ජනපති සිංගප්පූරුවේ සහ ජපානයේ නිල සංචාරයක

118

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිංගප්පූරුවේ සහ ජපානයේ නිල සංචාරයක් සඳහා ඊයේ (23දා) අලුයම දිවයිනෙන් පිටත්ව ගියේය.

සිය එක් දින සිංගප්පූරු සංචාරයේ දී ජනාධිපතිවරයා සිංගප්පූරුවේ නීතිය හා ස්වදේශ කටයුතු අමාත්‍ය කේ. ෂන්මුගම් මහතා ඇතුළු එරට ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රිකයින් කිහිපදෙනකු සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිතය. අද (24දා) සිට 27 වැනිදා දක්වා සිදු කෙරෙන ජනාධිපතිවරයාගේ ජපාන නිල සංචාරයේ දී එරට අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා මහතා සමග සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර ජපානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා නව ප්‍රවේශයන් ඔස්සේ ශක්තිමත් කර ගැනීම පිළිබඳවත්, කලාපීය සහ ජාත්‍යන්තර කටයුතු පිළිබඳවත් අදහස් හුවමාරු කර ගනු ඇත.

එමෙන්ම ජපාන විදේශ අමාත්‍ය යොෂිමාසා හයාෂි, මුදල් අමාත්‍ය ෂුනිචි සුසුකි මෙන්ම ඩිජිටල්කරණය පිළිබඳ අමාත්‍ය ටාරෝ කොනෝ යන මහත්වරුන් ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මැයි 25 සහ 26 දෙදින ටෝකියෝ නුවර පැවැත්වෙන ‘ආසියාවේ අනාගතය’ පිළිබඳ 28 වන ජාත්‍යන්තර සමුළුව ද ඇමතීමට නියමිතය. ආසියාවේ අනාගතය පිළිබඳ ජාත්‍යන්තර සමුළුව යනු ආසියා පැසිෆික් කලාපයේ දේශපාලන, ආර්ථික සහ කලාපීය ගැටලු හා ලෝකයේ ආසියාවේ භූමිකාව පිළිබඳව කලාපයේ නායකයන් එක්ව අදහස් හුවමාරු කර ගන්නා ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර සමුළුවකි. ජපානයේ ‘නික්කෙයි’ (භසනනැස) පුවත්පත 1995 වසරේ සිට වාර්ෂිකව මෙම සමුළුව සංවිධානය කරයි.

මේ අතර ජනාධිපතිවරයා ජපාන-ශ්‍රී ලංකා ව්‍යාපාරික සහයෝගිතා කවුන්සිලය, ජපානයේ ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය සහ ජපාන – ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය සමඟ ද සාකච්ඡා පවත්වයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂින්ෂෝ අබේ මහතාගේ අවමංගල්‍ය උත්සවයට සහභාගීවීමට ඉකුත් සැප්තැම්බරයේ ජපානයේ සංචාරයක නිරත වූ අතර වත්මන් ධුර කාලය තුළ හෙතෙම ජපානයේ සිදුකරන දෙවන සංචාරය මෙයයි. ජනාධිපතිවරයාගේ ජපාන සංචාරය දෙරට අතර සහයෝගීතාව සහ මිත්‍ර සබඳතා තවදුරටත් ශක්තිමත් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, ජනාධිපති ජාත්‍යන්තර කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ දිනුක් කොළඹගේ, ජනාධිපති පෞද්ගලික ලේකම් සැන්ඩ්‍රා පෙරේරා යන මහත්ම මහත්මීහු ජනාධිපතිවරයා සමඟ මෙම සංචාරයට එක් වෙති.

ටී.කේ.ජී. කපිල – ගුවන් තොටුපොළ

advertistmentadvertistment
advertistmentadvertistment