ගීතය කියන්නේ තුන් ඈදුතු සමබරතාවක ප්‍රතිඵලයක් – මහාචාර්ය කෝලිත භානු දිසානායක

239

සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ සංගීත පීඨයේ මහාචාර්යවරයෙක් මෙන්ම පශ්චාත් උපාධි අධ්‍යනාංශයේ පීඨාධිපති වශයෙන් කටයුතු කරන මහාචාර්ය කෝලිත භානු දිසානායකගේ ‘සංසාර සඳවතිය’ ගීත සමුච්චය එළිදැක්වීමේ උළෙල මෙම මස 18 වන දින ප.ව. 3.00 ට කොළඹ 07, ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වීමට නියමිතය.

පහත පෙළ ගැසෙන්නේ ඒ සම්බන්ධව මහාචාර්ය කෝලිත භානු දිසානායක මහතා සමඟ  සිදුකළ සාකච්ඡාවක්ය.

● සංසාර සඳවතිය ගීත සමුච්චයේ අන්තර්ගතය පිළිබඳ කෙටි හැඳින්වීමක් සහිතව මේ කථාව ආරම්භ කරනවා නම්,

ඇත්තෙන්ම, මේ ගීත සමුච්චය මම වසර ගණනාවක නිහැඬියාවකින් පසුව ඉදිරිපත් කරන ලද ගීත සමුච්චයක්. මේ ගීත සමුච්චයේ විශේෂත්වය වන්නේ අපට සාමාන්‍යයෙන් අහලා පුරුදු සරල ගීත ආකෘතියේ ගීත මෙන්ම ශ්‍රී ලංකාවෙන් මතු නොවෙන විදේශීය වශයෙන් හමුවන සංගීතාත්මක පර්යේෂණ මූලාශ්‍රයක් සහිතව ඉදිරිපත් වෙන නිර්මාණත් මේ ගීත ගොන්නට ඇතුළත්. මොකද, මං එහෙම කියන්නේ අපේ දේශීය ජන සංගීතයේ තිබෙන සංගීතාත්මක නිර්මාණ කටුයතුවල දී අපිට උචිත බව සලකමින් යොදා ගතහැකි විවිධ මූලාශ්‍ර භාවිත කරලා තියෙනවා. ගී පද රචනයෙන් මා සේවය කරන විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රෝහණ පී. මහලියනආරච්චි, ඒ වාගේම සම්මානලාභී ප්‍රවීණ ගී පද රචකයන් වන බණ්ඩාර ඇහැළියගොඩ, මහින්ද දිසානායක, මහාචාර්ය ප්‍රනීත් අභයසුන්දර, මහාචාර්ය සරත් ඥානසිරි, කපිල කුමාර කාලිංග, බන්දුල නානායක්කාරවසම්, සුමිත්‍රා රාහුබද්ධ, ඒවාගේම වෛද්‍ය දුමින්ද හඳපාන්ගොඩ, වෛද්‍ය ගයාන් අබේගුණවර්ධන, චමින්ද උඩවෙල, ඒ වගේම නවක ගී පද රචකයන් දෙපළක් වන චන්ද්‍රවංශ ඥානසේකර සහ දිලානි හේමන්ති ඒකනායක මේ ගීත සමුච්චය සඳහා ගී පද රචනයෙන් දායක වෙලා තිබෙනවා.

ඒ වාගේම සංගීත රචනයෙන් ආචාර්ය රෝහණ වීරසිංහ, සම්මානලාභී සංගීතඥ මහින්ද බණ්ඩාර සහ නාලක අංජන කුමාර, ලක්‍ෂ්මන් විජේසේකර, තිස්සසිරි පෙරේරා, සරත් ප්‍රනාන්දු, රජිත් ගාමිණී විජේසේකර, අජිත් දර්ශන වැනි අය සංගීත අධ්‍යක්‍ෂණයෙන් දායක වෙලා තිබෙනවා. ඉතින් මේ වගේ විශාල පිරිසක් එකතු කරගෙන තමයි මේ ගීත සමුච්චය ඉදිරිපත් වෙන්නේ. ඒ වගේම මෙහිදී තවත් විශේෂයෙන් මතක් කරන්න ඕනි, මේ සංගීතඥයන් සඳහා සංගීත අධ්‍යක්‍ෂවරු සමග කටයුතු කරපු සියලු ම වාද්‍ය වෘන්දයේ කටයුතු කරපු සංගීතඥයන් වෙතත් මා ඉතාම ගෞරවනීය ස්තුතිය පුද කරනවා.

