ගගන් මලික් නෙවෙයි පල්ලවි සුභාෂ් ලංකාවට ගෙනාවෙත් මම: කිසි තැනක ඒවා සඳහනක් නෑ!

776

චිත්‍රපට නිෂ්පාදිකා කෞශල්‍යා වික්‍රමසිංහ

“සෙකන්ඩ් ෂෝ” සම්පූර්ණයෙන්ම රූගත කළේ ලන්ඩනයේ

ඊළගට කරන්නේ හින්දි සිංහල ඒකාබද්ධ චිත්‍රපටයක්

ශ්‍රී ලාංකේය සිනමාවට එක්වන අලුත්ම නිෂ්පාදකවරිය වන්නේ කෞශල්‍යා වික්‍රමසිංහයි. ඇය විදේශීය චිත්‍රපට ගෙන්වා ප්‍රදර්ශනය කිරීමේ ව්‍යාපාරිකාවක්. ස්ලම්ඩෝග් මිලියනර්, ගජිනී, 83, මයි නේම් ඊස් කාන්, පා, වෙට්ටයිකාරන්, පිහූ, ලව් ආජ්කල්, විශ්වරූපම් 2 ආදී ජනප්‍රිය චිත්‍රපට රැසක් ශ්‍රී ලංකාවේ බෙදා හරිනු ලැබුවේ ඇය විසින්. එසේම අද වනවිට අර්බුදකාරී ක්ෂේත්‍රයක් බවට පත්වී ඇති චිත්‍රපට නිෂ්පාදනයටද ඇය අතගසා තිබෙනවා. ඉදිරියේ තිරගත වන්නට නියමිත “සෙකන්ඩ් ෂෝ” තමිල්නාඩු ශ්‍රී ලංකා හවුල් නිෂ්පාදනයේ සම නිෂ්පාදිකාව ඇයයි. මේ ඒ ගැන ඇයගේ කියැවීමයි.

ගගන් මලික් නෙවෙයි පල්ලවි සුභාෂ් ලංකාවට ගෙනාවෙත් මම: කිසි තැනක ඒවා සඳහනක් නෑ!

ඔබ ඉන්දියා ශ්‍රී ලංකා ඒකාබද්ධ දැවැන්ත නිර්මාණයක සම නිෂ්පාදිකාව. මොකක්ද ඔබේ පසුබිම?

මගේ ව්‍යාපාරය තමයි විදේශීය චිත්‍රපට ගෙන්වා බෙදා හැරීම. ගාල්ලේ සවුත්ලන්ඩ් බාලිකාවේ අධ්‍යාපනයෙන් පස්සෙ මම ඉන්දියාවේ ඉන්දිරා කලා විශ්වවිද්‍යාලයට ඇතුළු වෙනවා සංගීත උපාධිය සඳහා. ඉන්පසුව ලක්නව් විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා ගන්නවා. එයින් පසු බැංගලෝරයේ ග්‍රීන්වුඩ්හයි නම් ජාත්‍යන්තර පාසලේ බාහිර කථිකාචාර්යවරියක් ලෙස සේවයට බැඳෙනවා. මේ අතර මම සිනමාවට සම්බන්ධ වෙන්නේ අහම්බයකින්. සමන් වීරමන් මගේ සහෝදරයෙක්. ඔහු සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටය නිර්මාණය කරන්න සූදානම් වෙලා මට ආරාධනා කරනවා මගේ ඉන්දියානු සම්බන්ධතා සහ ඉන්දියානු භාෂා ඥානය නිසා මෙයට උදව් කරන ලෙස. මම එහෙම සම්බන්ධ වෙලා වැඩ කරන කාලයේ සිද්ධාර්ථ ගෞතම චරිතය සඳහා සුදුසු රංගන ශිල්පියෙකු තෝරා ගැනීමේ ගැටලුවට ඔවුන් බරපතළ ලෙස මැදි වෙලා සිටියා. වැලමිටියාවේ කුසලධම්ම නායක ස්වාමින්වහන්සේ ඇතුළු මහා සංඝරත්නයේ අනුශාසනා යටතේ නිර්මාණය වෙමින් පවතින චිත්‍රපටයේ එම චරිතයට ගැළපෙන ශිල්පියෙකු තෝරා ගැනීම අසීරු කාර්යයක් හා විශාල අභියෝගයක්ව තිබුණා. මෙතැනදි මම විශාල කැපකිරීමක් කරනවා. මගේ වෘත්තිය වගේම මගේ විෂයය වූ සංගීතය අතහැරලා පූර්ණකාලීනව මෙම චිත්‍රපටයට සම්බන්ධ වෙලා සිද්ධාර්ථ කුමරුගේ චරිතයට රූපණ ශිල්පියෙකු සෙවීම සඳහා කැපවෙනවා. දිල්ලිය බොම්බෙ හයිද්‍රාබාද් ආදී ප්‍රාන්ත වලින් හාරසිය හැට ගණනක් ඉන්ටර්වීව් කරලා තමයි මම ගගන් මලික්ව තෝරා ගත්තේ. නමුත් කියන්න කනගාටුයි ගගන් මලික් කිසිම තැනක ඒ ගැන සඳහන් කරන්නේ නැහැ. ඒ වගේම සුනිල් ආරියරත්න සර්ගෙ බිම්බා දේවී යශෝදරා චිත්‍රපටයේ යශෝදරා චරිතයට පල්ලවී සුභාෂ් ගෙනාවෙත් මමයි. එහෙම ආ ඒ ගමන තමයි මම “සෙකන්ඩ් ෂෝ” චිත්‍රපටයෙන් ඉන්දියා ශ්‍රී ලංකා ඒකාබද්ධ නිෂ්පාදනයක් දක්වා පැමිණියේ.

ගගන් මලික් නෙවෙයි පල්ලවි සුභාෂ් ලංකාවට ගෙනාවෙත් මම: කිසි තැනක ඒවා සඳහනක් නෑ!

ඔබ කොහොමද “සෙකන්ඩ් ෂෝ” චිත්‍රපටයට සම්බන්ධ වෙන්නේ ?

තමිල්නාඩුවේ ඩාක්රූම් ක්‍රියේෂන්ස් නමැති චිත්‍රපට නිෂ්පාදන ආයතනයේ සභාපති ගනේෂ් මහදේවන් මගේ හොඳ මිත්‍රයෙක්. ඔහු මට ආරාධනා කළා ඒකාබද්ධ නිෂ්පාදනයක් ලෙස චිත්‍රපටයක් කරමු කියලා. මමත් ඒකට එකඟ වුණා. ඔහුට අවශ්‍ය වුණා ශ්‍රී ලංකාවේ දැනට සිටින ජනප්‍රියම නළුවා මේ චිත්‍රපටයට ගන්න. ඒ අනුව මම යෝජනා කළා හේමාල් රණසිංහව. ඒ වගේම කාර්මික ශිල්පීන් හා අනෙකුත් ශීල්පීන් සියයට පනහක්ම ලංකාවෙන්. “සෙකන්ඩ් ෂෝ” චිත්‍රපටය සම්පූර්ණයෙන්ම රූගත කළේ ලන්ඩන් නුවර. මෙහි අධ්‍යක්ෂ දකුණු ඉන්දීය ප්‍රවීණ සිනමාකරු ඒ. ටී. ඥානම්. සම අධ්‍යක්ෂ ලංකාවේ විවේක් ප්‍රනාන්දු නම් දමිළ අධ්‍යක්ෂවරයා. ඔහුගේ පළමු චිත්‍රපටය. ඒ වගේම මම හඳුන්වා දෙනවා ලංකාවේ සංගීත අධ්‍යක්ෂ ලෙස ප්‍රනී වේල්. ඔහු ත්‍රිකුණාමලයේ ජීවත්වන දක්ෂ තරුණයෙක්. මෙය තමයි තමිල්නාඩු ශ්‍රී ලංකා පළමු ඒකාබද්ධ නිෂ්පාදනය.

2012 දී “සෙකන්ඩ් ෂෝ” නමින් මලයාලම් චිත්‍රපටයක් නිර්මාණය වුණා. මෙය එහි රීමේක් එකක්ද?

නැහැ. මෙය සම්පූර්ණයෙන්ම ස්වතන්ත්‍ර කතාවක්. මෙහි තිරනාටකය ටී. ඥානම්. සිංහල පිටපත තිසර ඉඹුලාන. “සෙකන්ඩ් ෂෝ” සිංහල හා දමිළ භාෂා දෙකෙන්ම නිෂ්පාදනය වන චිත්‍රපටයක්. පසුව දෙබස් කැවීමක් නොවෙයි.

මේ අර්බුදකාරී සමයේ ඔබ චිත්‍රපටය ප්‍රදර්ශනය ආරම්භ කිරීමට තීරණය කරනවා?

අපි චිත්‍රපටය ප්‍රදර්ශනය කරන්න මුලින්ම සැලසුම් කළේ 2020 ජනවාරි මාසයේ. කොවිඩ් වසංගතය නිසා කල්දමන්න සිදු වුණා. ලබන ජුලි 08 වැනිදා මෙය ප්‍රදර්ශනය ආරම්භ කරනවා.

නිමල් ෆ්‍රැන්සිස්

ගගන් මලික් නෙවෙයි පල්ලවි සුභාෂ් ලංකාවට ගෙනාවෙත් මම: කිසි තැනක ඒවා සඳහනක් නෑ!

advertistmentadvertistment
advertistmentadvertistment