ගැහැනිය සාම්ප්‍රදායික රාමුවට කොටු විය යුතු නැහැ

158

කැලණිය විශ්වවිද්‍යාලයීය ජන සන්නිවේදන අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අමාලී උත්පලා නන්දසිරි

මාර්තු මස අට වැනිදාට (අදට) යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙනි

ලෝකයේ බහුතරයක් රටවල් විසින් සෑම වසරකම මාර්තු මස 08 වැනි දින ලෝක කාන්තා දිනය සමරනු ලබන අතර එහිදී කාන්තාව සම්බන්ධයෙන් විවිධ පැතිකඩ ඔස්සේ සාකච්ඡාවට බඳුන් කිරීම ද සිදු කෙරෙයි. නමුත් අද වන විට කාන්තාවට සැබෑම අගය කිරීමක් ලැබුණාද යන්න පිළිබඳ ගැටලු සහගත තත්ත්වයක් ඇති වී ඇත. අද ජනමාධ්‍ය තුළින් කාන්තාව නිරූපණය කරන්නේ කෙසේද? ඇයගේ වටිනාකම්වලට සැබෑම ඇගයීමක් ලැබෙනවා ද ආදී කරුණු රැසක් සම්බන්ධයෙන් කැලණිය විශ්වවිද්‍යාලයීය ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අමාලි උත්පලා නන්දසිරි සමග කළ කතාබහකි.

ගැහැනිය සාම්ප්‍රදායික රාමුවට කොටු විය යුතු නැහැ

● ස්ත්‍රීත්වය පිළිබඳ සමාජය විවරණය කරලා තියෙන්නේ කොහොම ද ?

ජීව විද්‍යාත්මකව මානවයා ස්ත්‍රී, පුරුෂ වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. ශිෂ්ටාචාර බිහිවෙලා සමාජය හැඩගැහෙනකොට තමයි ස්ත්‍රිය, ස්ත්‍රී වර්ගයා ගැන විවිධ කථිකාවන් නිර්මාණය වෙන්නේ. සියලුම මිලේච්ඡ හා වනචාරී සමාජවල පහත් අවධිවල සහ උසස් අවධියෙත් අඩ වශයෙන් ස්ත්‍රිය ස්වාධීන විතරක් නෙමෙයි අතිශය ගෞරවණීය ස්ථානයකට පාත්‍ර වෙච්ච කොට්ඨාශයක් බව ප්‍රෙඩ්රික් එංගල්ස් වැනි පර්යේෂකයන් පවසලා තියෙනවා. නමුත් පුරුෂයන් සමඟ සසඳන විට ස්ත්‍රිය ගැන සමාජයේ තියෙන්නේ බෙදීමක්. මේ ජීව විද්‍යාත්මක වෙනස නිසාම ආර්ථික, ආගමික, දේශපාලන, සංස්කෘතික සාධකවලදී පිරිමියාට වඩා කාන්තාව ගැන දක්වන ආකල්ප වෙනස් වෙලා තියෙනවා. මාර්තු 08 වෙනිදාට යෙදෙන ලෝක කාන්තා දිනයේදී මේ බෙදීම් සම්බන්ධව වගේම, වෙනස් වෙන ලෝකයත් එක්ක කාන්තාව මුහුණ දීලා තියෙන ගැටලු, අභියෝග, ඉදිරියේ කාන්තාවන් බලගන්වන්නේ කොහොමද වශයෙන් කාන්තාවට බලපාන විවිධ විෂය ක්ෂේත්‍රයන් කෙරෙහි අවධානය යොමු කරනවා. කොහොම වුණත් කාන්තාව සමාජයේ සාධාරණ ඇගයීමකට ලක් වෙලා නැහැ කියලයි මම හිතන්නේ.

● නූතනයේ කාන්තා භූමිකාව වෙනස් වෙලා තියෙන්නේ කොහොම ද ?

වර්තමානය වෙනකොට කාන්තාවන්ගේ සාක්ෂරතා මට්ටම ඉහළ ගිහින්. අධ්‍යාපනික වශයෙන් ඉහළම ඉලක්ක කරා යෑමට ඇයට හැකියාව ලැබිලා තියෙනවා වගේම ආර්ථික ක්‍රියාවලියට සෘජුවම දායක වෙලා තියෙනවා. අද වෙනකොට ලෝකයේ ශ්‍රම බළකායෙන් 3 න් 1 කට වැඩි ප්‍රමාණයක් කාන්තාවන් නියෝජනය කරනවා. කාන්තාවට ජීව විද්‍යාත්මකව වශයෙන් උරුම වෙලා තිබ්බ වටිනාකම් එක්කම සාම්ප්‍රදායික සමාජයත් යම් යම් වගකීම් පවරලා තියෙනවා. දරුවන් බිහි කරන්න, දරුවන් හදාගන්න, ස්වාමියාගේ කටයුතු කරන්න, මුළුතැන්ගෙයි කටයුතු කරන්න, අලංකරණය කටයුතු කරන්න වගේ දේවල්. නමුත් අද වෙනකොට මේ සාම්ප්‍රදායික කාර්යයන්ට අමතරව ඉපැයීමේ කාර්යයටද කාන්තාව දායක වෙලා තියෙනවා. උගත් නූගත් භේදයකින් තොරවම අද වෙනකොට කාන්තාව කුමන හෝ රැකියාවක් කරන්න යොමු වෙලා ඉන්නවා. ඒ වගේම රැකියාවන්හි නියුතු කාන්තාවන්ට වර්තමානයේ යම් යම් අභියෝගයන්ට මුහුණ දෙන්න සිද්ධ වෙන බව කිව යුතුයි. කාන්තාවක් වීම ම ඇතැම් රැකියා සඳහා තෝරා ගැනීමේ දී අභියෝගයක්. ඒ අභියෝගය ජයගෙන රැකියාවක නිරත වුණත් නිවෙසට, දරුවන්ට, ස්වාමිපුරුෂයාට තමන්ගෙන් ඉටු විය යුතුකම් ගැන හිතලම ස්ත්‍රියට රැකියාව තෝරාගැනීමේදී, රැකියාවේ නියැළීමේදී, රැකියාවේ රැඳී සිටීමේදී යම් යම් තීරණවලට එළැඹෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම ඉපයීම් ක්‍රියාවලියට අමතරව බිරියක්, මවක්, දියණියක් වශයෙන් යම් යම් වගකීම් ප්‍රමාණයක් ඉටු කරන්න ඇයට සිද්ධ වෙනවා. මේ හින්දා කාන්තාවගේ භූමිකාව සමාජයට අත්‍යවශ්‍යයි කියලා පුළුවන්.

● ජන මාධ්‍ය ක්ෂේත්‍රයේදී ස්ත්‍රී නිරූපණය භාවිත කරන්නේ කොහොමද ?

මාධ්‍යයේදී හැම වෙලාවෙම කාන්තාව නිරූපණය කරන්නේ සංස්කෘතික හා ආර්ථික රාමුව පදනම් කරගෙනයි. ඒ වගේම වාණිජමය අරමුණුත් එක්කම ස්ත්‍රීත්වය ප්‍රකට කරනවා. ස්ත්‍රිය නිරූපණය කරන්නේ සමාජ සංස්කෘතියේ පෙන්වා දෙන දාර්ශනික කාරණා මත පදනම් වෙලා නෙමෙයි. බොහෝ වෙලාවට කාන්තාව ආකර්ෂණීය පෙළඹවීමේ උපක්‍රමයක් විදිහට තමයි ජන මාධ්‍ය යොදාගෙන තියෙන්නේ. ටයිල්වල, බල්බ්වල, ටයර්වල, වායුසමීකරණවල වගේ සෑම වෙළෙඳ භාණ්ඩයකම පෙළඹවීමේ උපක්‍රමයක් විදිහට ස්ත්‍රිය යොදාගෙන තියෙනවා. මේ මාධ්‍යය අන්තර්ගතය ඇතුළේ හැම වෙලාවෙම වාණිජමය අරමුණු ළඟාකර ගන්න පුළුවන් වෙන විදිහේ කාන්තාවගේ වටිනාකම් විතරයි ජනමාධ්‍ය හසුකරගෙන තියෙන්නේ. මේ කාන්තාවගේ වටිනාකම්, අගයන් හුදෙක් වෙළෙඳ වාණිජමය අවශ්‍යතා වෙනුවෙන් අලෙවි වෙනවා වගේම සමාජ, සංස්කෘතික, දේශපාලනික පරිසරයෙන් අපහාසයට උපහාසයටත් ලක් වෙනවා. ඒ වගේම සංස්කෘතියේ ස්ත්‍රීත්වය සමඟ බැඳුණු දේවල් ප්‍රයෝජනයට ගනිමින් ජනමාධ්‍ය අන්තර්ගතයන් සකස් කරන්නත්, අලෙවිකරණයේදී පෙළඹුම් කාරයක් විදිහට පාවිච්චි කරන්නත් මාධ්‍යය මඟින් කටයුතු කෙරෙනවා. මේ නිසා සමාජයත් හැම වෙලාවේම ගැහැනිය සාම්ප්‍රදායිකව කොටු කරගන්න උත්සහා කරනවා කියලා කියන්න පුළුවන්. බොහෝ වෙලාවට මාධ්‍ය හසුරවන්නාගේ සමාජ පසුබිම අනුව ස්ත්‍රීත්වය පිළිබඳ දරන සංස්කෘතික අදහස මාධ්‍යය අන්තර්ගතයෙන් නිරූපණය කරනවා. අලෙවිකරණ උපක්‍රමවලට අමතරව ප්‍රවෘත්තිවලදීත් කාන්තාව විවිධාකාරයෙන් නිරූපණය කෙරෙනවා. ප්‍රවෘත්තිවල ඇතුළත් තොරතුරුවලට ස්ත්‍රියක් සම්බන්ධ වෙනවා නම් රූමත් තරුණිය, අහංකාර තරුණිය, අහිංසක තරුණිය වශයෙන් කාන්තාව අතිශයෝක්තියට නංවනවා. ඒ හැම දේකින්ම කාන්තාව මුල් කරගෙන ජන මාධ්‍ය ඉපැයීම සිදු කරනවා. නූතනයේ ප්‍රවෘත්තිවල, විවිධ වාර්තාකරණවල, නොයෙකුත් අලෙවිකරණ ක්‍රමවල කාන්තාවගේ ප්‍රතිරූපය පෙළඹුම්කාරකයක් විදිහටත්, මුදල් ඉපැයීමේ ක්‍රමවේදයක් විදිහටත් භාවිත කරනවා. ඇතැම් විද්වතුන් පෙන්වලා දෙන්නේ කාන්තාවගේ රූපය සමග එතරම් සම්බන්ධයක් නැති වස්තූන් වගේම සංකල්ප නියෝජනය කරලා කථිකාවන් නිර්මාණය කරන්න මේ කාන්තාවගේ රුව පෙළඹුම්කාරකයක් විදිහට ජනමාධ්‍යය යොදාගන්නවා කියලා.’

● කාන්තාවන් බලගැන්වීම සඳහා ජනමාධ්‍යය යොදා ගන්නේ කොහොමද?

කාන්තාවකට කාන්තාවක් විදිහට සමාජ සංස්කෘතියෙන් විශාල වටිනාකමක් දීලා තිබුණාට ඒ වටිනාකම් දිහා කොයි තරම් දුරට විචාරශීලීව බලන්න පුළුවන්ද කියන එක අද ප්‍රශ්නයක්. ඒ වගේම කාන්තාවක් විදිහට ඒ ලැබිච්ච වටිනාකම් අත්විඳින්න පුළුවන් වෙනවද කියන එකත් ප්‍රශ්නයක්. මේ නිසා සමාජ සංස්කෘතියෙන් පෙන්නලා දීලා තියෙන කාන්තාවගේ අධ්‍යාත්මික විශිෂ්ටත්වය, මානවිය වටිනාකම් නූතනයේ සාකච්ඡා කරන්න හොඳම තැන මේ ජන මාධ්‍යය. ඒ නිසාම ජන මාධ්‍ය සතු ප්‍රධාන වගකීමක් වෙන්නේ කාන්තාවට ලැබුණු සමාජ සංස්කෘතික වටිනාකම සමාජයට නිවැරදිව පෙන්වලා දීමයි. ජීව විද්‍යාත්මක සාධක මත හිඳිමින්, සංස්කෘතිය මත හිඳිමින් ස්ත්‍රිය පිළිබඳ දක්වන අදහස් නිසා ඇතිවෙලා තියෙන විවිධ බෙදීම් දිහා විවෘත මනසකින් බලලා සමාජය තුළට කථිකාවක් ගේන්න මාධ්‍ය කටයුතු කළ යුතුයි. කාන්තාව තවදුරටත් දුර්වල තැනැත්තියක්, ඇයට කරන්න පුළුවන් මේ දේවල් විතරයි වැනි අදහස්වලින් බෙදීම් ඇති කරලා තියෙනවනේ. මේ ආකල්ප වෙනස් කරන්න ජන මාධ්‍යය උදව් කරන්න ඕන. ස්ත්‍රියගේ පෞරුෂය, ආධ්‍යාත්මය සංවර්ධනය කරන්න ඇයව බලගන්වන්න කටයුතු කරන්න ඕන.

