ජයසිරිමහ බෝධිය ළග අමතක වී දමාගිය ලක්ෂ 10 ක රන් යළි භාරදුන් පොලිස් සැරයන්

533

ඉල් පුන් පොහෝදා (18 වැනිදා) අනුරාධපුර ජය ශ‍්‍රී මහා බෝධීන් වහන්සේ අසල අමතක වී දමාගොස් තිබූ රුපියල් ලක්‍ෂ 10 කට අධික වටිනාකමින් යුත් රන් භාණ්ඩ සහ රුපියල් 4000 ක පඬුරු සහිත අත්බෑගයක් විනාඩි 45 ක් තුළදී එහි නියම හිමිකාරිනිය වූ කිරිබත්ගොඩ පදිංචි කාන්ති පෙරේරා මහත්මියට සුරක්‍ෂිතව භාරදීමට එහි රාජකාරි කටයුතු කරමින් සිටි උඩමළුව පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් සැරයන් ආනන්ද මහතා (48176) කාරුණික විය. 04- පිටුවට

තම වටිනා දේපළ සුරක්‍ෂිතව භාරදුන් එම නිලධාරියාට කාන්ති පෙරේරා මහත්මිය ඇතුළු පිරිස ස්තුතිය පුද කළහ.

මෙම සිද්ධිය පිළිබඳව විස්තර කළ ව්‍යාපාරික කේ. එච්. සරත් රණතුංග මහතා මෙසේ පැවසීය.

‘‘මේ සිද්ධියට මුහුණපෑවේ මගේ නෝනා. මමයි, නෝනයි දරුවොයි ඇතුළු 8 දෙනෙක් කිරිබත්ගොඩ ඉඳලා ඉල් පෝය දවසේ අනුරාධපුර ජය ශ‍්‍රී මහා බෝධිය වන්දනා කරන්න ආවා. මම දැනගෙන හිටියෙත් නැහැ නෝනා රත්තරන් බඩු අත්බෑගයක දාගෙන ඇවිත් කියලා. නෝනා රන් මාල තුනකුයි, මුදු අටකුයි, කරාබු කුට්ටම් හයකුයි, පඬුරු රුපියල් 4000 කුත් දාගෙන ඇවිත් තිබෙනවා. උදේ 11.30 ට විතර ජය ශ‍්‍රී මහා බෝධිය වඳින්න අපි ආවා. නෝනා බෝධිය අසල තැනක මේ රත්තරං බඩු සහිත අත්බෑගය තියලා වැඳලා තියෙනවා. පස්සේ අපි කට්ටිය එතැනින් එළියට ආවා. ටික දුරක් යනකොට නෝනා කිව්වා අත්බෑගය අමතක වුණා. ඒකේ රත්තරන් බඩුයි, පඬුරුයි තිබ්බා කියලා. පස්සේ අපි ආයෙමත් ජය ශ‍්‍රී මහා බෝධිය අසලට ඇවිත් මේ අත්බෑගය හොයන්න ගත්තා. ඒ හොයනකොට ඒ ස්ථානයේ හිටිය පොලිස් නිලධාරි මහත්තයෙක්ගේ අතේ නෝනගේ අත්බෑගය තිබෙනවා නෝනා දැකලා දිව්වා. මේ තියෙන්නේ මගේ නැතිවුණ අත්බෑගය කියලා නෝනා ඒක ඒ පොලිසියේ මහත්තයාගෙන් ලබා ගත්තා.

‘‘හරිම හොඳ පොලිස් නිලධාරි මහත්මයෙක්. පස්සේ මගේ නෝනා ඒ ගැන උඩමළුව පොලිසියේ ස්ථානාධිපති හේමපාල මහතාටත් කියලා ස්තුති කළා. මේ නිලධාරියාගේ අවංකභාවය නිසා අපට අපේ භාණ්ඩ ටික නැවතත් ලැබුණා. පොලිස් දෙපාර්තමේන්තුවේ මේ වගේ අවංක නිලධාරීන් නිරන්තරයෙන් ම ඇගයීමට ලක්කළ යුතුයි.

අනුරාධපුර උඩමළුව පොලිසියේ පොලිස් සැරයන් ආනන්ද මහතා (48176) මෙසේ කීවේය.

‘‘මම පෙරියන්කුලමේ පදිංචි. මම ඉල් පොහෝ දා අනුරාධපුර ජය ශ‍්‍රී මහා බෝධිය අසල රාජකාරි කටයුතු කරමින් ඉන්නකොට එක මනුස්සයෙක් ‘‘මහත්තයා කවුද අත්බෑග් එකක් අමතක වෙලා දාලා ගිහින්’’ කිව්වා. පස්සේ මම ඒ බෑගය පරීක්‍ෂා කළා. බලනකොට ඒකෙ රත්තරන් බඩුයි, සල්ලියි තිබුණා. මම එතන වන්දනාමාන කරමින් සිටි අයගෙන් ඇහුවා කාගේ හරි අත්බෑගයක් අමතක වුණාද කියලා. ඒ අය කිව්වා නැහැ කියලා. පස්සේ මම මේකෙ අයිතිකාරයා හොයනකොට එක කාන්තාවක් ඇවිත් කිව්වා ඔය මගේ අත්බෑගය කියලා. ඊට පස්සේ මම ඇයට ඒක භාරදුන්නා.’’

මට දරුවෝ තුන්දෙනෙක් ඉන්නවා. දුවලා දෙන්නයි, එක පුතයි. පුතා මේ පාර ඒලෙවෙල් කරන්න ඉන්නේ. මට අනුන්ගේ දේවල් වැඩක් නැහැ. පොලිසියේ මම අවංකවම රාජකාරි කටයුතු කරන කෙනෙක්. මම කාගෙන්වත් සතයක් අරන් නැහැ. මට හම්බවෙන පඩියෙන් තමයි දරුවන්ට කන්න දෙන්නේ. කොහොම වුණත් පෝය දවසේ මම උතුම් පිංකමක් කරගත්තා කියලා සතුටුයි. අගහිඟකම් තිබුණත් මම බොහෝම සාධාරණව අවංකවම ජීවත්වන කෙනෙක්.

‘‘වංචා කරලා, හොරකම් කරලා මම දරුවන්ට කන්න දෙන්නේ නැහැ.’’

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment