ජනපති සමග කළ සාකච්ඡාවකින් පසු කටාන අල් ඔබේදාන් ඇඟලුම් කර්මාන්ත ශාලාව යළි අරඹන්න හිමිකරු එකඟ වුණා – ආරක්ෂාවත් දෙනවා – රාජ්‍ය ඇමැති දිලුම් අමුණුගම

98

කටාන අල් ඔබේදාන් ඇඟලුම් කර්මාන්ත ශාලාව නැවතත් පවත්වාගෙන යෑමට එහි හිමිකරු එකඟ වූ බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු අදාළ නිලධාරීන් සමග සිදු කළ දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇති බව ද හෙතෙම කීය.

මැර ප්‍රහාරය අපේ රටේ ආයෝජන ක්ෂේත්‍රයටම එල්ල වූ බලවත් පහරක් වශයෙන් දැකිය හැකි බවත් කවුරු සිදු කළා වුවද මෙම නින්දිත ප්‍රහාරය දැඩි ලෙස හෙළා දකින බවද ඇමැතිවරයා කීය.

ඔවුනට එරෙහිව දැඩි නීතිමය පියවර ගත යුතු අතර මේ වනවිට මේ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් සිදු වන බවද එහිදී වරදකරුවන්ට තරාතිරම නොබලා අදාළ නීතිමය කටයුතු කරන්න ලෙස උපදෙස් ලබාදී තිබෙන බව ද හෙතෙම කීය.

අදාළ ඇඟලුම් කර්මාන්ත ශාලා පරිශ්‍රයට පොලිස් හා පොලිස් විශේෂ කාර්ය බළකායේ ආරක්ෂාව ලබා දීමට පියවර ගෙන තිබෙන බවද ඒ මහතා කීය.

මහනුවරදී ඊයේ (09දා) මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කරමින් අමුණුගම මහතා මේ බව පැවසීය.

තවදුරටත් අදහස් පළ කළ රාජ්‍ය අමාත්‍යවරයා මෙසේද කීය. පසුගිය මාර්තු මස 30 වැනිදා මෙම කර්මාන්ත ශාලාවේ හිමිකරු ඇතුළු කීප දෙනෙකුට මැර ප්‍රහාරයක් එල්ල වී තිබුණා. ඉන් පසු මෙම ආයෝජනය අවසන් කර නැවතත් තමාගේ රට බලා යෑමට හිමිකරු තීරණය කර තිබුණා. එම කර්මාන්ත ශාලාවේ තිබූ රෙදි තොග පවා ඉවත් කිරීමට කටයුතු කර තිබූ බව දැනගන්න ලැබුණා.

මෙම ප්‍රදේශයේ විශාල පිරිසක් මෙම කර්මාන්ත ශාලාවේ රැකියා කරනවා. මේ පිළිබඳ අවධානය යොමු කර අපි කර්මාන්ත ශාලාවේ හිමිකරු සමඟ දිගින් දිගටම සාකච්ඡා කළා. ඔහු පැවසුවේ මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් සාධාරණයක් ඉෂ්ට නොවුණු බවයි. තවදුරටත් කර්මාන්තශාලාව පවත්වාගෙන යෑම සඳහා සුදුසු වාතාවරණයක් නොමැති බව ඔහු පැවසුවා.

ජනාධිපතිතුමා මැදිහත්ව කර්මාන්ත ශාලාවේ පොලිස් මුරපොළක් ස්ථාපිත කිරීමට අමතරව විශේෂ කාර්ය බළකායේ ආරක්ෂාව ලබාදීමට පියවර ගත්තා. ඉන්පසුව ඔහු නැවතත් එම ආයෝජනය ශ්‍රී ලංකාවේම පවත්වාගෙන යෑමට තීරණය කළා.

සමන්ති වීරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment