අභිමානවත් ශ්‍රී ලංකා පොලිසියක් ගොඩ නගමු!

234

බ්‍රිතාන්‍ය අධිපත්‍යයෙන් මිදී හැත්ත හතර වසරක නිදහස භුක්ති විඳින ඉන්දියානු සාගරයේ මුතු ඇටය නමින් විරුදාවලි ලත් ශ්‍රී ලංකාව දරුණු ආර්ථික අගාදයකට ඇද වැටෙමින් සිටී. ආර්ථික දුෂ්කරතා හමුවේ අරගලයක් ද ඇතිව තිබේ. අරගලය වනාහි ශ්‍රී ලංකාව විසින් ලෝකයට හඳුන්වා දුන් අලුත් වචනයක් නොවේ. අප කවුරුත් සාමාන්‍යයෙන් දන්නා පරිදි මැතිවරණයකින් පාලනය වෙනස් කිරීම සිදු වුවද යම් යම් අවස්ථාවන්වලදී පාලකයන්ට ඉල්ලා අස්වන ලෙස උද්ඝෝෂණ පැවැත්වීම ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයන්වලදී සිදු වේ. මෙවැනි මහජන අරගල ආසියාතික, යුරෝපා රටවල පැන නැගී ඇති අතර ශ්‍රී ලංකාවේ පමණක් සිදු වූවක් නොවේ. එම නිසා ශ්‍රී ලාංකිකයන්ගේ දේශපාලන අවදි වීම පොලිසිය විසින් තේරුම් ගෙන ජනතා අයිතිවාසිකම් රැක දීමට ක්‍රියා කළ යුතුව ඇත. තවද අරගලය සිදු කළ යුත්තේ නීතියේ ආදිපත්‍යයට යටත්වය. මහජනතාව කිසිම අවස්ථාවකදී නීතිය අතට ගැනීම සිදු නොකළ යුතුව ඇත. පාලක පාලිත දෙපිරිසටම එහිදී වගකීමක් ඇත. රටක් සංවර්ධනය කරා රැගෙන යෑමේදී නීතියේ ස්වාධිපත්‍ය වැදගත් වේ. මෙහිදී නීති ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පොලිසිය වැදගත් ස්ථානයක් ලබා ගනී. එබැවින් සාමාන්‍ය මහජනතාව පොලිස් නිලධාරීන් සමගද ගැටුම් ඇති නොකරගෙන ඔවුන්ට පහර දීමට කටයුතු නොකළ යුතුව ඇත.

ක්‍රිව 1776දී ස්කොටිෂ් ජාතික ජේම්ස් වොට් විසින් නිපදවනු ලැබූ පළමු වාෂ්ප එන්ජිම ඇතුළු රෙදිපිළි, පතල්, යකඩ සමග බිහිවූ කර්මාන්ත නිසා ඇති වූ කාර්මික විප්ලවය පොලිස් සේවය බිහි වීමට තුඩුදුන් බව පැහැදිලි කරන බොහෝ සාධක ඇත. එකල කර්මාන්තකරුවන් අඩු වැටුපකට කම්කරුවන් සේවයට බඳවා ගත් අතර කම්කරුවන්ද තම අයිතිවාසිකම් සඳහා බොහෝ උද්ඝෝෂණ සංවිධානය කරන ලදි. නිතර ඇති වූ සමාජ නොසන්සුතාව මැඬලීම සඳහා යුරෝපා රටවල් විසින් හමුදාව යොදා ගත් අතර සිවිල් පාලනයටද එය එසේම විය. නීතිය හා සාමය රැකීම සඳහා 1829දී ප්‍රංශයේ පොලිස් සේවයක් ආරම්භ කරනු ලැබුවද එයද හමුදා ආකෘතියක් ගනු ලැබූ නිසා හා දේශපාලන වුවමනාව මත පිහිටුවා ගත් පොලිස් බළකායක් වූ නිසාත් ප්‍රංශ පොලිසිය සම්බන්ධව ජනතා ප්‍රසාදයක් පැවතියේ නැත. මෙය මැනවින් තේරුම් ගත් නූතන පොලිස් සේවයේ පියා (Robert Peel) සිවිල් පරිපාලනය හා නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා කිසි අයුරකින් හමුදාව සම්බන්ධ නොකර ගත යුතු බවට තීරණය කර පොලිස් නිලධාරීන් නිරායුධව සේවයේ යෙදවීම තුළින් පොලිස් නිලධාරීන් කෙරෙහි මහජන බිය නැති කර හැකි බව විශ්වාස කළේය. තවද ඔහු කළ නිර්දේශ අතර බි්‍රතාන්‍ය යුද හමුදාවේ පැවති සැරයන් තනතුර හැර අනිකුත් කිසිදු නිල නාමයක් මෙට්‍රොපොලිටන් පොලිස් සේවයේ තනතුරු සඳහා භාවිත නොකිරීමට කටයුතු කරනු ලැබීය. බි්‍රතාන්‍ය යටත් විජිත රාජ්‍යයක් ලෙස කලක් පැවති ශ්‍රී ලංකාව ඉංග්‍රීසි ජාතිකයන්ගේ බොහෝ තාඩන පීඩනවලට ලක් විය.

විවිධ බදු ක්‍රම මගින් දේශීය ජනතාවගේ මිල මුදල් සොරා ගැනීම, මුතු මැණික්, ඇත් දළ, වටිනා ලී වර්ග මෙරටින් අසාධාරණ ලෙස රැගෙන යෑම, වනාන්තර, ස්වභාවික සම්පත් විනාශ කිරීම වැනි ක්‍රියා හේතු කොට ගෙන ස්වදේශීය ජනතාව සිය විරෝධය එකලද ආණ්ඩුවට පළ කරන ලදි. තවද ඇතැම් උද්ඝෝෂණ, ජනතා නැගිටීම් එකල යටපත් කරනු ලැබුවේ ඉතා කෲර ලෙසය. මෙවැනි යටත් විජිතවාදී වකවානුවකදී බිහි වූ පොලිසියට ස්වදේශිකයන්ගේ සුරක්ෂිතතාව තහවුරු කිරීම, ඔවුනගේ අභිවෘද්ධිය එතරම් වැදගත් නොවීය. 1865 වසරේ සිට 2022 දක්වා වසර 156ක් විකාශනය වී ඇති ශ්‍රී ලංකා පොලිසිය 1865 අංක 16 දරන පොලිස් ආඥා පනත මගින් මෙහෙය වේ. 1976 වසරේ නොබැඳි ජාතීන්ගේ සමුළුව ශ්‍රී ලංකාවේ පවත්වා ඇති අතර එයට ලොව රාජ්‍ය නායකයන්, නියෝජිතයන් බොහෝ පිරිසක් සහභාගි වී ඇත. එකල උතුරු පළාත තුළ ඊළාම් කොටි ත්‍රස්තවාදය හිස ඔසවමින් පැවතියද රාජ්‍ය නායකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම, රථවාහන කළමනාකරණය මනා ලෙස සිදුකිරීම නිසා ගෞරවාදරයට පාත්‍ර වූ ශ්‍රී ලංකා පොලිසියක් අපට ඇත. එසේම ඊළම් කොටි ත්‍රස්තවාදය හේතුවෙන් මඩකලපුව, අම්පාර, කල්මුණේ යන දිස්ත්‍රික්කවල සේවය කළ නිරායුධ පොලිස් නිලධාරීන් 700ක් එකම අවස්ථාවකදී 1990 වසරේදී ඝාතනයට ලක් විය. ඇත්ත වශයෙන්ම එය ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ මෙතෙක් සිදු වූ බරපතළම නිලධාරී ඝාතනය වේ. ලන්ඩන් නගරය තුළ පැවති අවිධිමත් පොලිස් සංවිධානය වෙනුවට කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ අරමුණින් නූතන ලෝකයට ගැළපෙන පරිදි රොබර්ට් පීල්ගේ ප්‍රධානත්වයෙන් ලන්ඩන් පොලිස් ආඥා පනත සකස් කරන ලදි. එය පොලිසිය ප්‍රතිසංවිධානයට සිදු කරනු ලැබූ විශාල දෙයකි. නූතන පොලිස් සේවයේ පියා ලෙස හඳුන්වන ලබන ශ්‍රීමත් රොබර්ට් පීල් මෙට්‍රොපොලිටන් පොලිසිය දියුණු කළ ආකාරය සම්බන්ධව වැඩි දුරටත් සොයා බලා මහජන ආරක්ෂක අමාත්‍යාංශය හා ජනාධිපතිවරයා ශ්‍රී ලංකා පොලිසිය ඉහළට ඔසවා තැබිය යුතුව ඇත.

