ටිකටුත් නෑ…. ඉතිරි සල්ලිත් නෑ… වැඩිපුර ගාස්තු අය කරන කොන්දොස්තරලා ගැන පියවරක් ගන්න – බස් මගීහු ඉල්ලති

77

පෞද්ගලික බස් ගාස්තු සංශෝධනය සමග බොහෝ පෞද්ගලික බස්රථ කොන්දොස්තරවරුන් ගමනාන්තයට අදාළ මුදලට වඩා වැඩියෙන් මුදල් අයකරන බවට මගීහු චෝදනා කරති.

තවත් බස් කොන්දොස්තරවරුන් ඉතිරි මුදල් පවා ලබා නොදෙන බවත්, ඉතිරි මුදල ඉල්ලීමට යෑමේදී ඇතැමුන් තමන් සමග බහින්බස්වීම් ඇතිකර ගන්නා බවත් එම මගීහු කියා සිටිති.

එසේම තවත් කොන්දොස්තරවරුන් බස්රථ තුළ බීමත්ව සේවය කරන බවත්, ගමනාන්තයට අදාළ ටිකට් පත පවා නොදෙන බවත් මගීහු චෝදනා කර සිටිති.

තමන්ට සිදුවන අසාධාරණකම් සම්බන්ධයෙන් සොයා බැලීමට ප්‍රවාහන බලධාරීන් ඉක්මනින්ම පියවර ගත යුතු බවද ඔවූහු ඉල්ලා සිටිති.

මේ අතර ඇතැම් පෞද්ගලික බස් රියැදුරන් සහ කොන්දොස්තරවරුන් දෛනික ආදායමෙන් වැඩි ප්‍රමාණයක් මාටියා ගැසීම නිසා බස්රථ හිමියන් අද අසරණ වී ඇතැයි පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ‘දිවයින’ ට පැවසීය.

මෑතක සිට සමහර රියැදුරන් සහ කොන්දොස්තරවරුන් අයිස් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම නිසා මාටියා ගැසීම වැඩිවී තිබෙන බව කී ගැමුණු විජේරත්න මහතා මෙම ගැටලු පිළිබඳව සොයාබලා නිසි විසඳුම් ලබාදීම වගකිව යුත්තන් පැහැර හරින බවද කියා සිටියේය.

මේ අතර ඇතැම් බස් කොන්දොස්තරවරුන් මගීන්ගේ ඉතුරු මුදල් ලබාදීම විවිධ හේතු ඉදිරිපත් කරමින් මගහරින බවත්, කොන්දොස්තරවරුන් අතේ මුදල් ගැවසීම නතර කිරීමට වහාම කාඩ් ක්‍රමය ක්‍රියාත්මක කළ යුතු බවත්, මෙම ප්‍රශ්න මදිවට ඇතැමුන්ට කප්පම් දීමට පවා සිදුවන බවත් ගැමුණු විජේරත්න මහතා පැවසීය.

නෝමන් පලිහවඩන සහ ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment