ඡන්දය එපා: පෙත්සමේ විභාගය 23 දා

180

ඉදිරි පළාත් පාලන මැතිවරණයට අදාළ සියලු සංවිධාන කටයුතු පැවැත්වීම වළක්වන රීට් ආඥාවක් මැතිවරණ කොමිෂන් සභාවට නිකුත් කරන්නැයි ඉල්ලා විශ්‍රාමික යුද හමුදා කර්නල්වරයකු වන ඩබ්ලිව්. එම්. ආර්. විජේසුන්දර මහතා ගොනු කර තිබූ රීට් ආඥා පෙත්සම වැඩිදුර සලකා බැලීම සඳහා ලබන 23 වැනිදා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (10දා) නියෝග කළේය.

මේ අතර එම පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබාදීමකින් තොරවම ප්‍රතික්‍ෂේප කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ප්‍රමුඛ සාමාජිකයන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා ඊයේ (10දා) ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියේය.

පෙත්සම්කරු නිසි පාර්ශ්ව වගඋත්තරකරුවන් ලෙස නම් කර නොමැති බවත් ඔහු ශ්‍රී ලංකාවේ ලියාපදිංචි ඡන්දදායකයකු ද යන කරුණු පවා තහවුරු කිරීමට අවශ්‍ය ලේඛන ඉදිරිපත් කර නොමැති බවත් කියමින් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා එස්. තුරෙයිරාජා, ඒ. එච්. එම්. ඩී. නවාස් සහ ශිරාන් ගුණරත්න යන විනිසුරු මඬුල්ලෙන් එම ඉල්ලීම කළේය.

අප රට දැඩි ආර්ථික පීඩනයකට ලක් වී සිටින මෙම සමයේ අත්‍යවශ්‍ය කටයුතු සඳහා පමණක් අවශ්‍ය මුදල් වෙන් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කොට ඇති බව මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා අධිකරණයට ඉදිරිපත් කළ දිවුරුම් ප්‍රකාශයක් මගින් කියා ඇතැයි එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇති නීතිපතිවරයා හා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ නෙරින්පුල්ලේ මහතා විනිසුරු මඬුල්ලට පැවසීය.

පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ පායිස් මුස්තාපා මහතා ද එහිදී කරුණු දැක්වීය.

රට මෙවන් ආර්ථික අගාධයකට ලක්ව ඇති වකවානුවක මැතිවරණයක් පැවැත්වීමෙන් රට තව තවත් ආර්ථික අගාධයකට පත්වන බවත් එබැවින් එම මැතිවරණය නොපවත්වන ලෙසත් පෙත්සම්කාර විශ්‍රාමික කර්නල්වරයා සිය පෙත්සම මගින් අධිකරණයෙන් ඉල්ලා තිබිණි.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment