‘‘ජොගින් එපා… – අපිට එලිපන්ට් පාත් දෙන්න’’ – පොලොන්නරුවේ පත්තිනි දේවාලය ඉදිරිපිට විරෝධතාව

658

පොලොන්නරුව පරාක‍්‍රම සමුද්‍රයේ වැව් බැම්ම මත යෝජිත ඇවිදින මංතීරුවක් ඉදිකිරීම සඳහා ගලවා දමන ලද අලි වැට වහා නැවත ඉදිකරන ලෙස බලකරමින් පොලොන්නරුව, නවනගරය පත්තිනි පෙදෙස ගම්වාසීහු පිරිසක් ඊයේ (26දා) පරාක‍්‍රම සමුද්‍රයේ වෑකන්ද මත පිහිටි පත්තිනි දේවාලය ඉදිරිපිටදී උද්ඝෝෂණයක නිරත වූහ.

‘‘ජොගින් එපා... - අපිට එලිපන්ට් පාත් දෙන්න’’  - පොලොන්නරුවේ පත්තිනි දේවාලය ඉදිරිපිට විරෝධතාව

මෙම අලි වැට ගලවා දැමීම හේතුවෙන් තම ගම්මානවලට නිතර වන අලින්ගේ හිරිහැර එල්ලවීමට පටන්ගෙන ඇතැයි ගම්වාසීහු පෙන්වා දෙති. පසුගිය දිනවල පත්තිනි පෙදෙස ගම්මානයට පැමිණි වන අලි ගෙවතුවල වගාකර තිබූ අවුරුදු 40-50 වයස පොල් ගස් ආදිය පෙරළා විනාශ කර ඇතැයිද ඔවුහු කීහ. එහෙයින් ඇවිදින මංතීරුව ඉදිකිරීමට බව කියමින් ගලවා ඉවත්කරන ලද අලි ගම්වැදීම වැළැක්වීම සඳහා වනජීවී දෙපාර්තමේන්තුව මගින් ඉදිකර තිබූ ආරක්‍ෂක විදුලි වැට නැවත සකස් කරදෙන ලෙස අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවද ඔවුහු ප‍්‍රකාශ කළහ.

පොලොන්නරුව කලාපය බාර වනජීවි සහකාර අධ්‍යක්‍ෂ ඩබ්ලිව්.ජී. කීර්ති චන්ද්‍රරත්න මහතාගෙන් අප එම අලිවැට ගලවා ඉවත් කිරීම සම්බන්‍ධයෙන් විමසූ විට ඔහු කියා සිටියේ ඇවිදින මංතීරුවක් ඉදිකිරීමට මීටර් 800ක් පමණ දුරට ඉදිකර තිබූ අලි වැට ගලවා ඉවත් කර දෙන ලෙස නාගරික සංවර්ධන අධිකාරිය මගින් කරන ලද ඉල්ලීමකට අනුව දැනට මාසයකට පමණ පෙර එය ගලවා දැමූ බව බවය. ඉන් පසුව වන අලි ගම්වැදීමට පටන්ගෙන ඇති නිසා නැවත් පෙර තිබූ පරිදි එය ඉදිකිරීමට පියවර ගන්නා බවද ඒ මහතා කීය.

ඒඅනුව සඳුදා(27දා) සිට අලි වැට නැවත ඉදි කිරීමේ කටයුතු ආරම්භ කරන බවද චන්ද්‍රරත්න මහතා වැඩිදුරටත් පැවැසීය.

කරුණාරත්න ගමගේ
 

advertistmentadvertistment
advertistmentadvertistment