ගෝලීය ස්ථුලතාව වැළැක්වීමේ දිනය අද: දරුවන්ගෙන් 10%ක් තරබාරුයි!

67

ගෝලීය ස්ථුලතාව වැළැක්වීමේ දිනය අදට (04 දා) ට යෙදී තිබේ.

ලෝක ජනගහනයෙන් බිලියන දෙකකට වඩා වැඩි සංඛ්‍යාවක් බර වැඩි තත්ත්වයෙන් පෙළෙති. ඉන් මිලියන 650 දෙනා තරබාරු අයයි. ශ්‍රී ලංකාවේ වසර 2015 දත්ත හා සැසදීමේ දී බර වැඩි සහ තරබාරු පුරුෂයින්ගේ සංඛ්‍යාව 2021 වනවිට 30%ක් ලෙස වැඩි වී තිබේ. කාන්තාවන් 48%ක් බර වැඩි හා තරබාරු තත්ත්වයට පත්ව තිබේ.

ශ්‍රී ලංකාවේ දරුවන් අතරින් 10% ක් බර වැඩි සහ තරබාරු තත්ත්වයේ පසු වෙති. ශ්‍රී ලංකාවේ ගැබිනි මවුවරුන්ගෙන් 10% ක් දියවැඩියාවෙන් පෙළෙති. තරුණ ගැහැනු දරුවන්ට විවාහ වීමෙන් පසු ඌන සාඵල්‍යතාව හෙවත් දරුවන් නොමැතිවීමට තරබාරු බව හේතුවක් වී තිබේ. මේ තරබාරුව සමග ප්‍රජනක පද්ධතියේ වෙනස්කම් සිදුවීම ඊට හේතුවයි.

මෙම තත්ත්වයන් නිසා හෘද රෝග අධිරුධිර පීඩනය, අඝාතය, දියවැඩියාව, ඇතැම් පිළිකා සහ කාලික පෙනහලු රෝගවලට මෙම පිරිස් ගොදුරුවීමේ අවදානම ඉහළ ගොස් තිබෙන බව ද සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකයේ විශේෂඥ වෛද්‍ය ශාන්ති ගුණවර්ධන මහත්මිය පවසයි.

මෙම තත්ත්වයන් වළක්වා ගැනීම, කල්තබා හඳුනාගැනීම මෙන්ම ප්‍රතිකාර අවශ්‍ය අයට ලබාදීමට රටපුරා සුවදිවි මධ්‍යස්ථාන 1000කට වැඩි ප්‍රමාණයක් සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරනු ලබයි. ප්‍රාථමික වෛද්‍ය මධ්‍යස්ථාන, ප්‍රාදේශීය රෝහල් සහ දිස්ත්‍රික් රෝහල් ආශ්‍රිතව ක්‍රියාත්මකය. අවුරුදු 35ට වැඩි සියලුම පුද්ගලයින් අනිවාර්යයෙන් මෙම සේවා ලබාගැනීම කළ යුතුය. පවුලේ අයට දියවැඩියාව, අධිරුධිර පීඩනය, පිළිකා රෝග, වකුගඩු රෝග තිබුණේ නම් අවුරුදු 20-34 අතර වයසේ අයත් එම රෝගවලට අවදානමක් තිබෙන නිසා සුවදිවි මධ්‍යස්ථාන වෙත යොමු වී අවදානම කලින් හඳුනාගැනීම කළ යුතුය. එමගින් රුධිර පීඩනය මැනීම, රුධිරයේ සීනි මට්ටම පරීක්ෂාව, කොලෙස්ටරෝල් මට්ටම පරීක්ෂාව, උසට සරිලන බරක් තිබේ ද යන්න සොයා බැලීම, ඇසේ පෙනීම පරීක්ෂා කිරීම සහ අවශ්‍ය සෞඛ්‍ය දැනුම ලබාදීම ද සිදු කෙරේ.

advertistmentadvertistment
advertistmentadvertistment