කාන්තා පිලේ අපරාජිත ගමනට ඔස්‌ට්‍රේලියාවෙන් ප්‍රහාරයක්

174

දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ පෙරේදා (16 වැනිදා) රාත්‍රි පැවැති තරගයේදී ශ්‍රී ලංකා කාන්තා පිලට එරෙහිව කඩුලු 10 ක ජයක් වාර්තා කිරීමට ඔස්‌ට්‍රේලියානු කාන්තා කණ්ඩායම සමත්විය. මේ සමඟම ශ්‍රී ලංකා කණ්ඩායමේ අපරාජිත ගමනද නිමාවට පත්විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 113 ක ඉලක්කයක් හඹා ගිය ඔස්‌ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 15.5 ක් පමණක් වැය කරමින් එම ජයග්‍රහණය ලබා ගන්නා ලද්දේ කිසිදු කඩුල්ලක් ප්‍රතිවාදීන් හමුවේ ලබා නොදෙමිනි. එහිදී ඇලීසා හිලී පන්දු 43 කදී හයේ පහරක් සහ හතරේ පහර 6 ක් සමඟ නොදැවී ලකුණු 54 ක්ද බෙත් මූනි පන්දු 53 කදී හතරේ පපහර 7 ක් සමඟ නොදැවී ලකුණු 56 ක් ලබා ගත්හ.

පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිලට ප්‍රබල තර්ජනයක් වූ මේගන් ස්වට් ප්‍රමඛ ඔස්‌ට්‍රේලියානු පන්දු යවන්නියන් හමුවේ රැස් කරගත හැකි වූයේ පන්දුවාර 20 අවසනදී කඩුලු 8 ක් දැවී ලකුණු 112 ක් පමණි. එහිදී කැපී පෙනෙන පන්දු යැවීමක නිරත වූ මේගන් ලකුණු 24 කට කඩුලු 4 ක් දවා ගත්තාය.

කාන්තා පිලේ අපරාජිත ගමනට ඔස්‌ට්‍රේලියාවෙන් ප්‍රහාරයක්

ශ්‍රී ලංකා පිල වෙනුවෙන් ආරම්භක පිතිකාරිණී හර්ෂිතා සමරවික්‍රම පන්දු 40 කදී හතරේ පහර 3 ක් සමඟ ලකුණු 34 ක් ලබා ඉනිමේ වැඩිම ලකුණු ලාභිණිය බවට පත් වූවාය. විශ්මි ගුණරත්න පන්දු 33 කට මුහුණ දෙමින් ලකුණු 24 ක් රැස් කළ නමුත් සෙසු පිතිකාරිණියෝ දක්ෂතා අතට පැමිණීමට නොහැකිවීම, අභියෝගාත්මක ලකුණු සංඛ්‍යාවක් ගොඩනැංවීමට නොහැකි වීමට හේතු විය.

පළමු කඩුල්ල වෙනුවෙන් හර්ෂිතා සමග එක්වූ නායිකා චමරි අතපත්තු පළමු පන්දුවාර 5 ඇතුළතදී ලකුණු 30 ක් එක් කළද චමරි අතපත්තු ලකුණු 16 කට දැවී යෑම දැඩි පාඩුවක් ගෙන දෙන්නක් විය. ග්‍රේස් හැරිස් ගුවනේ පියඹා රැක ගන්නා ලද අති විශිෂ්ට උඩ පන්දුව හේතුවෙන් ඇය දැවී යන විටත් හතරේ පහර 2 ක් සහ හයේ පහරක් සිය ඉනිමට ඇතුළත් කර තිබුණාය.

ලකුණු වැඩි කිරීමේ අරමුණින් ඔෂධී රණසිංහ පිතිකරණ අනුපිළිවෙළේ වෙනසක් සිදුකරමින් ඉහළින් පැමිණියද එම තීරණයට සාධාරණයක් ඉෂ්ට කිරීමට ඇයට නොහැකි විය. ඇය ලකුණු ලබා ගැනීමට පෙරම දැවී ගියාය. කෙසේ වෙතත් මැදපෙළින් පැමිණි නිලක්ෂි ද සිල්වා පන්දු 7 කදී ලකුණු 15 ක් රැස් කිරීම නිසා ශ්‍රී ලංකා පිලට ලකුණු 112 සීමාව දක්වා ලකුණු සංඛ්‍යාව වැඩි කර ගැනීමට අවස්ථාව උදාවිය.

ශ්‍රී ලංකා පිල පන්දුවාර 20 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 112 යි – (හර්ෂිතා සමරවික්‍රම 34, චමරි අතපත්තු 16, විශ්මි ගුණරත්න 24, නිලක්ෂි ද සිල්වා 15, මේඝන් ස්වට් 24/4, ග්‍රැස් හැරිස් 07/2)

ඔස්‌ට්‍රේලියානු කාන්තා පිල පන්දුවාර 15.5 කදී කිසිවකු නොදැවී ලකුණු 113 යි – (ඇලීසා හීලි 54, බෙත් මූනි 56)

advertistmentadvertistment
advertistmentadvertistment