රොබර්ට් පීල් විසින් විනයගරුක, ආචාර සම්පන්න සහ මහජන මිත්‍රශීලී පොලිසියක් බිහි කිරීම සඳහා මූලධර්ම නවයක් හඳුන්වා දෙන ලදි. එසේනම් ශ්‍රී ලංකා පොලිසියද මහජන ගෞරවයට පාත්‍ර කිරීමට මෙම මූලධර්ම මත ප්‍රතිසංස්කරණයට ලක් කළ යුතුව ඇත. ඔහු අවධාරණය කරනු ලැබුවේ හමුදාමය වශයෙන් දරුණු ලෙස මැඬපැවැත්වීම, නීතිමය වශයෙන් බරපතළ දඬුවම් පැමිණවීම සහ අපරාධ හා සමාජ නොසන්සුතාව වැළැක්වීමට මහජන සහයෝගය අවශ්‍ය බවත්, ඉතා සීමිත ලෙස බලය භාවිතා කළ යුතු බවත්ය. සෑම ආධුනික පොලිස් නිලධාරියෙකුටම පුහුණු කාල සීමාව තුළ මේ සම්බන්ධව න්‍යායාත්මක දැනුම ලබාදීම සිදු කළ යුතුව ඇත. තවද පොලිස් විද්‍යාලයේ අධ්‍යයන පාඨමාලාවලට මෙය ඇතුළත් කිරීම අගනේය.

  1. පොලිසියේ මූලික මෙහෙවර විය යුත්තේ අපරාධ සහ අක්‍රමිකතා වැළැක්වීම
  2. මහජනයාගේ ගෞරවය හා විස්වාසය පවත්වාගත හැකි වන පරිදි නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා බලතල පාවිච්චි කිරීමේ දී ඒ පිළිබඳව පොදු ජනතාවගේ අභිමතය සහ අනුමැතිය ඇතිව කටයුතු කිරීමේ වැදගත්කම අවබෝධ කර ගැනීම
  3. ජනතාවගේ විශ්වාසය හා ගෞරවය ආරක්ෂා කිරීම හා එය දිගටම පවත්වාගෙන යෑම සඳහා නිතිය ක්‍රියාත්මක කිරීමේදී ජනතාවගේ සහයෝගිතාව (Willing cooperation) ලබා ගැනීමේ වැදගත්කම
  4. පොලිස් අරමුණු ඉටුකර ගැනීම සඳහා බලය පාවිච්චි කිරීමට අනිවාර්යෙන්ම සිදුවන අවස්ථාවලදී දැනටමත් ගොඩ නගාගෙන ඇති ජනතා විශ්වාසය රැක ගත හැකි ප්‍රමාණයට එම බලය පාවිච්චි කිරීම සීමා විය යුතු බව තේරුම් ගැනීම
  5. ධනය, බලය හෝ වෙනත් සමාජ තත්ත්වයන් ගැන විශේෂත්වයක් නොදක්වා පොදුවේ සෑම සියලු දෙනාගේම සුබසිද්ධිය හා ජීවිත සංරක්ෂණය සඳහා නීතිය යුක්ති සහගත හා සාධාරණ ලෙස ක්‍රියාත්මක කිරීම
  6. බලය පාවිච්චි කළ යුත්තේ අවවාද කිරීමක් හෝ ඒත්තු ගැන්වීමක් ප්‍රමාණවත් නොවූ අවස්ථාවක පමණක් බවත් එයද මහජන අනුමැතිය ඇතිව ක්‍රියා කිරීමට හෝ මහජන සන්සුන්තාව ඇති කිරීම සඳහා ඉතාම අවම ප්‍රමාණයෙන් භාවිතා කළ යුතු බව
  7. සමාජ සුබසාධනය හා පැවැත්ම සඳහා මහජන බදු මුදලින් යැපෙන්නන් බව නිතර සිත්හි දරාගෙන “පොලිසිය යනු මහජනතාවයි, මහජනතාව යනු පොලිසියයි” යන සංකල්පය පෙර දැරි කරගෙන පොලිසිය ජනතාවට ඉහළින් කටයුතු කිරීමෙන් වැළකී සිටීම මගින් මහජන සහයෝගය ලබාගත යුතු බව.
  8. පොලිස් රාජකාරි පැවරී ඇති බලතලවලට පමණක් සීමා විය යුතු අතර පළිගැනීම හෝ බලය අයුතු ලෙස භාවිතා කිරීම සඳහා ලබාදී ඇති බලතල භාවිතා නොකළ යුතු බව
  9. සමාජයේ අපරාධ පැතිර යෑම, නොසන්සුතාවන් හට ගැනීම, හුදෙක් පොලිසියේ අකාර්යක්ෂමතාව නිසා සිදු වන බව තේරුම් ගත යුතු බවත් එබඳු තත්ත්වයන් හටගත් පසු යුහුසුළුව ක්‍රියා කිරීම පමණක් පොලිස් කාර්යක්ෂමතාව සනාථ කිරීමේ සාක්ෂියක් නොවන බවද තේරුම් ගත යුතු බව ශ්‍රී ලංකා මහ බැංකුව දරන ශුද්ධ විදේශ වත්කම් ප්‍රමාණය දිනෙන් දිනම පහතට වැටෙමින් පවතී. අප විශාල විදේශ විනිමය අර්බුදයකට මුහුණ දී ඇත. මෙවන් පසුබිමක දේශීය නිෂ්පාදන ආර්ථිකයකට අප යා යුතුව ඇත. රටේ සංසරණය වන මුදල් ප්‍රමාණය වැඩි වී තිබීම හේතු කොට ගෙන උද්දමනයද ඉහළ ගොස් ඇත.

මෙවන් පරිසරයක් තුළ ග්‍රාමීය හා නගරබද සේවා වියුක්ත තරුණ තරුණියන් ව්‍යවසායකත්වයට යොමු කරවීමට ඒ ඒ ප්‍රදේශය භාර ප්‍රජා පොලිස් නිලධාරීන් ක්‍රියා කළ යුතුව ඇත. මෙහිදී ප්‍රජා පොලිස් සේවය ක්‍රියාත්මක වීම සඳහා ප්‍රජා පොලිස් සහායක නිලධාරීන් බඳවා ගැනීමේ ගැසට් පත්‍ර යාවත්කාලීන කළ යුතුව ඇත. 1955 වසරේ ශ්‍රී ලංකාවේ පොලිස්පතිවරයා ලෙස සේවය කරන ලද ඔස්මන්ඩ් ද සිල්වා මහතා, සහකාර පොලිස් අධිකාරිවරයෙක් ලෙස 1939 වසරේ කෑගල්ල දිස්ත්‍රික්කයේ රාජකාරි කරන ලද අවදියේදී ග්‍රාමීය ස්වෙච්ඡා ව්‍යාපාරය නමින් ග්‍රාමීය ජනතාවගේ සංවර්ධනය උදෙසා වැඩසටහන් සංවිධානය කර ඇත. දැනට ප්‍රජා පොලිස් කටයුතුවල නිරතවන නිලධාරීන් මේ වැඩසටහන් පිළිබඳව දැනුවත් විය යුතු ඇත. විරැකියාව සඳහා පිළියම් දීම වැනි පුළුල් අරමුණු එම වැඩසටහන් තුළ තිබී ඇත. අව්ව, වැස්ස, කඳුළ, රාජකාරි පීඩනය මේ සියලු දේ දරාගෙන රාජකාරි කටයුතුවල යෙදෙන පොලිස් කොස්තාපල්වරයාගේ සිට ඉහළම නිලධාරියාගේ ගැටලු මැනවින් අවබෝධ කරගෙන මහජන ආරක්ෂක අමාත්‍යාංශය විසින් ප්‍රතිපත්ති, වැඩසටහන්, ක්‍රියාපටිපාටි සැකසිය යුතුව ඇත.

නියමිත පරිදි උසස්වීම් ලබාදීමට විද්‍යාත්මක ක්‍රමවේද (Scientific methods) සකසා ගැනීමට සම්පත් දායකයන් වැඩි වශයෙන් පොලිසියට එකතු කර ගත යුතුව ඇත. දිවයිනේ පොලිස් ස්ථාන 570 කට ආසන්න සංඛ්‍යාවක් පවතින අතර රාජකාරි කිරීමට ප්‍රමාණවත් පොලිස් නිලධාරීන් සමහර පොලිස් ස්ථානවල නොමැත. මෙවන් පරිසරයක් තුළ පොලිසියේ මෙහෙයුම් කටයුතු අකාර්යක්ෂම වී ඇත. එය පොලිසිය කෙරෙහි මහජන විශ්වාසය පලුදු වීමට බලපා ඇති එක් කරුණකි. පොලිස් නිලධාරීන් කිසිම පීඩනයකට හසු නොකර ඔවුන් විනෝදයෙන් නිදහස් මනසකින්, ඔවුන්ගේ නිර්මාණශීලීත්වය මතු වන අයුරින් රාජකාරි කටයුතුවල යෙදවීමට මහජන ආරක්ෂක අමාත්‍යාංශය ඇතුළු පොලිසිය භාර බලධාරීන් කටයුතු කිරීම කාලීනව සිදු කළ යුත්තකි. ඇත්ත වශයෙන්ම ජනාධිපතිවරයා ඍජු අවධානයක් පොලිසිය සංවර්ධනය කිරීම සඳහා යෙදවිය යුතුව ඇත. පොලිස් සේවය සඳහා භෞතික සම්පත් ලබාදීමෙන් ඔබ්බට ගොස් නිර්මාණශීලී වෙනසක් කිරීමට ඇති හොඳම කාල වකවානුවද මෙයයි. ගුණාත්මක පොලිස් සේවය යන්න වචනයට පමණක් සීමා නොකර ප්‍රායෝගිකව එය ක්‍රියාත්මක කළ යුතුව ඇත. අප සාකච්ඡාවට බඳුන් කළ කරුණු තුළින් පෙනෙන පරිදි ඕනෑම සමාජයක, රාජ්‍යයක ඉදිරි ගමන තීරණය කිරීමේදී නීතිගරුක බව අත්‍යවශ්‍ය අංගයකි. මෙහිදී ශ්‍රී ලංකා පොලිසියට පැවරෙන රාජකාරිය, වගකීම සුවිශාල වේ.

(අද දින 156 වන සංවත්සරය සමරන ශ්‍රී ලංකා පොලිසියට ත්‍රිවිධ රත්නයේ ආශීර්වාදය ලැබේවා)

දසුන් රත්නායක
කථිකාචාර්ය කළමනාකරණ අධ්‍යයන අංශය
ශ්‍රී ලංකා ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලය
පල්ලෙකැලේ මහනුවර

advertistmentadvertistment
advertistmentadvertistment