ඛනිජ තෙල් සංස්ථාවේ අලුත් ලාංඡනය

26

ඉන්ධන මිල ඉහළ යන බව බන්දුල ගුණවර්ධන සහ උදය ගම්මන්පිල යන ඇමැති දෙපල මාරුවෙන් මාරුවට කීම නිසා මේ රටේ ජනයා සංත‍්‍රාසයට පත්ව සිටිති. බියවීම සඳහා කවර හෝ හේතුවක් හැමදාමත් අපට තිබිණ. 1948 ට පෙර අප බිය වූයේ යටත් විජිත පාලකයන්ටය. 1948 දී මේ රටට නිදහස ලැබීමෙන් පසු ක‍්‍රම ක‍්‍රමයෙන් අපි ස්වදේශික දේශපාලනඥයන්ට බිය වීමට පුරුදු වූයෙමු. 1977 න් පසු අප බිය වන්නට පටන් ගත්තේ මේ රට තුළ හිස එසවූ දේශපාලන දාමරිකත්වයටය. 1983 න් පසු අප නිතර බිය වූයේ ප‍්‍රභාකරන් ගැන කල්පනා කරමිනි. යුද ජයග‍්‍රහණයෙන් පසු තවදුරටත් බිය වීමට දෙයක් නැති නිසා අපි මහත් සේ සැනසීමට පත්වූයෙමු. එහෙත් ස්වල්ප කලකින් ජීවන වියදම අපට මහත් සේ හිරිහැර කරන්නට පටන් ගත්තේය. අද යුද බියක් නැත. 1505 සිට 1948 දක්වා පැවති සාම්ප‍්‍රදායික යටත් විජිතවාදය පිළිබඳ බියකුත් නැත. ඇමරිකන් තානාපති හරහා හෝ චීන ආණ්ඩුව හරහා හෝ එන නව යටත් විජිතවාදයේ තර්ජනය කළමනාකරණය කරගත හැකි මට්ටමක පවතින නිසා වැඬේ හරියටම පත්තු වන තුරු බියවීමට හේතුවකුත් නැත. දැනට අප බියවන්නේ ජීවන වියදම ගැනය. ජීවන වියදම නගින නැගිල්ල කොතරම් දරුණුද යත් එය ඉනිමං බැඳගෙන උඩටම නගින බව පෙනේ. මේ කරදරය අතරට ඉන්ධන මිල වැඩිවීමකුත් ආවොත් ජනතාවගේ සිත් සතන් තනිකරම සුසාන භූමියක මට්ටමට පත්වේ. ගෑස් මිල වැඩිවුණු ප‍්‍රමාණයේ හැටියට දැනටම අපි ගොක් කොළ සහ මල්වඩම් සිහිනයෙන් දකිමු. සිගරට් මිල වැඩිකිරීමට යන බව ආරංචි වී සතුටට පත්වෙමු. ආණ්ඩුව අරක්කු මිල වැඩි නොකරන්නේ මන්දැයි කෝපයට පත්වෙමු. ඒ අතර ළඟදීම පෙට‍්‍රල් හා ඞීසල් මිල ඉහළ යන බවට ලැබෙන තර්ජනාතමක ආරංචියෙන් භීතියට පත්වෙමු.

