කාන්තාවක පැදවූ L බෝඩ් කාර් එකට පාසල් සිසුවා බිලි වෙයි

796

පෞද්ගලික උපකාරක පන්තියකට ගොස් පාපැදියෙන් එමින් සිටි 14 හැවිරිදි පාසල් සිසුවකු, කාන්තාවක විසින් පදවන ලද ‘එල් බෝඩ්‘ සහිත මෝටර් රථයකට යටවී එම ස්ථානයේදීම මියගොස් ඇතැයි හිරණ පොලිසිය පවසයි.

අනතුරින් මියගොස් ඇත්තේ පානදුර, පිංවල සුසාන භූමිය පාරේ පදිංචිව සිටි විහඟ සදෙව් ද සිල්වා නමැති 14 හැවිරිදි පාසල් සිසුවෙකි.

ඔහු මාලමුල්ල ප්‍රදේශයේ පැවැත්වෙන දමිළ පෞද්ගලික උපකාරක පන්තියකට සහභාගි වී සිය පාපැදියෙන් එමින් සිට මාලමුල්ල, පොකුණ හංදියේ ග්‍රාමීය බැංකුව ඉදිරිපිට මාර්ගය ආසන්නයේ පාපැදිය නවතා සිටියදී අනතුර සිදුව ඇත.

පිංවල දෙසින් පැමිණි මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැන පාපැදියේ ගැටී පාසල් සිසුවා සමග මීටර් 20 ක් පමණ දුරට ඇදීගොස් ජල සම්පාදන මණ්ඩලයට අයත් කොන්ක්‍රීට් කණුවක ගැටී සිරවී නතර දී ඇතැයි පරීක්ෂණ සිදුකරන නිලධාරියෙක් කීය.

රිය පැදවූ පානදුර, වඳුරම්මුල්ල ප්‍රදේශයේ කාන්තාව හිරණ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඇය පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

පානදුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සමන්ත වෙදගේ, සහකාර පොලිස් අධිකාරි නිශාන්ත සේනාරත්න යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමීර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් රථවාහන අංශ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක සමන් අල්විස්, කොස්තාපල්වරුන් වන හේරත් (36106) සහ කාන්තා රුවනි (12218) යන නිලධාරීහු පරීක්ෂණ පවත්වති.

ආර්. ඒ. එස්. ප්‍රේමතිලක – බණ්ඩාරගම

advertistmentadvertistment
advertistmentadvertistment