දකුණු ආසියාවේ වංශවත් හිඟන්නා

1718

මෙයට අවුරුදු 75 ට පෙර පැවති සිංහල ගැමි ශ‍්‍රී ලංකාවේ මිනිස්සු ණයට ගත්තේ ඉතා කලාතුරකිනි. එය කොතරම් සුළු වීද යත් එකල ණය යන්න කිසිදු අන්දමේ සමාජ සාධකයක් නොවීය. හැබැයි ණය ගන්නා අයගෙන් ණය අයකර ගැනීමට බැරි වූ විට අනුගමනය කරන චාරිත‍්‍රානුකූල නීති දෙකක් සිංහල ඉතිහාසයේ විය. ඉන් පළමුවැන්න නම් ණය ගැතියා මහ මග සිටවා එම භූමිය වටා කවයක් ඇඳීමට ණය හිමියා තුළ තිබූ අයිතිවාසිකමයි. සිංහල නීතියට අනුව ණය ගෙවන තුරු මේ කවයෙන් එළියට යෑමට ණය ගැතියාට තහනම් ය. එවිට පාරේ යන ගැමියකු එය දැක ණය ගැතියාගේ ගෙදරට ගොස් විස්තරය කියයි. එවිට ගෙදර මිනිස්සු පැමිණ ණය ගෙවා අර මිනිහා ගෙදර ගෙන යති. නොඑසේ නම් ණය හිමියා සමග negotiated settlement එකකට පැමිණ ණය ගැතියා ගෙදර ගෙන යති. දෙවැනි ක‍්‍රමය වන්නේ ණය ගැතියා පාරේදී අල්ලාගෙන විශාල ගලක් ඔහුගේ හිස මත තබා ණය ගෙවන තුරු එය ඔසවාගෙන සිටින ලෙසට නියම කිරීමය. මෙය ආරංචි වූ විට ගෙදර මිනිස්සු පැමිණ ණය ගෙවා ණය ගැතියා ගෙදර ගෙන යති. නැත්නම් පෙර පරිදිම ණය හිමියා සමග සාකච්ඡුා මාර්ගික විසඳුමකට එති. මේ කාරණා දෙකම රොබට් නොක්ස් ලංකාව ගැන ලියූ පොතේ රූපසටහන් සමගම විස්තර කර තිබේ.

අවුරුදු 500 ට පෙර විදේශිකයන් විසින් ආක‍්‍රමණය කරන තුරු ශ‍්‍රී ලංකාව පවතින්නේ රජවරුන් සහ වංශවතුන් විසින් පාලනය කෙරුණු වැඩවසම් රාජධානියක් ලෙසිනි. ඒ කියන කාලයේදී රට වැසියන් වැඩි හරිය ජීවත් වුණේ රජතුමාට අයත් නින්ද ගම්වලය. මෙම ඉඩම් වගාකර අස්වැන්න නෙළාගත් ඔවුහු රජතුමාගේ කොටස රජතුමාට දී තම කොටස ගෙදර ගෙන ගියහ. මේ අස්වැන්නෙන් කොටසක් නිලමේවරුන්, අධිකාරම්වරුන් සහ වංශවතුන් විසින් සූරාකන ලද නමුදු ඉතිරි හරියෙන් ණය නොවී ජීවත් වීමට මේ රටේ ජනතාවට හැකි විය. 1505 දී ලංකාවට පැමිණි ලොරෙන්සෝ ද අල්මේදා ගැමියන්ගෙන් ණයට රා බොන්නට පුරුදුව සිටි අතර ගැමි ජනතාව විසින් එය අපූරු අත්දැකීමක් ලෙස රස විඳින ලදැයි කියනු ලැබේ. එහෙත් ශ‍්‍රී ලංකාව ස්වකීය ගැමි රාජ්‍යය මොඩලයෙන් ඉවත් වී ලයිට් සහ දුරකතන පහසුකම් ලබා රට පුරාම වාහන යන රටක් බවට පත්වූ කල්හි ණය ගැනීමේ සංකල්පය බත් කෑම, තේ බීම, ලැට් යෑම වැනි දෛනික සිද්ධියක් බවට පත්විය. ණය යන කාරණය රටේ ජනතාවට කොතරම් සමීප වී ඇත්ද යත් ආණ්ඩුව ගණන් හදන පරිදි අද මේ රටේ හැම කෙනකුම රුපියල් ලක්‍ෂ හත බැගින් ණය ය. මෙය සොයා ගන්නේ මෙහෙමයි.

රට, පිටරටවලට සහ දේශීය බැංකුවලට කොතරම් මුදලක් ණය ද යන්න සොයා එම සම්පූර්ණ මුදල රටේ සමස්ත ජනගහනය වූ දෙකෝටි විසි ලක්ෂයෙන් බෙදනු ලැබේ. එවිට එක රට වැසියෙක් කොපමණ ණය ද යන්න යන උත්තරය ලැබේ. මෑතක් වන තුරුම මේ රටේ ජනයාගෙන් සැලකිය යුතු ප‍්‍රමාණයක් අවංක ලෙස ජීවිත ගැට ගසා ගත්හ. ඔවුහු රැකියා කර, බදු ගෙවා, වැටුප් හා වේතන රැගෙන ගෙදර ගොස් නිස්කාන්සුවේ ජීවත් වූහ. එහෙත් දූෂිත දේශපාලනඥයන් විසින් මේ රට සම්පූර්ණයෙන්ම විනාශ කර දමන ලදී. අද අපි ටින් කබලක් ගෙන ලෝකය පුරා ඇවිදිමින් තෙල්වලට, කෑමවලට, බෙහෙත්වලට, ගෑස්වලට වැය කරනු පිණිස මුදල් ලබා ගැනීම සඳහා ණය ඉල්ලති. මේ දවස්වල ලෝකය තමන්ගේ වැඩ මිස අනුන්ගේ වැඩ බලන්නේ නැත. ඒ නිසා ලෝකයේ රටවල් වැඩි හරියක් තුන්වන පාර්ශ්වයක් වෙත ණය ලබා දෙන්නේ තමන් හොඳට කා බී වීසි කරන්නටත් මුදල් ඉතුරු වුණොත් පමණි. අප ජාතියක් වශයෙන් තවමත් ජීවත් වන්නේ පරාක‍්‍රමබාහු රජතුමාගේ කාලයේදී පිටරටට හාල් යැවූ ආතල් එක සිහි කරමින් අතීත කාමයේ ෆන් එක ගනිමිනි.

මේ ෆන් එකෙන් බඩ පුරවා ගැනීමට නොහැක. නූතන ලෝකයේදී කිසියම් රටක් තවත් රටකින් ණයක් ගන්නේ ජාතික ආරක්ෂාව ඇතුළු බොහෝ දේවල් උගස් තබලාය. උදාහරණයක් වශයෙන් පසුගිය දා බැසිල් රාජපක්ෂ ඉන්දියාවෙන් ඩොලර් බිලියන එකහමාරක ණය සහනාධාරයක් ගත් අතර ඒ වෙනුවෙන් ලංකාවේ අහස පාවිච්චි කිරීමේ අයිතිය ඉන්දියාවට දුන් බව කියනු ලැබේ. එසේම මෙවැනි ණය සහනාධාර යටතේ ලැබෙන්නේ මුදල් නොව බඩු ය. එවැනි අවස්ථාවලදී මුදලේ නියම වටිනාකම අපට නොලැබේ. ණය ලැබෙන්නේ භාණ්ඩ වශයෙන් බැවින් එම භාණ්ඩ තුළ තිබෙන ලාභ කොටස ද අපේ මිලෙන්ම ගෙවන්නට අපට සිදුවේ. මෙයට සරල උදාහරණයක් කියමු. මේ රටේ ඇතැම් සිල්ලර කඩ බඩු විකුණන විට ඉතිරි සල්ලි වෙනුවට ටොෆි ලබා දෙයි. ටොෆියක් යනු මුදල් ඒකකයක් නොව පාරිභෝගික භාණ්ඩයකි.

එම නිසා වෙළෙන්දා ටොෆිවලින් අපට ඉතිරි සල්ලි ගෙවන විට ටොෆිය තුළ ඇති වෙළෙන්දාට අයිති ලාභය ද ඉබේටම අපෙන් අයකර ගැනෙයි. මෙය තවදුරටත් සරල කරමු. ටොෆියක් රුපියල් තුනකි. වෙළෙන්දාට එය ලැබෙන්නේ රුපියල් දෙකට ය. ඔහු අපට රුපියල් තුනක් ඉතිරි දිය යුතු නම් ඒ වෙනුවට අපට ටොෆියක් දෙන විට ස්වකීය ලාභය වන රුපියල ද එයට ඇතුළත් කරයි. ඒ අනුව ඇත්තටම අපට ලැබෙන්නේ රුපියල් දෙකකි. වෙළෙන්දා ඉතුරු සල්ලි ගෙවන ව්‍යාජයෙන් රුපියලක මුදලක් ගසා කා ඇත. අප ලෝකේ වටේ යමින් මේ හිඟා කන හිඟා කෑම රටේ පාඩුව තවදුරටත් වැඩි කරයි. එහෙත් කරන්නට දෙයක් නැති බැවින් අපට ජීවත් වෙන්නට සිදුව ඇත්තේ අදට මෙහෙම කරමු යන සංකල්පය යටතේය. එහෙත් ශෝකජනක කාරණය වන්නේ හෙට තත්ත්වයත් මෙයම වීමය. එය එසේ නොවීමට කිසිදු සැලසුමක් මේ මොහොතේ රටක් වශයෙන් අපට නැත.

advertistmentadvertistment
advertistmentadvertistment