අවසාන විග‍්‍රහයේදී ඛනිජ තෙල් සංස්ථාවට ඉන්ධන මිල වැඩිකිරීම හැර වෙනත් විකල්පයක් නැති බව තර්කයක් වශයෙන් පිළිගැනීමට අපට සිදුවී තිබේ. තෙල් සංස්ථාව කොයිතරම් දුරට ණය වී ඇත්ද යත් 7% ක Service charge එකක් මත ණය ගැනීමට ඔවුහු සූදානමින් සිටිති. ඩොලර් බිලියන 2.5 ක් යනු පොඩි ගානක් නොවේ. මෙයින් 7% ක් යනු ඩොලර් මිලියන 17.5 කි. ඩොලර් මිලියන 17.5 ක සර්විස් චාර්ජ් එකක් ගෙවීමට අපට සිදුවන්නේ ඇයි? විපක්ෂය මේ පිළිබඳව ප‍්‍රශ්න කරන විට ඛනිජ තෙල් ඇමැති උදය ගම්මන්පිල විසින් දෙන ලද උත්තරයේ සංක්ෂේපය මෙසේය; ශ‍්‍රී ලංකාවේ මාසික ඉන්ධන වියදම ඩොලර් බිලියන 3.5 කි. මේ සඳහා රටවල් ගණනාවකින් ණය වශයෙන් මුදල් ඉල්ලන ලද නමුදු කාගෙන්වත් එම ණය මුදල ලැබුණේ නැත. අවසන් වශයෙන් එම මුදලට සමාන තෙල් ණයට දීමට ඕමානය සූදානම් වූ නමුදු එයද හරිගියේ නැත. අවසානයේදී ණය ලබාගැනීම සඳහා යෝජනා පත‍්‍ර කැඳවන ලද අතර ඇමරිකාවේ නිව් ජර්සි නගරයේ පිහිටි PSL America Incopration නමැති මූල්‍ය සමාගමක් ඉතා අඩු පොලියක් යටතේ ඩොලර් බිලියන 2.5 ක් සැපයීමට යෝජනා පත‍්‍රයක් ඉදිරිපත් කළේය. ණය ලබාදෙන විට 7 % ක සර්විස් චාර්ජ් එකක් අයකරන බවද ඔවුහු කීහ. එම සමාගම කියන්නේ ලංකාවේ මූල්‍ය තත්ත්වය ඉතාම අවදානම් බැවින් මෙම ණය මුදල රක්ෂණය කළ යුතු බවත් ඒ සඳහා අදාළ රක්ෂණ සමාගම් විශාල Premium එකක් අයකරන බවත්ය. ඉහත සඳහන් 7% ගෙවීමට සිදුවන්නේ එකී රක්ෂණ කටයුතු සහ වෙනත් සේවා ගාස්තු වශයෙනි. ඛනිජ තෙල් සංස්ථාව ලංකා බැංකුවට සහ මහජන බැංකුවට ඩොලර් බිලියන 3.6 ක් ණයවී ඇත. ඒ සඳහා අවුරුද්දකට 5.5% ක් පොලියක් ගෙවනු ලැබේ. දැනට ඩොලර් බිලියන 2.5 හේ ණය මුදල ලබාදීමට ගිවිසගෙන සිටින පී එස් එල් ඇමරිකා ඉන්කෝපරේෂන් සමාගම අයකරන පොලී මුදල 3.23% කි.

ඛනිජ තෙල් ඇමැති උදය ගම්මන්පිල කියන පරිදි මෙය වාසියකි. මෙහිදී ඉන්ධන පැත්තෙන් මේ රට පත්ව තිබෙන තත්ත්වය ඉතාම අවදානම් බව අප වටහා ගත යුතුය. ලබන මස දී ඉදිරිපත් කිරීමට නියමිත මීළඟ අය වැය ලේඛනයේදී ඉන්ධන මිල ඉහළ දැමීමට යන බවටද කට කතාවක් පැතිර යමින් පවතී. ඩොලර් 60 ට තිබූ අමු තෙල් බැරලය අදවන විට ඩොලර් 97 දක්වා ඉහළ නැග තිබෙන බව අපිද පිළිගන්නෙමු. එහෙත් මේ රටේ ජනයාගේ ආදායම් කිසිසේත්ම ඉහළ ගොස් නැත. කොවිඞ් වසංගතයෙන් පසු මේ රටේ ආයතන විශාල ප‍්‍රමාණයක් බිමටම සමතලා වී තිබේ. විශාල පිරිසකගේ රැකියා නැති වෙලාය. ආයතන, සේවකයන්ට පඩි ගෙවන්නේ ඉතා අමාරුවෙනි. ඒ අතර අත්‍යවශ්‍ය භාණ්ඩ සියල්ලෙහිම මිල ඉහළ ගොස් තිබේ. මේ තත්ත්වයට සාපේක්ෂව ඉන්ධන මිල යළිත් වතාවක් ඉහළ ගියොත් ඛනිජ තෙල් සංස්ථාවේ ලාංඡනය පවා වෙනස් කිරීමට ආණ්ඩුවට සිදුවෙයි. දැනට එම ලාංඡනයේ තිබෙන්නේ ගිනි පන්දමක් අතින් ගෙන නිරුවතින් දුවන මිනිසෙකි. මෙයට අවුරුදු දහස් ගණනකට පෙර ග‍්‍රීසියේ ඔලිම්පික් උළෙල ආරම්භ කෙරුණේ ගිනි පන්දමක් අතින් ගෙන ඉදිරියෙන් දිව යන නිරුවත් මිනිසකුගෙනි. ඛනිජ තෙල් ලාංඡනය එහි සංකේතයකි. අපේ රටේ තෙල් මිල නැවතත් වැඩි කළොත් ඛනිජ තෙල් සංස්ථාවේ ලාංඡනයෙන් පන්දම රැගත් මිනිසා ඉවත්කොට එතැන අළු ගොඩක් පින්තාරු කළ යුතුය. එයින් නිරූපණය වන්නේ ඉන්ධන මිල ඉහළ යෑම නිසා බුර බුරා ඇවිල ගිය ජීවන වියදම් ගින්නෙන් දැවී මිනිසා අළුව ගොස් ඇති බවය.

advertistmentadvertistment
advertistmentadvertistment