කූට වීසාවලින් යුරෝපයට පනින්න හැදූ ව්‍යාපාරික පවුලක් ගුවන්තොටේදී දැලේ

463

රුපියල් එක් කෝටි හතළිස් ලක්ෂයක මුදලක් තැරැව්කරුවකුට ගෙවා කූට ලෙස සකස් කළ ‘ග්‍රීක’ වීසා භාවිතා කර යුරෝපය වෙත පළා යෑමට පැමිණි සාමාජිකයන් හතර දෙනකුගෙන් යුතු ව්‍යාපාරික පවුලක් කටුනායක ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ දී 24 දින පස්වරුවේ ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

යුරෝපා රටවලට තානාපති කාර්යාලවල පවතින අධික කාර්ය බහුලත්වය නිසා එම රටවලට අදාළ වීසා නිකුත් කිරීම “ගෝලීය වීසා පහසුකම් සැළසීමේ සේවාව” (Global Visa Facilitation Service) නැමැති ආයතනය මගින් සිදු කෙරේ.

තැරැව්කරු විසින් මෙම ව්‍යාපාරිකයා ඉන්දියාවේ පිහිටි මෙම ආයතනයේ කාර්යාලය ඉදිරිපිටට කැඳවාගෙන ගොස් පොරොන්දු මුදල ලබාගෙන මෙම වීසා බලපත්‍ර ලබා දී තිබුණි.

එහිදී සිදු කළ තාක්ෂණික පරීක්ෂා කිරීම්වලදී මෙම වීසා බලපත්‍ර කූට ලෙස සකස් කළ ව්‍යාජ ඒවා බවට තහවුරු වී තිබේ.

ඒ අනුව ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් විසින් මෙම පවුලේ සාමාජිකයන් පිරිස අත්අඩංගුවට ගෙන මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කටුනායක ගුවන් තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දී තිබේ.

කටුනායක – ටී. කේ. ජී. කපිල

advertistmentadvertistment
advertistmentadvertistment