ජනතාවගේ හැසිරීම හොඳ නැහැ: භයානක කොවිඩ් අනතුරක් අතලඟ

194

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් හේමන්ත හේරත්

කොරෝනා වසංගතය අමතක කර දමා මේ ආකාරයට හැසිරෙමින් කටයුතු කළහොත් ඉදිරි සති දෙකෙන් පසු ඉතා භයානක ලෙස කොවිඞ් රෝගීන් වැඩිවනු ඇතැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා අනතුරු අඟවා සිටී.

ඉකුත් සති දෙකේ ජනතා හැසිරීම්වල ප‍්‍රතිඵලයක් ලෙස මේ වනවිට දෛනිකව හමුවන ආසාදිතයන්ගේ සංඛ්‍යාව හත්සියය ඉක්මවා වාර්තාවීමට පටන්ගෙන ඇතැයි ද මෙම සති දෙකෙන් පසු යළිත් දිනකට හමුවන ආසාදිතයන්ගේ ගණන දහස ඉක්මවා යා හැකි බවද ඒ මහතා කීවේය.

එනිසා දැන්වත් මේ තත්ත්වය හරිහැටි තේරුම් ගෙන සියලූදෙනාම තම චර්යාවන් නිවැරදි කරගත යුතු බව ද හේමන්ත හේරත් මහතා කියා සිටියේය.

මේ වන විට බොහෝ පිරිස් අනවශ්‍ය ලෙස ඒකරාශී වෙමින් සෞඛ්‍ය පුරුදුද අත්හැර දමා සාමාන්‍ය පරිදි හැසිරීමට පටන්ගෙන සිටින බවත්, මෙලෙස කටයුතු කළහොත් අකමැත්තෙන් වුවද යළිත් රට වසා දමන ලෙසට නිර්දේශ කිරීමට සෞඛ්‍ය බලධාරීන්ට සිදුවන බව ද ඒ මහතා කීය.

සංචරණ සීමා ඉවත්කළේ අත්‍යවශ්‍ය සංචරණවලට පමණක් යැයි ද නමුත් මේ වන විට ඒ බව අමතක කර දමන අය පෙර පරිදිම සංචරණය වෙමින් ඒකරාශී වෙමින් කටයුතු කරන්නට පටන්ගෙන ඇතැයි ද ඒ මහතා සඳහන් කළේය.

මෙරට පිහිටි ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල තුන්සිය පනහ ගත්කල දළ වශයෙන් ඒ එක් එක් ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල බල ප‍්‍රදේශයක ආසාදිතයන් දෙදෙනකුවත් සිටිය හැකි බව ද ඒ මහතා පැවසීය.

මේ වන විට රෝග ලක්‍ෂණ නොපෙන්වන ආසාදිතයන් බොහෝ පිරිසක් සමාජයේ සිටිය හැකි බවත්, කාර්යාල තුළ, මඟ තොටේදී හා විශේෂ ඒකරාශීවීම්වලදී අදාළ සෞඛ්‍ය උපදේශන නොතකා කටයුතු කිරීමෙන් රෝගී අයගෙන් නිරෝගී අයට වෛරසය පැතිරී යළිත් පෙර පැවති භයානක තැනට රට පත්විය හැකි බවත් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා තවදුරටත් සඳහන් කළේය.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment