කොරෝනා හමුවේ දරුවන්ගේ ඉරණම

526

කොරෝනා වසංගතය විසින් අපට බොහෝ දේ අහිමි කර ඇත. අපගේ ආදරණීයයන්ගේ ජීවිත පමණක් නොව අපේ දරුවන්ගේ අනාගතය ද කොවිඞ් අර්බුදය නිසා දැඩි අභියෝගයකට ලක්ව ඇත.

කොවිඞ් අර්බුදයත් සමඟ අප රටේ පාසල් පද්ධතිය වැසී ගියේය. දරුවන්ට අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව ද ඒ සමඟ ගිලිහී ගියේය. කෙසේ වෙතත් ඊට විකල්පයක් ලෙස ඔන්ලයින් ක‍්‍රමයට පන්ති පැවැත්වීමට තීරණය කිරීම නිසා අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව දරුවන්ට හිමි වුවත් ඒ ඔස්සේ ද විවිධ විෂමතා ගොඩනැගුණි. විශේෂයෙන් ටැබ් හෝ ස්මාර්ට් ෆෝන් සපයා ගැනීම, ඬේටා සඳහා අමතර වියදමක් දැරීම යන කාරණා හමුවේ බොහෝ දුප්පත් දෙමාපියන්ගේ දරුවෝ අසරණභාවයට පත්වූහ. තමන්ගේ පන්තියේ යහළුවෝ අධ්‍යාපනය ලබද්දී සමහර දරුවන්ට එම අවස්ථාව නොලැබුණේ එහි ප‍්‍රතිඵලයක් වශයෙනි.

සමහර අවස්ථාවලදී ඔන්ලයින් සම්බන්ධතා ලබා ගැනීමට අවශ්‍ය ටැබ් හෝ ස්මාර්ට් දුරකථන සොයා ගත්තත් සමහර දරුවන් දුරකථන සංඥා නොමැතිව විඳි දුෂ්කරතා ද පසුගිය කාලයේදී අපමණ වාර්තා විය. දුරකථන සංඥා ෙසොයාගෙන කඳු බඩගෑමටත්, ජිවිත අවදානම නොතකා උස්තැන්වලට ගොස් දුරකථන සංඥා සොයා ගැනීමට අමතර වෙහෙසක් දැරීමටත් දරුවන්ට සිදුවිය.

දුෂ්කරතා හෝ අභියෝග මැද ඔන්ලයින් ඔස්සේ හෝ අධ්‍යාපනයට යොමු වූ දරුවන්ට පසුකාලීනව අධ්‍යාපනය ගිලිහී යන්නේ ගුරු වර්ජනය නිසාවෙනි. මාස ගණනාවක් තිස්සේ ඇදුණු මෙම ගුරු වර්ජනය නිමා කිරීමට රජයත්, ගුරුවරුනුත් මැද ස්ථානයකට පැමිණිය යුතු බව අපගේ අදහසයි. ගුරුවරුන්ට වසර ගණනාවක් තිස්සේ ඇතිවී තිබෙන වැටුප් විෂමතාව ඉවත් කර ගැනීමට දරන සටන අසාධාරණ යැයි අප කියන්නේ නැත. එහෙත් ඒ නිසාම දැයේ දූ දරුවන්ගේ අධ්‍යාපනය ලැබීමේ ඇති අයිතිය අහිමි වීම පිළිබඳව ඛේදවාචකය සුළුවෙන් තක්සේරු කළ නොහැකිය. එනිසා රජයත්, ගුරුවරුනුත් මේ යථාර්ථය තේරුම් ගෙන කාටත් පිළිගත හැකි විසඳුමකට ඒමට තවත් ප‍්‍රමාද විය යුතු නැත.

ඔන්ලයින් ඔස්සේ අධ්‍යාපනය ලබාදිය හැකි වුවද, ඉන් දරුවකුගේ පෞරෂත්වය ගොඩනැගීමට බලපෑමක් සිදුවන්නේ නැත. පොත පතේ දැනුමෙන් ඔබ්බට ගිය ක‍්‍රියාකාරකම්වලට දරුවාට අවකාශ ලැබෙන්නේ සැබෑ පාසල් අධ්‍යාපනය තුළදී පමණි. එනිසා මෙම වසංගතය මැඬපවත්වා ඉක්මනින් පාසල් ආරම්භ කිරීමට හැකි සෑම පියවරක් ම ගැනීම බලධාරීන්ගේ යුතුකම වෙයි. පාසල් ආරම්භ කිරීම ප‍්‍රමාද වන තරමට දරුවන් තුළ ඇතිවන ඒකාකාරී ජීවන රටාව නිසා තවත් අතුරු අනතුරු සහිත වටාපිටාවක් නිර්මාණය වීමට ඇති ඉඩකඩ වැඩිය. එවැනි ඛේදවාචකයක් පසුගිය දිනෙක බණ්ඩාරගම රයිගම ප‍්‍රදේශයෙන් වාර්තා විය. ඔන්ලයින් ඔස්සේ අධ්‍යාපනය ලබාගැනීමට පියා ලබාදුන් දුරකථනයෙන් වීඩියෝ ගේම්වලට ඇබ්බැහි වූ 11 වසරේ ඉගෙනුම ලැබූ ඉසුරු අශේන් නමැති දරුවා සියදිවි නසාගෙන තිබුණේ කාගේත් හදවත් කම්පා කරවමිනි. මෙවැනි ඛේදවාචක යළි නොඇසේවාය යන්න අපේ අපේක්‍ෂාව වන අතර කුමන හේතුවක් නිසාවත් එවැනි තත්ත්වයන්ට නොපෙලඹෙන ලෙස අපි ආදරණීය දූ පුතුන්ගෙන් ඉල්ලා සිටින්නෙමු.

මෙවැනි ඛේදවාචකවලට දරුවන් පොලඹවන වීඩියෝ ගේම් අන්තර්ජාලයෙන් ලබාගත නොහැකි අයුරින් තාක්‍ෂණික බාධා පමුණුවන ලෙසට ‘ලක්මව දියණියෝ’ කාන්තා ව්‍යාපාරය විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් ද කර ඇති පුවතක් ඊයේ (15 දා) අප පුවත්පතේ පළ විය.

අදාළ බලධාරීන් මෙම කාන්තා ව්‍යාපාරයේ ඉල්ලීම පිළිබඳව ඉතා ඉක්මනින් ප‍්‍රතිචාර දක්වනු ඇතැයි අපි අපේක්‍ෂා කරමු. දරුවන්ට මානසික ව්‍යාකූලතා ඇතිකරන අන්තර්ජාල ක‍්‍රියාකාරකම් පිළිබඳව වැට බැඳීම අවශ්‍යයෙන්ම කළ යුත්තකි. අප රටේ අනාගත සම්පත දරුවන් ය. එම දරු සම්පත දැනුමින්, නුවණින් පමණක් නොව අධ්‍යාත්මික වශයෙන් සුපෝෂිත දරුවන් ලෙස සමාජගත කිරීමේ වගකීම ඇත්තේ වැඩිහිටි අප අතේ බව අමතක නොකළ යුතුය.

advertistmentadvertistment
advertistmentadvertistment