තිරසර නගර සියයක් ජනතාවට උරුම කරනවා…. එක් නගරයකට මිලියන 20ක් වැයවෙනවා… අගමැති මහින්ද රාජපක්‍ෂ

284

සියලූ දෙනාට තිරසර නගරයක පහසුකම් අත්විඳිය හැකි අයුරින් විධිමත් නගර සියයක් රටේ ජනතාව වෙනුවෙන් උරුම කර දෙනවා යැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා 27 දින පෙරවරුවේ දී පැවසීය.
 
 නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය යටතේ නාගරික සංවර්ධන අධිකාරිය මගින් ක‍්‍රියාත්මක කරන රට පුරා සෑම දිස්ත‍්‍රික්කයක්ම නියෝජනය වන පරිදි නගර 100ක් එකවර සංවර්ධනය කිරීමේ ”සියක් නගර සංවර්ධන ව්‍යාපෘතිය’’ කුරුණෑගල හිරිපිටිය නගරයෙන් ආරම්භ කිරීමේ ජාතික උත්සවය සඳහා අන්තර්ජාල වීඩියෝ තාක්ෂණය ඔස්සේ අරලියගහ මන්දිරයේ සිට එක්වෙමින් අග‍්‍රාමාත්‍යතුමා මේ බව අවධාරණය කළේය.

agamathi1
 
 අග‍්‍රාමාත්‍යතුමාගේ ප‍්‍රධානත්වයෙන් ආරම්භ වන මෙම ව්‍යාපෘතිය සංකේතවත් කරමින් නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප‍්‍රජා පවිත‍්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා විසින් හිරිපිටිය නගරය සංවර්ධනය කිරීමට අදාළ නාම පුවරුව විවර කළේය.
 
 සියක් නගර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ එක් නගරයක් සංවර්ධනය කොට අලංකාර කිරීම සඳහා රජය වැය කරන මුදල රුපියල් මිලියන 20කි. ඒ අනුව නගර සියය සංවර්ධනය සඳහා රජය රුපියල් මිලියන 2000ක් වෙන් කර තිබේ.
 
 සියක් නගර සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භ කරමින් අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වීඩියෝ තාක්ෂණය ඔස්සේ කළ කතාව මෙසේය.

agamathi2
 
 අපේ රටේ ජනතාව කැමති තමන්ට ළඟම නගරය දියුණුවෙනවා දකින්න. හැමදේටම කොළඹ යන්නෙ නැතිව ළඟම නගරයෙන් ඒ අවශ්‍යතා ඉටු කරගන්න තිබුණ නම් කියලා ජනතාවට හිතෙන එකේ කිසි වරදක් නැහැ.
 
 හැබැයි කාලයක් තිස්සෙ කිසිම සැලැස්මක් නැතිව සංවර්ධනය වුණු නගරවලින් ජනතාව අපේක්ෂා කළ ඒ බලාපොරොත්තු ඉටු වුණේ නැහැ. අපේ රටේ බොහොමයක් නගර අදටත් තියෙන්නේ අපිළිවෙළකට බව කාටවත් හංගන්න රහසක් නෙමෙයි.
 
 මේ නගර පිළිවෙළක් කරලා පහසුකම් වැඩි දියුණු කරලා. ඇහැට ප‍්‍රිය නගරයක් කරන්න කොතරම් උත්සාහ කළත් ඒවා ඇතැම්විට ගඟට කපපු ඉනි වගේ කිසි වැඩක් නොවී අවසන් වුණා.
 
 සමහර වෙලාවට නගරයක වැඩක් පටන් ගත්තම මැතිවරණයක් ඇවිත් බලයෙ සිටි අය පැරදුණාම ඒ වැඬේ එතනම නවතිනවා. තවත් සමහර ව්‍යාපෘති හැමදාම එකම නගරයකට සීමා වුණා. ඒ නිසා තමන්ගෙ නගරය දියුණුවෙයි කියලා සිතිවිල්ලක්වත් ජනතාවට නැතිව ගියා.
 
 ඔබ දැක්කා අපි බලයට ආවම තරුණ තරුණියො ස්වෙච්ඡුාවෙන් ඉදිරිපත්වෙලා තාප්පවල චිත‍්‍ර ඇන්දා. මේ තරුණ පරපුරට අවශ්‍ය වුණේ ගමෙන් පටන්ගෙන මුළු රටටම ඒ සඳහා ආදර්ශයක් දෙන්න. අපි ඒක එදා අගය කළා වගේම අදත් අගය කරනවා. කොවිඞ් ඇවිත් ඒ හැමදේම සීමාවෙනකොට සමහරු අර තරුණ තරුණියන්ටත් හිනා වුණා. කෝ දැන් පාට කරන්නෙ නැද්ද? කියලා ඇහුවා. සමහරු හිතුවා අපිට ඔවුන්ව අමතක වුණා කියලා.
 
 මේ ව්‍යාපෘතිය මේ වසර අවසන් වෙනකොට නිම කරන්නයි අපි සැලසුම් කරලා තියෙන්නෙ. මේ කටයුත්තට නගර නිර්මාණ ශිල්පීන්, භූ දර්ශන විද්‍යාඥයන්, වාස්තු විද්‍යාඥයන්, ඉංජිනේරුවරුන් හා අනෙකුත් වෘත්තිකයන්ගේත් සහාය ලබා ගන්නවා. ඒ නිසා අපි හිතන විධිමත් නගර සැලැස්මකට මෙම නගර 100 ම ගොඩ නගන්න අපිට හැකිවෙන බව විශ්වාසයි.
 
 මේ නගර 100 සංවර්ධනය වෙනකොට ඒ ආශ‍්‍රිත ග‍්‍රාමීය ජනතාවට තවත් පියවරක් ඉදිරියට යන්න ලැබෙනවා. ඒ විතරක් නෙමෙයි අනෙකුත් නගර අතර පවතින සංවර්ධන විෂමතාවත් මෙමගින් මග හැරෙනවා. තිරසර නගරයක ජීවත්වීම ඔබට හැම අතින්ම පහසුවක්.
 
 නගර බිහිවන්නේ ජනතාව තුළින්. එදා අතීතයේ අපිටම උරුම වෙච්ච නගර නිර්මාණ සැලසුම් තිබුණා. අනුරාධපුරය, පොළොන්නරුව, සීගිරිය ආදී අතීත රාජධානි සමඟ බැඳුණු නගර නිර්මාණ අදටත් මුළු ලෝකයේම කතාකරනවා. ඒ විතරක් නෙමෙයි ඒ සැලසුම් අධ්‍යනය කරන්න අපේ රටට අදටත් විදේශිකයන් එනවා.
 
 නූතන නගර නිර්මාණ සැලසුම්වල ඉතිහාසය මෙරට යටත් විජිත සමය හා බැඳුණු එකක්. 16 වැනි සියවසේදී පෘතුගීසී ආගමනයත් සමඟයි කොළඹ කේන්ද්‍රකරගත් නගර සංවර්ධන වැඩ පිළිවෙළක් ආරම්භ වෙලා තියෙන්නේ. 17 වෙනි සියවසේ ලන්දේසි ආක‍්‍රමණයත් සමඟ කොළඹට සීමා වෙලා තිබුණු නගර සැලසුම් ත‍්‍රිකුණාමලය, යාපනය, මීගමුව, ගාල්ල වැනි නගර දක්වා විහිදිලා තිබෙනවා.
 
 මහා පාරේ කැලි කසල කඳු පිරිලා තිබුණේ. බලන්න අප‍්‍රසන්නයි. පදික වේදිකාවේ පදිකයෙකුට යන්න බැහැ. ඒවා උඩ කඩ ගහලා. වාහන නවත්තලා. පොඩි වැස්සටත් යටවෙනවා. කුණු කාණු උතුරනවා. වෙනත් නගර නෙමෙයි කොළඹත් එහෙමයි තිබුණෙ. ඒ තත්ත්වයෙන් නගර ගොඩ ගන්න එදා මම ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්තුමාට, නාගරික සංවර්ධනයත් භාරදුන්නා. එතුමා ඒ වැඬේ හරියටම කළා. ඒ නිසා
 
 ගෝඨාභය ජනාධිපතිතුමාට මේ රටේ නගර සංවර්ධනය කඩිනම් කරන්න අදටත් විශාල අවශ්‍යතාවක් තිබෙන බව ඔබ හොඳින්ම දන්නවා.
 
 මට මතකයි එදා එතුමා මුලින්ම කොළඹ මහා පාරවල් අයිනේ තියෙන කසළ කඳු ඉවත්කළා. ඒක එකපාර කරන්න පුළුවන් ලෙහෙසි පහසු වැඩක් වුණේ නැහැ. එදා කොළඹ මහා නගර සභාව තිබ්බේ අපේ යටතේ නෙමෙයි. ඒත් ඒ සඳහා විධිමත් වැඩපිළිවෙළක් සකස් කරල කොළඹ නගර සභාවත් ඒ වැඬේට සම්බන්ධකර ගත්තා. කොළඹ තැන තැන එදා තිබ්බ කසළ බහාලන ස්ථාන ඉවත් කරලා නගර සභාව යොදවල විධිමත් ආකාරයට කසළ එකතුකරන්නත් ගත්තා.
 
 ඔය අතරේ පාරවල්වලට කුණු බෑග් විසිකරන අය අල්ලන්නත් පරිසර පොලිසිය කියල එකකතුත් හැදුවා. මහා පාරේ කුණු දාන අයට දඩ ගහන්නත් අපිට එදා සිද්ධ වුණා. හැබැයි මාස කිහිපයකින් ඒවායේ ප‍්‍රතිඵල අපිට ලැබුණා. ටොෆි කොළයක්වත් බිම දාන්නේ නැති බුලත් විටක් හපල මහා පාරේ කෙල ගහන්නේ නැති තැනකට අපි මේ රට ගෙන ආවා. මග දෙපස ගස් සිටුවලා නගර අලංකරණය විධිමත් කළා.
 
 පදික වේදිකාව තියෙන්නේ පදිකයන්ට. ඒ නිසා පදික වේදිකාවේ සිටි වෙළඳුන්ට විධිමත් ලෙස වෙළඳාම් කරන්න ස්ථාන සකස්කරලා, පදිකයන්ට පදික වේදිකාව නිදහස් කරල දුන්න ඔබ තමුන්නාන්සේලා දන්නවා.
 
 නගරයේ වාහන තදබදයට පිළියම් සොයලා තනි දිසාවට වාහන ධාවනයට මාර්ග වෙන් කළා. මේ විධියට
 
 ගෝඨාභය ජනාධිපතිවරයා එදා නාගරික සංවර්ධනයේ ලේකම් ලෙස මේවා කළේ ටිකක් තදින්. ඒ නිසා තමයි කොළඹ නගරය විධිමත් තත්ත්වයකට ගේන්න අපිට පුළුවන් වුණේ.
 
 ඔබ දන්නවා කොටුවෙ පාවෙන වෙළඳ සංකීර්ණය අද කොළඹ නගරයේ ආකර්ෂණීය ස්ථානයක්. එදා එතැන කුණු ගඳ ගස්සවන අපරාධකරුවන්ගේ රජ දහනක් විදිහටයි තිබුණේ. එවන් තැනක් තමයි අපි කොළඹට එළිය දෙන තැනක් කළේ.
 
 මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා
 
 සෑම ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයකටම ජාතික පාසලක් නම් කරන වැඩපිළිවෙළ පුද්ගලිකව හොයලා බලලා අනුමැතිය ලබා දුන්නා. කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ ජනතාවට හැටියට අපි ඒ ගැන සතුටු වෙනවා. ඔබතුමා අපිට කිව්ව විදියට බලයේ ඉන්න කොට කරන්න පුළුවන් සියලූම වැඩසටහන් ටික කරගෙන යන්න උපදෙස් ලබා දුන්නා. අපි සතුටු වෙනවා හිරිපිටිය විතරක් නෙවෙයි කොබෙයිගනේ, අබන්පොල, අලව්ව හෙට්ටිපොළ, පන්නල, පොල්ගහවෙල, බිංගිරිය, බමුණාකොටුව යන නගර නමයම මේ වැඩසටහන් තුළ ක‍්‍රියාත්මක වෙනව විතරක් නෙවෙයි ශ‍්‍රී ලංකාවේ සම්පූර්ණයෙන් නගර සීයක් නිර්මාණය වන වැඩපිළිවෙළ අද ආරම්භ කළා.
 
 ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාව එදා ඔබතුමා ආරක්ෂක ලේකම් බවට පත් කරා විතරක් නෙවෙයි, නගරවල දියුණුව ගෙනෙන්න එතුමාව එදා නාගරික සංවර්ධන අධිකාරියේ ලේකම් බවට පත් කරලා එතුමාට එය භාර දීලා දැවැන්ත සංවර්ධනයක් මේ රට තුළ කෙරුවා. අපි කොළඹ නිර්මාණය වෙන විදිය දැක්කා. අපි ඈත එපිට ගම්වලින් පැමිණි මන්ත‍්‍රීවරු හැටියට අපි ඒ සංවර්ධනය දැක්කා. අපි බලාගෙන හිටියා අපේ දිස්ත‍්‍රික්කවලට,
 
 ගම්මානවලට මේ සංවර්ධනය කවදහරි එයි කියලා. 2015 ඔබතුමා පැරදුනේ නැත්නම් කොළඹ විතරක් නෙවෙයි මේ ගම්දනව් සියල්ල අද දියුණු වෙලා ඉවරයි. පසුගිය යහපාලන අවුරුදු පහේ දැවැන්ත ලෙස මේ රට ආපස්සට ගියා. අද අපි සතුටු වෙනවා එදා ආරක්ෂක ලේකම් අද ජනාධිපතිවරයා විදිහට මේ රටට කරන සංවර්ධනය ගැන. 2015ට පෙර අපිට ලැබුණු සහතිකය තමයි ආසියාවේ දියුණුම නගරය කොළඹ පරිවර්තනය වෙනවා කියන පණිවිඩය. නමුත් ඒ සියලූම දේවල් විනාශ වෙලා කුණු ටිකවත් හරියාකාරව ඇදගන්න බැරිවුණු ගඳ ගහන රටක් තමයි අපිට නැවත භාර දුන්නේ. එදා හරියට රට පරිපාලනය කරගන්න බැරි වුණ ඒ අය අද අපට රට පාලනය කළ යුතු ආකාරය ගැන උපදෙස් ලබා දෙනවා. අපි පැහැදිලිවම ජනතාවට පොරොන්දුවක් දුන්නා
 
 ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මේ රටට ආරක්ෂාව දෙනවා වගේම මේ රටේ ආර්ථිකය හදනවා කියලා. එදත් යුද්ධයක් කරන ගමන් දියුණු ආර්ථිකයක් මේ රටට ලබා දුන්නා. චීනයට විතරයි දෙවනි වුණේ මේ රටේ ආර්ථික වර්ධන වේගය. එදා ඒ යහපාලන කාලයේ මුළු ආර්ථිකයම විනාශ කරපු උදවිය තමයි අද විපක්ෂව භාරව වැඩකටයුතු කරන්නේ. අද ඔවුන් උපදෙස් දෙනවා වගේම ඔවුන් අපේ ඇමැතිවරුන්ට අභියෝග කරනවා. විවාද වලට එන්න කියනවා, අපි විවාද බාර ගන්නවා.
 
 මෙම අවස්ථාවට නාගරික සංවර්ධන වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප‍්‍රජා පවිත‍්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා, කුරුණෑගල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන යූ. කේ. සුමිත් උඩුකුඹුර, චරිත හේරත්, අසංක නවරත්න, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති විශ‍්‍රාමලත් මේජර් ජෙනරාල් උදය නානායක්කාර, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ප‍්‍රසාද් රණවීර මහත්වරු ඇතුළු ප‍්‍රාදේශීය දේශපාලනඥයන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment