“ණයට ඉල්ලා  අමනාප නොවන්න”

1600

ණයට ඉල්ලා අමනාප නොවන්නැයි ඉතා පැරැණි සහ දිරාපත් වූ ප්‍රස්ථාව පිරුළක් තිබේ. මේ ප්‍රස්ථාව පිරුළේ දෙවන කොටස වන්නේ ණයට දීමෙන් මුදලත්, මිතුරාත් දෙකම නැති වේ ය යන්න ය. ලංකාව සම්බන්ධයෙන් ගත් විට මේ ප්‍රකාශය තවදුරටත් දීර්ඝ විය යුතු ය. එනම්, ලංකාවට ණයට දීමෙන් මුදලත්, මිතුරාත්, වෙනත් රටවලුත් යන තුනම නැතිවේ ය යන්න ය. මේ මොහොතේදී ණයට තබා සල්ලිවලටවත් ලංකාවට තෙල් දීමට කිසිදු රටක් හෝ කිසිදු මුදලාලි කෙනකු කැමැති බවක් නො පෙනේ. එයට හේතුව මේ රට තෙල් සමාගම්වලට විශාල වශයෙන් පොලු තැබීම ය. ලැබෙන තොරතුරුවලට අනුව මේ වන විට පිටරට තෙල් සමාගම්වලට ලංකාව තැබූ පොලුවල වටිනාකම ඩොලර් මිලියන 650 ක් හෝ 700 කි. නැවත වතාවක් ශ්‍රී ලංකාවට ණයට තෙල් දීමට නම් දැනට ගෙවීමට ඇති ණය මුදල කුඩා වාරික වශයෙන් හෝ ගෙවීමට පටන් ගන්නැයි ඒ තෙල් සමාගම් ලංකාවට දන්වා ඇත. ඒත් ඉතින් කොහෙන් ගෙවන්නද? ලංකාව දැනට සිටින්නේ අතේ සතේ නැතිව නන්නත්තාර වූ තැනක ය. අපට ඩොලර් කොතරම් වටින්නේද යත් ගොම ගොඩේ තිබෙන සත පහ දිවෙන් ගන්නා ලෝබයා මෙන් ඕනෑම අසූචි වළක තිබෙන ඩොලර් නෝට්ටුවක් කටෙන් ගැනීමට පවා හිත හදා ගැනීමට අපට පුළුවන. තෙල් අර්බුදය නිමා වන බවක් නොපෙනේ. සෑම කල්හිම සිදුවන්නේ අර්බුදය කල්තැබීම පමණි. අගමැති රනිල් වික්‍රමසිංහ කියන පරිදි මේ ගතවන්නේ ලංකා ඉතිහාසයේ ඉතාම අන්තරාකාරී සති තුනය. ඒ සති තුන ඉවර වූ පසු ඒ අන්තරාය නිමවන බවක් අපට නොහැඟේ. එතැන් සිට තවත් අලුත් සති තුනක් පටන් ගැනීමට ඉඩ තිබේ. මේ වෙලාවේදී ලංකාවට ණයක් දීමට පවා කවුරුවත් කැමති නැත. එයින් සිදුවන්නේ මුදලත් මිතුරා හෙවත් ණය ගැතියාත් මුදල ණයට දුන් ණය හිමියාත් යන තුන්දෙනාම මකබෑවී යෑමය. ශ්‍රී ලංකාව අධි උද්ධමන කලාපයකට ප්‍රවේශ වී සිටින බව ඇමෙරිකාවේ බ්ලූම්බර්ග් නමැති ආර්ථික විශ්ලේෂක වෙබ් අඩවිය මගින් ප්‍රසිද්ධියට පත්කරනු ලැබ තිබේ. බ්ලූම්බර්ග් කියන දෙයක් බටහිර රටවල් පිළිගනිති. කළු කුහර යනුවෙන් හැඳින්වෙන භෞතික සංකල්පයක් අභ්‍යවකාශ ශාස්ත්‍රය තුළ තිබේ. කළු කුහර විශ්වයේ තැන තැන ඇති අතර මේවායේ ගුරුත්වය කොතරම් ඉහළ ද යත් කිසි තැනකදී වර්ථනය නොවන ආලෝක ධාරාවක් කළු කුහරය ඉදිරිපිටින් යන විට වර්ථනය වන බව න්‍යායාත්මකව ඔප්පු කර තිබේ. බ්ලූම්බර්ග් වෙබ් අඩවිය විස්තර කරන අන්තරාදායක ආර්ථික කලාපය ද කළු කුහරයක් හා සමානය. අපි ඇමෙරිකානුවන්ට කොච්චර දොස් කිව්වත් ඇමෙරිකානුවන් අපට විරුද්ධව ගේම් ගහන බව කොතරම් කල්පනා කළත් ඇමෙරිකාවේ බ්ලූම්බර්ග් විශ්ලේෂකයන් මේ රටේ ආර්ථිකය ගැන ප්‍රකාශ කරන දේවල් සම්පූර්ණ සත්‍ය බව පිළිගැනීමට සිදුවේ. හැබැයි ලංකාව ණය නොගෙවන්නේ කපටිකමට නොව නැතිබැරි කමට ය. අපට නැතිබැරි වූහැයි කියා දනට පිනට මුදල් දීමට කිසිදු රටක් සූදානම් නැත. දැනටත් කළු කඩේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 2500 කි. ඔක්ටේන් 95 පෙට්‍රල් ලෙස අලෙවි කරන මේ පෙට්‍රල්වල වැඩිපුර ඇත්තේ ටිනර් ය. ටිනර් දමා වාහන පණගැන්වූ විට වැඩි කලක් එන්ජිම නොපවතියි. පාඩු සිදුවන විට හෝල්සේල් මට්ටමින්ම සිදුවෙයි. අපට සිදුවී ඇත්තේ එවැනි විපතකි.

 ඇඹිලිපිටියේ සියයේ කණුව අසල ඇති අයි.ඕ.සී. ෂෙඩ් එකේ හට ගත් කලබලයකදී එහි සිටි හමුදා සෙබළකුගේ අත කිසියම් පුද්ගලයකු විසින් තියුණු ආයුධයකින් කපන ලදී. ඉන්ධන පෝලිම්වල සිටින ජනයා බෙහෙවින් කෝපාවිෂ්ඨය. ඇතැම් විට ඔවුහු දවස් තුනක් හෝ හතරක් ඉන්ධන පෝලිමේ සිට ඉන්ධන නැති නිසා ආණ්ඩුවට හෙණ ඉල්ලමින් ගෙවල් බලා යති. මේ රට තුළ දැනට ඉන්ධන ජාවාරමක් පවතී. මේ ජාවාරමින් 25% ක් පමණ සිදුකරන්නේ ත්‍රිරෝද රථ රියැදුරන් විසිනි. ඔවුහු තෙල් පෝලිම්වල සිට යළි යළිත් තම ත්‍රිරෝද රථවලට තෙල් ගසමින් ඒවා බටවලින් පිටතට ඇද බූලිවලට පුරවා වැඩි මිලට අලෙවි කරති. මෙය සාධාරණ දෙයක් නොවන බව අපගේ  පිළිගැනීමය. එහෙත් දවස් ගණන් හයර් නැතිව, දරු පවුල් නඩත්තුකර ගැනීමට ක්‍රමයක් නැතිව සිටින ත්‍රිරෝද රථ රියැදුරන් වෙන කුමක් කරන්නද? පෙට්‍රල් ෂෙඩ් කාරයන්ට තෙල් බවුසර් ගණන් සඟවා වැඩි මිලට විකිණිය හැකිය. පසුගිය දිනවල කරන ලද එක් වැටලීමකදී බූලිවල පුරවන ලද බවුසර් දෙකක පමණ තෙල් (ලීටර් 14,000 පමණ) ආරක්‍ෂක අංශවලට හසුවිය. පෙට්‍රල් ෂෙඩ්කාරයන් තෙල් ජාවාරම් කරන්නේ වැඩිපුර හම්බකිරීමට ය. කිසිම පෙට්‍රල් ෂෙඩ් කාරයකුට ජීවත්වීමේ ප්‍රශ්නයක් නැති අතර එයට හේතුව එම ව්‍යාපාරය විශාල මුදල් උපදවන ව්‍යාපාරයක් වීමය. එහෙත් ත්‍රිරෝද රථ රියැදුරකු පෙට්‍රල් ලීටර් හතක් වැඩි මිලට විකිණූ විට එය ඔවුන් එල්ලුම්ගස් යැවිය යුතු වරදක් සේ අපි සලකමු. ලංකාවේ ත්‍රිරෝද රථ ලක්‍ෂ ගණනක් තිබේ. ඒ ත්‍රිරෝද රථ රියැදුරන්ගෙන් 95% කට වඩා මේ මොහොතේදී තම වාහන ගෙවතුවල ගාල්කර ත්‍රීවීල් ස්ටෑන්ඩ් එකේ පුරුද්දට සිටගෙන සිටිති. මේ මිනිසුන් කන බොන ක්‍රමයක් ගැන කවුරුවත් බලන්නේ නැත. කෙනකුට හොරා යැයි කීම ඉතා ලෙහෙසි ය. එහෙත් මිනිහෙක් හොරකු වන්නේ ඇයි? මෙයට අවුරුදු සිය ගණනකට පෙර ප්‍රංශයේ සිටි ශ්‍රේෂ්ඨ ලේඛකයකු වූ වික්ටර් හියුගෝ විසින් ‘ද මිසරාබ් ල’ යනුවෙන් නවකතාවක් ලිවීය. සිය සහෝදරියගේ දරුවන්  කුසගින්නේ හඬන විට පාන් රාත්තලක් සොරකම් කළ තරුණයකු පසු කාලයේදී පොලිසිය විසින් අයි.ආර්.සී.කාරයකු ලෙස රෙජිස්ටර් කළ ආකාරය ගැන මේ පොත පැහැදිලි කරයි. මෙහි කුඩා සිංහල පරිවර්තනයක් ‘මනුතාපය’ යනුවෙන් නිකුත් වී ඇති අතර එහි ලේඛකයා වන්නේ අයි. එම්. ආර්. ඒ. ඊරියගොල්ල ශූරිහු ය. මේ පොත ලියන කාලයේදී ප්‍රංශයේ තෙල් ප්‍රශ්න නැත. එහි තිබුණේ කුසගින්නට අදාළ මානුෂික ප්‍රශ්න පමණි. අද අපේ කුසගින ප්‍රශ්නය සමඟ ඛනිජ තෙල් ඉතා දැඩි ලෙස බැඳී තිබේ. එහෙත් අපගේ කුසගින්න නිවීම සඳහා කවුරුත් අපට තෙල් ණයට නොදෙති. ණයට දීමෙන් මුදලත් මිතුරාත් යන දෙකම නැති වේ.

advertistmentadvertistment
advertistmentadvertistment