ගෝඨාභයගේ ලේකම් ධුරයෙන් සුගීෂ්වර බණ්ඩාර ඉල්ලා අස්වෙයි

154

සුගීෂ්වර බණ්ඩාර මහතා හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. මේ පිළිබඳව සුගීෂ්වර බණ්ඩාර මහතා විසින් හිටපු ජනපතිවරයා වෙත යැවූ ලිපිය මෙසේය.

“සැලසුම් බොහොමයක් මනස තුළ තැන්පත් කර ගනිමින් ලක් මාතාවගේ දරුවන් සතුටින් තබන්නට ඔබ ගත් උත්සාහයන් සුළුපටු නැත. එහෙත් විවිධ වූ බලවේග සහ බාධක හේතුවෙන් සිතැඟි සැලසුම් ක්‍රියාත්මක කිරීම අසීරු වූ බව නොරහසකි. නොසිතූ මොහොතක විවිධ මෙහෙයවීම් මත ජනයා එක්රැස් වෙද්දී ඔබට ජනපති අණින් ගිනි අවි ක්‍රියාත්මක කරවීමේ පිළිවෙත සිහිපත් වූයේ නැත. ඒ වෙනුවට ඔබ කළේ අඩියක් පසු පසට ගෙන බලය අතහැර ජනතාවගේ අභිමතයට ඉඩදී නික්ම යෑමයි.

එදා ඒ තරුණ කැල නොසන්සුන් මනසෙන් ඔබතුමා හෙළා දැක්කද, ඔබ පියෙකු සේ ඔවුනට හිරිහැර නොකර නික්මයෑම අතිශයින් අගය කරන බව මගේ පෞද්ගලික මතයයි. ඒ පිළිබඳව මා තුළ ඇත්තේ දැඩි ගෞරවයකි. මාගේ එකම අරමුණ මගේ මව්බිමත් එහි වෙසෙන සහෝදර ජනතාවත් වෙනුවෙන් සේවය කිරීමය. ඒ සඳහා මා අදහන දේශපාලන දහම අනුව අපරාජිත රටක් බිහි කිරීම වෙනුවෙන් නව දේශපාලන වැඩපිළිවෙළක් සමඟ එක්ව කටයුතු කිරීමට තීරණය කළෙමි.

මා දකින ආකාරයට අප හමුවේ තිබෙන පළමු වගකීම අපේ මව්බිම යළි අපරාජිතව අභිමානයෙන් ගොඩනැඟීමය. ඒ සඳහා එක්වන ඕනෑම කණ්ඩායමක් සමග වැඩ කිරීමට මා පැකිලෙන්නේ නැත. මා ඔබතුමා යටතේ සේවය කිරීමට ප්‍රිය වූවත්, නොවැළැක්විය හැකි කාරණා හේතුවෙන් සහ ඔබතුමන්ට දක්වන ගෞරවයක් ලෙසිනුත් මා ඔබතුමාගේ පෞද්ගලික ලේකම් තනතුරෙන් ඉල්ලා අස්වීමට තීරණය කළෙමි.

advertistmentadvertistment
advertistmentadvertistment