2023 වර්ෂයේ ලංකාවේ මුළු ජනගහනයෙන් 51.9% ක කාන්තා පිරිසක් සේවා නියුක්තියට දායක වෙලා තියෙනවා. මේ නිසාම ඇය රටේ සංවර්ධනයට දක්වන දායකත්වය සාකච්ඡා කිරීම අත්‍යවශ්‍යයි. ඒ වගේම ස්ත්‍රිය ආදායම් ඉපයීමත් සමග තව දුරටත් සාම්ප්‍රදායික ගැහැනියගේ රාමුවට කොටු වීමට අවශ්‍ය නැහැ කියන එක ජන මාධ්‍ය හැම වෙලාවෙම විවෘත මනසකින් කතා කරන්න ඕනී. වසර දහතුනක් ගැහැනු ළමයෙක් වෙනුවෙන් උගන්නලා මහන්සි වෙලා රැකියාවකට යනකොට ස්ත්‍රීත්වය ගැටලුවක් වෙනවා නම් ඒක නිවැරදිව පහදලා දෙන්න කථිකාවන් නිර්මාණය කරන්න ජන මාධ්‍යට හැකියාව තියෙන්නෙ ඕන. බොහෝ වෙලාවට ජනමාධ්‍ය කරන්නේ පැරණි සමාජයේ පැවතුණු ස්ත්‍රීත්වය අලෙවිකරණයට, ප්‍රචාරණ කටයුතුවලට යොදා ගන්න එකමයි. සැබෑ ප්‍රශ්න ගැනවත්, සංස්කෘතිය පෙන්වලා දෙන දාර්ශනික ලක්ෂණ ගැනවත් අවධානයක් යොමු කරන්නේ නෑ. මේ අලෙවිකරණයේදී කාන්තාව මුහුණ දෙන සැබෑ ගැටලු, ප්‍රශ්න පිළිබඳ නිර්මාණකරණයට ප්‍රස්තුත කර ගන්නවා වෙනුවට කාන්තාවගේ රූපය තමයි ප්‍රස්තූත කර ගන්නේ. නමුත් සැබෑ ලෙස විය යුත්තේ නිර්මාණ තුළින් ඇයගේ ගැටලු, ප්‍රශ්න සමාජගත කිරීමයි. සාම්ප්‍රදායික සමාජයේ මතවාද, ස්ත්‍රීත්වය ඇතුළේ තියෙන වටිනාකම්, රැකියා ක්ෂේත්‍රයේ අභියෝග, ආර්ථිකය ගොඩ නැංවීමේදී පුරවැසියන් විදිහට කාන්තාව දායක කරගන්නේ කොහොමද කියලා විවෘත මනසකින් කතාබහ කරන්න මාධ්‍යය මඟින් කටයුතු කළ යුතුයි. පෙළඹුම්කාරකයක් විදිහට ස්ත්‍රිය ගොඩනංවනවාට වඩා ගැඹුරු විචාරශීලී මනසකින් ස්ත්‍රීත්වය පිළිබඳ කියවා ගැනීම මෙන්ම සමාජයට ඉදිරිපත් කිරීමේ හැකියාව තියෙන්නේ මේ ජන මාධ්‍යයට. තවදුරටත් කාන්තාව ගැන කවි, ගීත ලියමින් සිටිනවාට වඩා ඇයගේ ප්‍රශ්න, ගැටලු පිළිබඳව විවෘත මනසකින් සාකච්ඡා මණ්ඩපයක් තුළ සාකච්ඡා කිරීම ජනමාධ්‍ය සතු වගකීමක්.

නවෝදී රශිපබා,
ජන සන්නිවේදන අධ්‍යයන අංශය,
කැලණිය විශ්වවිද්‍යාලය.

advertistmentadvertistment
advertistmentadvertistment