ඡන්දයක් ප්‍රකාශ කර තිබියදී මැතිවරණ කොමිසමට නව සාමාජිකයන් බඳවා ගැනීම ව්‍යවස්ථා විරෝධීයි – විපක්‍ෂ නායක සජිත් කියයි

82

ව්‍යවස්ථාදායක සභාව ඊයේ (30දා) හමු වූ බවත් මැතිවරණයක් ප්‍රකාශ කර තිබියදී එම කොමිසමේ සාමාජිකත්වය සඳහා ඉල්ලුම්පත් කැඳවීම දේශපාලන විරෝධී ක්‍රියාවක් බව දැන්වූ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

අනෙකුත් කොමිෂන් සඳහා එලෙස ඉල්ලුම්පත් කැඳවූවද මැතිවරණ කොමිසමට එසේ කැඳවීම අනුමත කළ නොහැකි බව ද විපක්ෂ නායකවරයා කීවේය.

එසේම මැතිවරණ කොමිසමේ සාමාජිකයන් තිදෙනකුට මරණ තර්ජන එල්ල කළ නිසා නිවෙස්වලට පොලිස් ආරක්ෂාව පවා ලබා දී ඇති බවත් මෙවැනි තත්ත්වයක් තුළ ව්‍යවස්ථාදායක සභාව මැතිවරණ කොමිසමට අපේක්ෂකයන් බඳවා ගැනීම සඳහා ඉල්ලුම්පත් කැඳවීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බවත් හෙතෙම සඳහන් කළේය.

නව සාමාජිකයන් බඳවා ගැනීම මාර්තු 09 වැනිදායින් පසු වූ සිදු කරන ලෙස ඉල්ලා සිටි බවත් මෙය මැතිවරණය කඩාකප්පල් කිරීමට උත්සාහ ගන්නා අයට තව තවත් ඒ සඳහා අවස්ථාව ලබාදීමක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සමගි ජන බලවේගයේ කොළඹ නගරාධිපති අපේක්ෂක මුජිබර් රහුමාන් මහතා සහ සෙසු අපේක්‍ෂකයන් සමඟ සර්ව ආගමික නායකයන්ගෙන් ආශිර්වාද ලබා ගෙන මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ මේ බව පැවසීය.

හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය, මහ පල්ලිය මුස්ලිම් දේවස්ථානය, කොච්චිකඩේ සාන්ත අන්තෝනි දේවස්ථානය සහ මයුරපති කෝවිල ඇතුළු ආගමික ස්ථානවලට විපක්ෂ නායකවරයා ඊයේ පෙරවරුවේ පැමිණ ආශිර්වාද ලබා ගත්තේය.
අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment