ගෝලීය අර්බුදය හා ඉන්දියානු ආර්ථිකය

552

සියවස් ගණනාවක් බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක්ව පැවැති ඉන්දියාව සිය 76 වන නිදහස් දින සමරන මොහොතේදී බ්‍රිතාන්‍ය ආර්ථිකය අභිබවා යෑමට හැකිවීම සංවර්ධනය සඳහා වූ ඉන්දියාවේ නව ප්‍රවණතා මනා ලෙස හෙළිකරයි. ඒ අනුව වර්තමානයේ ඉන්දියාව ලෝකයේ පස්වන විශාලතම ආර්ථිකය හිමි රට බවට පත්ව ඇත. ඒ අනුව ඉදිරි වසර කිහිපය තුළ ඉන්දියාව ලොව තුන්වන විශාලතම ආර්ථිකය බවට පත්වනු ඇති බවට ආර්ථික විද්‍යාඥයන්ගේ මතයයි.

රුසියාව සහ යුක්රේනය අතර පවතින යුධ වාතාවරණය කෙටි කාලීනව මූල්‍ය වෙළඳෙපොළ, විනිමය අනුපාතිකය සහ බොරතෙල් මිල කෙරෙහි බලපෑම් ඇති කළ හැකි බව ආර්ථික විද්‍යාඥයන්ගේ මතයයි. මෙම අර්බුදකාරී තත්ත්වය කොරෝනා ව්‍යසනයත් සමග ආරම්භ වූ අතර අද වනවිට උද්ධමනය වැඩිවීම හරහා සමස්ත ලෝකවාසීන්ටම ඉන් බැටකෑමට සිදුව ඇත.

උද්ධමනය ඉහළ යෑම

ශ්‍රී ලංකා ඉතිහාසයේ පෙර නොවූවිරූ ආකාරයේ ආර්ථික අර්බුදයකට මෙරට ජනතාව පත්ව ඇත. එම ආර්ථික අර්බුදයේ එක් පැතිකඩක් පසුගිය මාසයේ මෙරට උද්ධමන අනුපාතය නිරීක්ෂණය කිරීමෙන් පැහැදිලි වේ. කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය 2022 අගෝස්තු මාසයේ පැවැති අගය 64.3% සිට 69.8% දක්වා ඉහළ ගොස් තිබේ.

කෙසේවෙතත් වාර්ෂික උද්ධමන අනුපාතිකය තනි ඉලක්කමේ සංඛ්‍යාවක පවත්වාගෙන යෑමට ඉන්දියාව කොරෝනා අර්බුදය සහ යුක්රේන අර්බුදය සමයේදී වුවද සමත් වීම කැපී පෙනෙන ලක්ෂණයකි.

ඉන්දියාවේ සැප්තැම්බර් මාසයේ උද්ධමන අනුපාතිකය සියයට 7 ක අගයක් ගෙන ඇති අතර සමස්ත 2022 වර්ෂය පුරා එරට සාමාන්‍ය උද්ධමන අනුපාතිකය 6.8% ක අගයක් වනු ඇති බවට මූල්‍ය විශ්ලේෂකයන් පුරෝකතනය කරයි.

යුක්රේන-රුසියානු ගැටුම් හේතුවෙන් ඇති වී පවතින ගෝලීය ආර්ථික අර්බුදයේ එක් පැතිකඩක් වන උද්ධමනයට සාර්ථකව මුහුණ දීමට ඉන්දියානු ආර්ථිකයේ හැකියාව අද වනවිට වෙන කවරදාටත් වඩා වැඩි බව ආර්ථික විද්‍යාඥයන්ගේ මතයයි.

දැනට පවතින කොරෝනා වසංගතය හේතුවෙන් සංචාරක, ගුවන් සේවා ඇතුළු ආර්ථිකයේ වැදගත් ක්ෂේත්‍ර දැඩි කඩාවැටීමකට ලක් වුවද, ඉන්දියාවේ සේවා ක්ෂේත්‍රයේ අපනයන ආදායම 2021-22 මූල්‍ය වර්ෂයේදී ඇමරිකානු ඩොලර් බිලියන 250 ක් වාර්තා කර ඇත. ඉන්දීය මුදල් ඇමතිනී නිර්මලා සීතාරාමන් මහත්මිය විසින් රුසියා-යුක්රේන ආක්‍රමණය කිරීමේ ප්‍රතිවිපාක පැහැදිලි කරමින් පවසා ඇත්තේ දෙවන ලෝක සංග්‍රාමයෙන් පසු සමස්ත ලෝකය මෙවැනි අභියෝගයන්ට කිසිවිටෙකත් මුහුණ දී නොමැති බවයි.

ඉන්දියාව විසින් රුසියාවෙන් ඉන්ධන මිලදී ගැනීම

ඉන්දියාව සිය බොරතෙල් අවශ්‍යතාවයෙන් සියයට 80 ක් වෙනත් රටවලින් ආනයනය කරන බැවින් ඉන්ධන අර්බුදයෙන් ප්‍රධාන වශයෙන් බලපෑමට ලක් වූ රටවලින් එකක් ඉන්දියාව විය යුතුය. ඊට හේතුව වන්නේ ඉන්දියානු ආර්ථිකය ඉන්ධන පරිභෝජනය මත යැපෙන ආර්ථිකයක් වීමයි.

එවැනි වකවානුවක ඇමරිකාව ප්‍රමුඛ බටහිර කඳවුර ද අමනාප නොකරගෙන රුසියාවෙන් අඩු මිලට ඉන්ධන මිලදී ගැනීමට කටයුතු කිරීම ඉන්දියානු ආර්ථිකයට මහත් අත්වැසිල්ලකි. ඉන්දියාවට අවශ්‍ය ඉන්ධන රුසියාවෙන් මිලදී ගැනීමට තීරණය කිරීම ආර්ථික අර්බුදයේ බැරෑරුම්කම ඉන්දියානුවන්ගේ මුලුතැන්ගෙට බරපතළ ලෙසට නොදැනෙන කාරණයට හේතුවක් විය හැකිය.

ආහාර සංචිත පවත්වාගෙන යාම

යුක්රේන ලෝකයේ විශාලතම තිරිඟු අපනයනය කරන රටවල් අතරින් එක් රටකි. රුසියාව සහ යුක්රේනය එකට එකතු වූ විට එය ගෝලීය වෙළෙඳපොළේ 25% ක ප්‍රමාණයකි.

යුක්රේන – රුසියා අර්බුදය හේතුවෙන් ඇති විය හැකි ආහාර අර්බුදය ගැන ඉන්දියාව දැඩිව අවධානය යොමුකරන ලදී. ඒ හේතුවෙන් තිරිඟු ඇතුළු ආහාර ද්‍රව්‍ය ඉතා සීග්‍රයෙන් ඉහළ යමින් පවතී. ලෝකයේ දෙවන විශාලතම තිරිඟු නිෂ්පාදකයා ඉන්දියාව වන අතර යුක්රේනයේ සහ රුසියාවේ නිෂ්පාදන වලට එල්ල වී ඇති බාධාවන් සමග ඉන්දියාවේ තිරිඟු නිෂ්පාදන සඳහා ඉහළ ඉල්ලුමක් ලැබී ඇත.

තම රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කර ගැනීමේ අරමුණ ඇතුව පසුගිය මැයි මස 13 දා සිට ඉන්දියාව තිරිඟු අපනයනය සීමාකිරීමට කටයුතු කරන ලදී. ඉන්දියාවේ මෙම තීරණයත් සමග තිරිඟු පිටිවල මිල සීග්‍ර ඉහළ යෑමෙන් ලෝක ආහාර අර්බුදය තවදුරටත් උග්‍ර අතකට හැරෙනු ඇති බවට ආර්ථික විශ්ලේෂකයන් පුරෝකතනය කරන ලදී. මේ හේතුවෙන් ඉන්දියාවෙන් ප්‍රධාන වශයෙන් තිරිඟු ආනයනය කරන ශ්‍රී ලංකාව, නේපාලය, බංග්ලාදේශය වැනි රටවල තිරිඟු පිටිවල මිල ඉතා සීග්‍රයෙන් ඉහළ යෑමක් වාර්තා විය.

කෙසේවෙතත් ඉන්දියාව තම තිරිඟු නිෂ්පාදන තොග තම රටේ වෙසෙන දුගී ජනයා අතර සහනාධාර ක්‍රමයකට බෙදා හැරීමට කටයුතු කිරීමට තීරණය කිරීම රටක් ලෙස තම ජනතාව වෙනුවෙන් ගෙන ඇති ඉතා ප්‍රගතිශීලී ක්‍රියාවකි. එය ගෝලීය අර්බුදයෙන් තම ජනතාව ආරක්ෂා කර ගැනීමට ඉන්දියාව ගෙන ඇති එක් පියවරකි. පවතින ගෝලීය අර්බුදයේ අඳුරු සෙවණැලි අතරින් වුවද ඉන්දියානු ආර්ථිකය තුළ සුබවාදී ප්‍රවණතාවයන් රැසක් දැක ගත හැකිය. ඒ අතර ඉහළ බදු එකතු කිරීම්, සේවා අංශයේ අපනයන ආදායම වැඩි කර ගැනීම, වෙළෙඳපොළ ආර්ථිකය තුළ වුවද සමාජ සුබසාධන කටයුතු අඛණ්ඩ ලෙස පවත්වාගෙන යෑම සහ ඉහළ ආර්ථික වර්ධන අනුපාතයක් වාර්තා කිරීම ප්‍රධාන ලක්ෂණ ලෙසට සඳහන් කළ හැකිය.

ඉන්ධන අර්බුදය භාණ්ඩ නිෂ්පාදනයෙන් පියවා ගැනීම

කෙසේ වෙතත්, රුසියානු-යුක්රේන ගැටුම තිරිඟු, බඩඉරිඟු, මෙනේරි ප්‍රමුඛ ඉන්දියානු ගොවීන්ට සහ කෘෂි භෝග අපනයනකරුවන්ට වෙළෙඳපොළ තුළ විශේෂ වටිනාකමක් නිර්මාණය කරදී ඇත. කෘෂි නිෂ්පාදන වල මිල ඉහළ යෑමත් සමග ඉන්දීය ගොවීන්ගේ ආදායම් මට්ටම ඉහළයමින් පවතී. රුසියානු-යුක්රේන ගැටුම දිග හැරෙද්දී, රුසියාවේ සහ යුක්රේනයේ භාණ්ඩ සැපයුම් ජාලය අවහිර වනවිට ලෝකයේ අවධානය ඉන්දියානු තිරිඟු පිටි වෙත යොමුවෙමින් පවතියි. රුසියාවෙන් භාණ්ඩ ආනයනය කිරීම තහනම් කිරීම ඉන්දියාවට නව වෙළෙඳපොළ අවස්ථා විවරකර ගැනීමකට අවස්ථාව උදාකරදී ඇත. එළවළු, පලතුරු, ධාන්‍ය සහ රසකැවිලි ඇතුළු ඉන්දීය නිෂ්පාදන සඳහා නව වෙළෙඳපොළවල් විවෘත වී ඇත.

ඉහළ අඛණ්ඩ ආර්ථික වර්ධනය

ඉන්දියානු ආර්ථිකය පසුගිය වසර අට තුළ විශාල ව්‍යුහාත්මක වෙනස්වීමකට ලක්ව ඇති අතර දැනට බ්‍රිතාන්‍ය ආර්ථිකය ද අභිබවා යෑමට සමත්වී ඇති බව අන්තර් ජාතික මූල්‍ය අරමුදලේ වාර්තා අනාවරණය කර සිටියි. ඒ අනුව ඉන්දියාව ලෝකයේ 5 වැනි විශාලතම ආර්ථිකය හිමි රට බවට පත් වී ඇති අතර එයට ඉහළින් සිටින්නේ ඇමරිකාව, චීනය, ජපානය සහ ජර්මනිය පමණි.

2014 වසරේ සිට ඉන්දියාව විසින් තෝරාගත් ගමන් මාර්ගය අනූව මෙම සාර්ථකත්වය ළඟාකර ගැනීමට හැකි වී ඇති බවත් 2029 දී ඉන්දියාව ලොව 3 වැනි විශාලතම ආර්ථිකය බවට පත්වනු ඇති බව ඉන්දීය රාජ්‍ය බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ පර්යේෂණ වාර්තාවක් හෙළිකර ඇත. 2014 සිට මේ දක්වා ඉන්දියාවට රටවල් 7 ක් අභිබවා ඉදිරියට පැමිණීමට හැකි වීම එහි ආර්ථිකයේ ප්‍රබලත්වය පෙන්නුම් කරන අතර එම කාලය තුළ අඛණ්ඩව ඉහළ ආර්ථික වර්ධන වේගයක් පවත්වාගෙන යෑමට ඉන්දියාව සමත්වී ඇත.

ලෝක ආර්ථික අර්බුද වකවානුවක වුවද මේ වසරේ ඉන්දීය ආර්ථිකය 7%ක වර්ධන වේගයක් පවත්වාගෙන යනු ඇති බවට ඉන්දීය මූල්‍ය ආයතන පුරෝකථනය කර ඇත.

සැප්තැම්බර් මස විරැකියා අනුපාතයේ අඩුවීමක්

ග්‍රාමීය හා නාගරික ප්‍රදේශවල ශ්‍රම සහභාගීත්වය වැඩිවීම හේතුවෙන් සැප්තැම්බර් මාසයේදී ඉන්දියාවේ විරැකියා අනුපාතය සියයට 6.43 දක්වා තියුණු ලෙස පහත වැටී ඇති බව ඉන්දීය ආර්ථිකය අධීක්ෂණ මධ්‍යස්ථානය විසින් නිකුත්කරන ලද දත්ත වලට අනූව හෙළි වී ඇත. එම මධ්‍යස්ථානයේ ප්‍රධාන ආර්ථික උපදේශක අනන්තා

නාගේස්වරන් ප්‍රකාශ කර ඇත්තේ ඉන්දීය ආර්ථිකය යථා තත්ත්වයට පත්වෙමින් පවතින බවත් කෘෂිකාර්මික සේවා, ඉදිකිරීම් වැනි ආර්ථිකයේ සෑම ක්ෂේත්‍රයකම කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරන බවයි.

ඉන්දියාව දශකයක් තුළ ලෝකයේ 11 වැනි ස්ථානයේ සිට පස්වන විශාලතම ආර්ථිකය බවට පත්වීම අති විශාල ජයග්‍රහණයක් බවත් එහි ගෞරවය ඉන්දීය ජනතාව වෙත හිමිවිය යුතු බවට ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය මෑතකදී ප්‍රකාශ කර සිටියාය.

පසුගිය වසර කිහිපය තුළ ජාතික ප්‍රතිපත්තියක් මත පිහිටා සංවර්ධන ඉලක්ක කරා රට මෙහෙයවීමට ඉන්දීය බලධාරීන් සමත්වී ඇත. ඔවුන් විසින් ගොඩනැගූ ජව සම්පන්න ආර්ථිකය හේතුවෙන් ගෝලීය ආර්ථික අර්බුදයේ ප්‍රතිවිපාක දැඩිව ඒ ලෙසටම ඉන්දීය ජනතාවගේ කර මතට නොවැටෙන බව නොරහසකි.

ආලෝක් ප්‍රකාශ්

advertistmentadvertistment
advertistmentadvertistment