු 110 නොදැවී ලකුණු 166)ක් ලබා ගත්තේය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ මෙවර තරගාවලිය තුළ විශිෂ්ට දස්කම් දක්වමින් ප්‍රතිවාදීන්ට එරෙහිව අභියෝගයක් එල්ල කරමින් සිටිති.

විශේෂයෙන් අඛණ්ඩව එක් දින තරග 13 ක් ජය ගත් ලොව දෙවෙනි කණ්ඩායම මෙන්ම ආසියාවේ එවැනි දස්කමක් කළ පළමු රට බවටද පත් ශ්‍රී ලංකාව ජයග්‍රාහී තරග රටාවක නියැළී ඇත. එසේම 2022 ආසියානු කුසලාන තරගාවලියේ ශූරයන් වූ ශ්‍රී ලංකාව එවර ඉන්දියාව සමග සුපිරි හතර වටය යටතේ පැවති තරගය කඩුලු 6කින් ජය ගත්තේය.

මෙවර තරගාවලියේ දී පන්දු යැවීමේදී මහීෂ් තීක්ෂණ, මතීෂ පතිරණ හොඳින් දස්කම් දැක්වූ අතර පිතිහරඹයෙන් ගත් කල පැතුම් නිශ්ශංක, සධීර සමරවික්‍රම සහ කුසල් මෙන්ඩිස් කැපී පෙනෙන පිතිහරඹයක නිරත වූහ. තරගය පිළිබඳව ඊයේ පැවති මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ සහාය පුහුණුකරු නවීඩ් නවාස් මහතා සඳහන් කළේ ශ්‍රී ලංකාව ධනාත්මක මානසිකත්වයකින් අද තරගය සඳහා මුහුණ දීමට සූදානමින් සිටින බවයි.

“අපේ ක්‍රීඩකයන්ගේ මානසික මට්ටම ධනාත්මක භාවයෙන් පිරිලා තියෙනවා. ඔවුන් එක දිගට තරග 13ක් ජය ගත් කණ්ඩායමක්. යම් තැන්වල පොඩි පොඩි අඩුපාඩු තිබුණා. ක්‍රීඩකයන්ගේ පැත්තෙන් මෙන්ම කණ්ඩායම පැත්තෙන්ද ඒ බව ඇතැම් විට දකින්නට තිබුණා. අපි ඒව හදාගෙන ඉස්සරහට යන්න ඕන. විශේෂයෙන් ලෝක කුසලාන තරගාවලියක් අබියස තිබියදී ලබන මෙම ජයග්‍රහණයන් අපිට ඉතා වැදගත් වෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ අංක 5, 6 සහ අංක 7 ස්ථානවල පිතිකරුවන් ලකුණු අතරට පිවිසීමට පසුගිය තරග කීපයේදී අපොහොසත් වුණා. එම අඩුපාඩුව ද නිවැරදි වුවහොත් අපේ පිතිකරණ ලැයිස්තුව අංක 1 සිට 7 දක්වාම ශක්තිමත් ලැයිස්තුවක් වේවි.”

නවීඩ් නවාස් මහතා එහිදී තවදුරටත් පැවසුවේ මතීෂ පතිරණ ශ්‍රී ලංකා ක්‍රිකට් සැලසුම් අතර ඉදිරියෙන්ම සිටින ක්‍රීඩකයෙක් බවයි.

අද තරගය සඳහා අනුමාන කළ හැකි

ශ්‍රී ලංකා කණ්ඩායම

පැතුම් නිශ්ශංක, දිමුත් කරුණාරත්න, කුසල් මෙන්ඩිස්, සධීර සමරවික්‍රම, චරිත් අසලංක, ධනංජය ද සිල්වා, දසුන් ශානක (නායක), දුනිත් වෙල්ලාලගේ, මහීෂ් තීක්ෂණ කසුන් රාජිත, මතීෂ පතිරණ

ඉන්දියාව

රෝහිත් ෂර්මා (නායක), ශුබ්මන් ගිල්, ඉශාන් කිෂන්, විරාත් කෝලි, ලෝකේෂ් රාහුල්, හර්දික් පාන්ඩයා, රවීන්ද්‍ර ජඩේජා, ශර්දුල් තාකූර්, කුල්දීප් යාදව්, ජස්ප්‍රිට් බුම්රාහ්, මොහොමඩ් සිරාජ්
කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment