අභියෝග මධ්‍යයේ කොමර්ෂල් බැංකු සමූහයේ තැන්පතු පළමු කාර්තුව තුළදී රුපියල් ට්‍රිලියන 2 ඉක්මවයි

98
කොමර්ෂල් බැංකුවේ සභාපති මහාචාර්ය ආනන්ද ජයවර්ධන මහතා (වමේ) සහ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරි සනත් මනතුංග මහතා.

කොමර්ෂල් බැංකු සමූහයේ තැන්පතු පදනම 2023 පළමු කාර්තුවේදී රුපියල් ට්‍රිලියන 2 ඉක්මවා ගොස් ඇති අතර, වෙනස් වන විනිමය අනුපාත සහ වෙළෙඳපොළ පොලී අනුපාතවල අඛණ්ඩ බලපෑම් සහ ව්‍යාපාර ක්ෂේත්‍ර ගණනාවකට සිදුවූ ආර්ථික පසුබෑම් හමුවේ එය සුවිශේෂී සන්ධිස්ථානයකි. ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික අංශයේ බැංකුව, සහ අනුබද්ධ සමාගම් සමන්විත සමූහය, 2023 මාර්තු 31 දිනෙන් අවසන් වන මාස 03 සඳහා කැපී පෙනෙන මෙහෙයුම් ලාභ වාර්තා කර ඇත. එහිදී දළ ආදායම රුපියල් බිලියන 84.149 දක්වා 54.20%කින් ද, පොලී ආදායම රුපියල් බිලියන 75.939 දක්වා 100.65% කින් ද වර්ධනය වී ඇත. එසේම 2022 පළමු කාර්තුවට සාපේක්‍ෂව ගාස්තු හා කොමිස් ආදායම රුපියල් බිලියන 7.301 දක්වා 35.37%කින්ද වර්ධනය වී ඇත. සමූහයේ පොලී ආදායම් වර්ධනයට හේතු වූයේ වෙළෙඳපොළ පොලී අනුපාතවල තියුණු වැඩිවීමක් වන අතර, සලකා බලන කාල සීමාව තුළ ණය ආදායමේ 84.75%ක වර්ධනයක් සහ රාජ්‍ය සුරැකුම්පත්වලින් ලැබෙන ආදායමේ 127.98%ක වැඩිවීමක් ජනනය විය. කෙසේ වෙතත්, එම සාධකයම එම කාලය තුලදී පොලී වියදම් රුපියල් බිලියන 37.940කින් හෙවත් 199.43%කින් රුපියල් බිලියන 56.964 දක්වා ඉහළ යෑමට හේතු වූ අතර, සමූහයේ තැන්පතු සඳහා වන පොලී වියදම් 258%කින් වැඩි විය. එහි ප්‍රතිඵලයක් වශයෙන් කාර්තුව සඳහා සමූහය වාර්තා කළ රුපියල් බිලියන 18.975ක ශුද්ධ පොලී ආදායම 0.81%ක ආන්තික වර්ධනයක් පෙන්නුම් කළේය.

සලකා බලන කාලසීමාව තුළ රුපියලේ අගය ඉහළ යෑමේ සන්දර්භයට අදාළව විදේශ මුදලින් සමූහයේ වත්කම් නැවැත තක්සේරු කිරීම හේතුවෙන්, සමූහයේ මුළු වත්කම් 2023 මාර්තු 31 වන විට රුපියල් ට්‍රිලියන 2.492 දක්වා ආන්තික ලෙස 0.29%කින් අඩු විය. සමූහයේ දළ ණය සහ අත්තිකාරම් මාස 03 තුළ 4.73%කින් රුපියල් ට්‍රිලියන 1.187ක් දක්වා අඩු වී ඇත්තේ රුපියලේ අගය ඉහළ යෑමේ හේතුවෙනි. සමූහයේ මුළු තැන්පතු රුපියල් ට්‍රිලියන 02 සීමාව ඉක්මවා 2.31%කින් වර්ධනය වී, 2023 මාර්තු 31 වන විට රුපියල් ට්‍රිලියන 2.023 දක්වා ප්‍රථම වරට ළඟා විය. මෙයට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ, රුපියල් තැන්පතු ඉහළ යෑම සහ රුපියලේ අගය ඉහළ යෑම හේතුවෙන්, විදේශ මුදල් තැන්පතුවල වටිනාකම අඩු වීමය.

advertistmentadvertistment
advertistmentadvertistment