ගැබිනි මව්වරුන් 12ක් කොවිඞ් ආසාදිතව මියගිහින් – ප‍්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය

200

මේ වන විට කොවිඞ් ආසාදනය වීමෙන් ගැබිනි මව්වරුන් 12 දෙනෙකු මියගොස් ඇති බව ප‍්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය පවසයි.

එබැවින් ගැබිනි මව්වරුන් ළඟම පිහිටි රෝහලට හෝ සායනයට ගොස් කොවිඞ් මර්දන එන්නත අනිවාර්යයෙන්ම ලබා ගන්නා ලෙස එම ආයතනය ඉල්ලා සිටී.

බස්නාහිර පළාතේ පදිංචි වයස අවුරුදු 30ට වැඩි සියලූම දෙනා මේ මස 31 වැනිදාට පෙර එන්නත්කරණය කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඉකුත්දා පැවැති කොවිඞ් කාර්ය සාධක බලකා රැුස්වීමේදී තීරණය කෙරිණි. ඒ අනුව ගැබිනි මව්වරුන්ටද එම අවස්ථාව උදාවී තිබේ.

වයස අවුරුදු 30 හෝ ඊට වැඩි ගැබිනි මව්වරුන්, රුධිර පීඩනය, දියවැඩියාව, ඇදුම ආදී රෝගාබාධවලින් පෙළෙන ගැබිනි මව්වරුන්ට මෙන්ම කොවිඞ් ආසාදනය වීමේ වැඩි අවදානමක් සහිත රැුකියා සඳහා යන ගැබිනි මව්වරුන් අනිවාර්යයෙන්ම කොවිඞ් මර්දන එන්නත ලබා ගැනීම සුදුසු බව විද්‍යායතනය විසින් නිර්දේශ කර තිබේ.

මේ වන විට ගර්භණී මාතාවන් 300කට පමණ එන්නත ලබාදී ඇති අතර ඩෙල්ටා ප‍්‍රභේදයෙන් වැළකීමට එන්නත්රණය අත්‍යවශ්‍ය බව වෛද්‍යවරුන්ගේ මතයයි.

මේ දිනවල එන්නත්කරණ වැඩසටහන සඳහා සායනවලින් ලබාදෙන විස්තර පති‍්‍රකාවට සිය ආයතනය පූර්ව අනුමැතිය ලබාදී නැති බවත් අනවශ්‍ය දුර්මත ඇතුළත් එම විස්තර පති‍්‍රකාව නොසලකා හරින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ප‍්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය පවසයි.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන් සහ නිරෝෂා වාසල

advertistmentadvertistment
advertistmentadvertistment