ගීතය කියන්නේ තුන් ඈදුතු සමබරතාවක ප්‍රතිඵලයක් - මහාචාර්ය කෝලිත භානු දිසානායක

● මෙවැනි සංකීර්ණ නිර්මාණ කටයුත්තක් සඳහා යොමු වූ ආසන්නතම හේතු මොනවා ද?

ආසන්නතම හේතු හැටියට දක්වනවා නම් ප්‍රධාන දේ තමයි කලක පටන් මා සිටි නිහැඬියාව. දෙවෙනි ප්‍රධානතම හේතුව මට පහුගිය වසර ගණනාවක් තුළ මේ ක්‍ෂේත්‍රය දෙස විමසුම් සහගතව සහ මවිසින් කරන ලද පුද්ගලික නිරීක්‍ෂණ ඔස්සේ මට දැනිච්ච දේ තමයි.

කාලෙකින් හොඳ නිර්මාණයක් කෙරුණෙත් නැහැ. ඒ වාගේම අපේ ආදරණීය තරුණ පරම්පරාව විවිධ නිර්මාණ කරනවා. ජ්‍යෙෂ්ඨ ගායක ගායිකා පරපුර සහ තරුණ පරම්පරාව අතරමැද ඉන්න මාවැන්නකු විසින් යම් විදියක විශේෂිත ප්‍රායෝගික මුහුණුවරක් රැගත් ගීත ප්‍රමාණයක් නිර්මාණ ක්‍ෂේත්‍රයට දායක කළ යුතුයි කියන අභ්‍යන්තරික වුවමනාව මත තමයි මේ නිර්මාණ එකතුව එළිදක්වන්නේ.

● විෂයානුබද්ධ දැනුමක් සහිත ප්‍රාමාණිකයකු ලෙස ඔබේ නිර්මාණ එකතුව තුළින් පෙර නොවිදි අපූර්වත්වයක් විඳීම බොහෝ දෙනෙකුගේ අපේක්‍ෂාව බවට පත්ව තිබෙනවා. මේ නිර්මාණ එකතුව තුළින් ඒ අපේක්‍ෂාව කොතෙක් දුරට යථාර්ථයක් බවට පත් වෙයි ද?

මට බොහෝ මෑතක මේ ප්‍රශ්නය සඳහා පිළිතුර මගේ අත්දැකීමෙන් ම මට සඳහන් කරන්න පු`ඵවන්. මොකද මේ ගීත සමුච්චය පූර්ව ප්‍රචාරක වැඩසටහනක් සඳහා මා පෞද්ගලික ගුවන් විදුලි නාලිකාවක මාධ්‍ය ප්‍රධානියකු සමග පැය දෙකක පමණ කාලයක් මේ ගීත ගොන්න ශ්‍රවණය කළා. ඔහු මගේ බොහොම හිතෛෂීවන්ත මිතුරෙක්. එතුමා මගේ යා`ඵවෙක් හින්දා මට මෙන්න මෙහෙම කියුවා. මචං මං කාලෙකට පස්සේ මේ වගේ ගීත ටිකක් එක දිගට අහපු පළමු වැනි අවස්ථාව. ඒකට එක හේතුවක් තියෙනවා.

මේ ගීතවල පද රචනාවල් ටික පැත්තකින් තියලා සංගීතය අහන කෙනකුට හොඳ මියුසික් අහන කෙනකුට අහන්න ඇති පදම් සංගීතය තියෙනවා කියලා. ඉතිං මං හිතන්නේ ඔබතුමා සඳහන් කළ මේ යථාර්ථය කියන්නේ මේක තමයි. ඒ කියන්නේ අපි ගීතයක වචනවලට එහෙම නැත්තම් පද රචකයා විසින් ඉදිරිපත් කරන ඔහුගේ ජීවන සහකම්පනයට එහෙම නැත්තම් ඔහුගේ ආත්ම ප්‍රකාශනයට ඒකේ අනිත්පැත්ත ගත්තොත් සංගීත රචකයෙක් ගී තනුවක් හදලා ඒ ගී තනුවට වචන ලියපු අවස්ථාවක ඒ සංගීත රචකයාගේ සහකම්පනයත් පද රචකයාගේ සහකම්පනයත් මේ දෙදෙනාගේ ම ජීවන ප්‍රකාශනය තමයි මේ තුළ තියෙන්නේ. එතකොට කළින් ගී පද රචනය කළත් කළින් තනුව නිර්මාණය කළත් අවසානයේ එළියට එන්නේ මේ ගීතයේ සංගීතාත්මක ගමන් මඟ වෙන්නේ ඒ ගමන් මඟෙහි කොඳුනාරටිය වෙන්නේ සංගීත රචකයාගේ සහ ගී පද රචකයාගේ ජීවන සහකම්පනය එහෙම නැත්තම් ජීවන ප්‍රකාශනයයි. එය තමයි ගායකයා විසින් ග්‍රහණය කර ගන්නත් ඕනෙ. ඒ සඳහා අවශ්‍ය කරන නිර්මාණාත්මක සබුද්ධික බව ගායකයකුට තියෙන්න ඕනෙ. එතකොට මෙන්න මේ ඔස්සේ තමයි මේ දේ යථාර්ථයක් බවට පත් කිරීමට මා උත්සාහ ගත්තේ. එතකොට මා තුළ එක්තරා ආකාරයක විශ්වසනීයත්වයක් තියෙනවා මෙහි නිර්මාණාක්මක බව රසික හදවත් ඇසුරෙහි යථාර්ථයක් බවට පත්වෙයි කියලා.

● පර්යේෂණ මූලාශ්‍ර අනුව යමින් ඒ වගේම දීර්ඝ අභ්‍යස කටයුත්තකට අනතුරුව ජනගත කරන මේ නිර්මාණ එකතුව සඳහා ගත් වෙහෙස මොනවගේ ද?

ඇත්තෙන්ම වෙහෙස කියන එකේදී මං හිතන්නෙ විධිමත් සංගීතයක් සිදු කරන සංගීතඥයකුට ඒක වෙහෙසක් දැනෙයි කියලා මං හිතන්නේ නැහැ. ඒක මොකද අභ්‍යාසයක්. අභ්‍යාසය කෙනකුට තර්ක කරන්න පුළුවන් වෙහෙසකාරියී කියලා. නමුත් මෙවැනි නිර්මාණයකට ගන්නා සෑම උත්සාහයක්ම හරි ප්‍රියජනකයි. ඒ ප්‍රියජනක උත්සායත් ඒ තබන තබන පියවරක් පාසා අපිට රසය තමයි ජනිත වෙන්නේ. ඒ කියන්නේ ශබ්දාගාරයේ දී ගීපද රචකයන් සමග වැඩ කරන කොට සංගීත අධ්‍යක්‍ෂකවරු සමග වැඩ කරනකොට සංගීතඥයන් සමග වාද්‍ය වෘන්දය සමග වැඩ කරනකොට ගන්නා හැම පියවරක් අවසානයේම කායික වෙහෙසක් දැනෙනවා. අපි පෘථග්ජන මිනිස්සු නිසා, නමුත් ඒ වෙහෙස හරිම රසවත්. ඒ වෙහෙස අභ්‍යාසයක් හැටියට අපේ ප්‍රායෝගික ජීවිතය මුවහත් කරනවා කියලයි මා විශ්වාස කරන්නේ. ගියෝත් යොත් ගියා ඒ නිසා මෙවැනි මනෝමූලක පදනමක් මනෝ විද්‍යාත්මක පදනමකුත් මෙහි තියෙනවා. ඒ නිසා ඒ මනෝමූලක සහ මනෝවිද්‍යාක්මක පදනමත් එක්ක තමයි මේ පර්යේෂණකාමී මනස කියන එක නිර්මාණාත්මක ශිල්පියෙක් තුළට ගලා ගෙන එන්නේ.

● අනෙකුත් කලා මාධ්‍ය මෙන්ම ගීතය කියන්නෙත් පරිවර්තනයට බඳුන්වෙමින් පරිනත වියයුතු කලා මාධ්‍යයක්. නමුත් වත්මන් ගීතය තුළින් එම සාධනීය ලක්ෂණ පලාගොස් ඇති බවක් දක්නට ලැබෙනවා.

මෙම පසුගාමීත්වයට හේතුව වින්දන පරාසය තුළ දක්නට ලැබෙන පටු බවද එසේත් නැත්නම් නිර්මාණ ක්ෂේත්‍රයේ පවතින යම් අවුලක් ද මෙතැනදී වින්දන පරාසයට වග කියන්න ඕනෙත් නිර්මාණාත්මක ක්ෂේත්‍රයේ යම් වියවුලක් පවතිනවා නම් එයට වගකියන්නත් ඕන මේ විෂය නැත්නම් මේ කටයුත්තෙ නියැළිලා ඉන්න පිරිසයි. වින්දන පරාසය කියනදේ පරිවර්තනයට පත්වන දෙයක්. ඔබතුමා සඳහන් කළ දෙය හරි. පරිවර්තනයට ලක් වෙනවා.

හැබැයි ඒ පරිවර්තනයට ලක්වීමේ ගුණාත්මක බව කියන එක මේ වින්දන පරාසයෙහි හැඩය පින්තාරු කරන එහෙම නැත්නම් ඒ වින්දන පරාසය කියන ගල්කැටයමෙහි නොයෙකුත් විසිතුරු රටා, රේඛා අඳින සංගීතඥයා ගායක ගායිකාව මෙය තේරුම් ගන්න ඕන. එතකොට වින්දන පරාසය ඒ විදිහට සංකා්චනය වුණාම තමයි ක්ෂේත්‍රයේ වියවුලක් තිබෙනවා කියා අපට හිතෙන්නේ. ඉතින් සත්‍ය ලෙසම අද වින්දන පරාසයේ සහ මේ ක්ෂේත්‍රයේ යම් ආකාරයක නව නිර්මාණ බිහිවීමේදී ප්‍රමාණාත්මක අඩුවක් තිබෙනවා.

● සාර්ථක ගී නිර්මාණයක් බිහි වීම පිණිස පද රචනය සංගීතය ඒ වගේම සුගායනීය බව අතිශයින් වැදගත් ,සංසාර සඳවතිය, පිණිස ඒ තෝරා ගැනීම සිදුවන්නේ කොහොම ද?

මං හිතන්නෙ ගීතය කියන්නේ තුන් ඈදුතු සමබරතාවක ප්‍රතිඵලයක්. පදරචකයාගේ සහ සංගීතඥයාගේ නිර්මාණාත්මක බුද්ධිය නැත්නම් ඒ ප්‍රකාශනය රසික ශ්‍රවණය පිණිස අරගෙන යන්නේ එහි වාහකයා වෙන්නේ ගායකයා නැත්නම් ගායිකාව. එතකොට මෙහිදී ගායකයා හෝ ගායිකාවට විශාල වගකීමක් තියෙනවා. ඒ තමයි හුඟක් වෙලාවට ශූර සංගීතඥයෝ ,ශූර පදරචකයෝ යම් නිර්මාණයක් කරලා මේ ගීතය ගායනා කිරීමට සුදුසු කෙනා මොහු වෙන්න පුළුවන් නැත්නම් ඇය වෙන්න පුළුවන්. ඔවුන් කථිකාකොට තීරණය කරනවා. ඒ තුළ තිබෙනවා ප්‍රායෝගික යථාර්ථයක්. ඒ කියන්නේ ඒ පද වියමනෙත් සංගීතාත්මක වියමනෙත් රිසි සේ හැසිරෙන්නට පුළුවන්. එහි නිදහස්ව සැරිසරන්නට පුළුවන් ගායකයා තමයි මෙහි ප්‍රතිඵලදායී වාහකයා බවට පත්වෙන්නේ. දැන් මා නිරීක්ෂණය කරලා තියෙන දෙයක් තමයි ඇතැම් ගී පද රචනා ඇතැම් සංගීතඥයන් සංගීත අධ්‍යක්ෂණය කළ සංගීත නිර්මාණ , ගීත නිර්මාණ දිහා බලනකොට ඒවා ගී පද හැටියට සංගීත අධ්‍යක්ෂණය පැත්තෙන් ගී තනු හැටියට ඉතාම සාර්ථකයි. හැබැයි අපක්ෂපාතීව මධ්‍යස්ථව ඒ දිහා බලනකොට පේන දෙයක් තමයි සමහර ගී තනු සමහර ගී පද රචනාවල තියෙන ප්‍රකාශනය. සමහර අවස්ථාවල ගායක ගායිකාවන් අතින් ගිලිහී ගොස් තිබෙනවා. හැබැයි ඉතින් මම මේක ප්‍රකාශ කළාට මා පිළිබඳවත් රසික ඔබට භාරය.ි ඇතැම් සංගීත රචනා සංගීත අධ්‍යක්ෂණ විෂයයෙහි මා ගිලිහී ගොස් ඇත්දැයි නිරීක්ෂණය කිරීම ඔබට භාරයි. එහෙත් අපේ ගීත ඉතිහාසයෙහි ගීත විමසනවිට එම තත්ත්වය පේනවා. එම නිසා මේ සමබරතාව කියන එක ඉතාම වැදගත් වෙන්නෙ. මොකද මේ ත්‍රිත්වය තුළම ගොඩනැඟෙන්නේ අභ්‍යන්තරික ආත්ම ප්‍රකාශනයයි. අභ්‍යන්තරික ආත්ම ප්‍රකාශනය වගේම මේ තුන්දෙනාගේම චිත්තෝත්පාදක බුද්ධිය ඒකරාශී වන තැනක් තමයි ගීතය කියන්නේ.

● රුවන් ජයවර්ධන

සංස්කරණය – රුවන් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment