අයි.එම්.එෆ්. ගිජිඳු දැක දැක පැණි කෑම!

512

අපේ පරම සම්භාව්‍ය සාහිත්‍යධරයකු වූ සද්ධර්ම රත්නාවලිය ලියූ ධර්මසේන හිමියන් විසින් මිනිසුන්ගේ මෝඩකම්වලට සිනාසීමට යොදා ගන්නා ලද පය බරවායට පිටිකර බෙහෙත් බඳින්නා සේ යන ජනවහරේ එන උපමාව මේ ආණ්ඩුවේ ක‍්‍රියාකාරකම් ගැන පෙන්වා දීමට උචිත හා කදිම යෙදුමකි. වර්තමාන දේශපාලනයේ නිරතව සිටින බොහෝ දෙනෙකුගේ කියවීමේ නුවණ ගැන සතුටුදායක වාර්තා නැතත්, මේ ජනවහරේ එන උපමාව දන්නා අය ස්වල්ප දෙනෙක් හෝ සිටිය හැකි වෙතැයි අපි කල්පනා කරමු. එසේම අද මේ රටත් ජනතාවත් පොදුවේ මුහුණ දී සිටින අපේක්‍ෂා භංගත්වය මූලික වසයෙන්ම මේ ආණ්ඩුවේ නායකයන් හා පොහොට්ටුවේ මන්ත‍්‍රීවරුන්ගේද අසංවේදී බව නිසා තම දෛනික වුවමනාවන් සපුරා ගැනීම සඳහා පෝලිම්වලට එක්ව සිටින ජනතාවගේ කෝපය හා උපහාසය මුසු විවේචනවලින්ද පැහැදිලි වේ. ආණ්ඩුවෙන් එළියට වීසි වී සිටින විමල් හා ගම්මන්පිල මෙන්ම තවමත් එහි රැඳී ඉන්නා වාසු හා ශ‍්‍රී. ල. නි. පයෙන්ද ප‍්‍රකාශ වන්නේ මේ ආණ්ඩුවට හිතක් පපුවක් නැති බවය. දවසින් දවස දික්වන ඉන්ධන හා ගෑස් පෝලිම්ද වෙනත් අත්‍යවශ්‍ය ආහාරයක් ලබා ගැනීමට තිබෙන අසීරුතාව මේ ආණ්ඩුව දවා අළුකර දැමීමට තරම් සෑහෙන කෝපාග්නියකට හේතු වී තිබේ. සාමාන්‍ය ජනතාවට අමතරව මධ්‍යම පන්තියට අයත් ජන කොටස්ද වීදි බැස නිහ`ඩ විරෝධතාවලට එක්ව සිටීම මෙතෙක් මෙරටේ අප නුදුටු අපට නුහුරු ප‍්‍රතිචාරයක් බවද කිව යුතුය.

අයි.එම්.එෆ්. ගිජිඳු දැක දැක පැණි කෑම!

කෙසේ හෝ තමන්ට හිමි වී තිබෙන හැට නව ලක්‍ෂයේ ජනවරම මෙන්ම 2/3 පාර්ලිමේන්තු බලය හා 20 වැනි සංශෝධනයෙන් තහවුරු කරගත් අසීමිත විධායක බලයද මේ සමාජ දේශපාලන හා ආර්ථික අර්බුදය විසඳා ගැනීමට ඒකායන මාර්ගය නොවන බව ආණ්ඩුවේ නායකයෝද දැන් තේරුම් ගෙන සිටිති. තවමත් වහසි බස් දොඩවන ඇමැතිවරයෙක් දෙන්නෙක් සිටියත් ආණ්ඩුව තරමක් මෘදු හා නම්‍යශීලි දේශපාලන සංවාදයක අවශ්‍යතාවද වටහා ගෙන ඇත. ශ‍්‍රී. ල. නි. පයේ යෝජනාවක් අනුව පැවැත්වුණු සර්වපාක්ෂික සමුළුව, දෙමළ සන්ධානය සමග සාකච්ඡා කිරීම මෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ රැකවරණය ලබා ගැනීම එයට දැක්විය හැකි ප‍්‍රධාන ප‍්‍රතිචාර තුනකි. රටේ ජනතාවගෙන් සෑහෙන පිරිසක් දුක්බර ජීවිත ගෙවද්දී ඒ පිළිබඳව කනගාටුවක් හෝ පල නොකළ ආණ්ඩුවේ පාර්ශවකරුවන් අතර ජනතාවගෙන් සමාව අයදින කීප දෙනෙක්ද සිටිති. ජනතා කෝපයෙන් ගැලවීම සඳහා එබඳු දේ සිදුවන බව විපක්‍ෂයෙන් ප‍්‍රකාශ වුවද එහි කිසියම් පසුතැවිල්ලක ලකුණුද තිබෙනු දැක ගත හැකිය. මේ සියලූ අර්බුද, කඩාවැටීම් හුදෙක් එදා පැවති යහපාලන ආණ්ඩුවේ ගිණුමට බැර කළ නොහැකි බවද ඔවුන්ට දැනෙමින් තිබේ. රසායනික පොහොර තහනම් තීන්දුව, පැය විසිහතරෙන් ක‍්‍රියාත්මක කළ මුග්ධ උපදෙස් නිසා මෙවර වී අස්වැන්න අඩකින්ම පහත වැටී ඇති බව කෘෂිකර්ම ඇමැතිවරයාගේ කටින්ම පිට වී තිබේ. එසේම පසුගියදා පැවති සර්ව පාක්ෂික සමුළුවේදී මහ බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල්ටද එජාප නායක රනිල් වික‍්‍රමසිංහගෙන් ලැබුණු උත්ප‍්‍රාසනීය ප‍්‍රහාරය ජනමාධ්‍යවල කටගැස්මක් බවට පත්ව තිබුණු අයුරු අපට මතකය. මහ බැංකු අධිපතිවරයා යහපාලන ආර්ථිකයේ ඇද පෙන්වීම රනිල්ගේ දැඩි විවේචනයට හේතු වූවා පමණක් නොව ඒ පිළිබඳව ජනාධිපතිවරයාට සමාව ඉල්ලීමට පවා සිදු විය.

එදා පැවැත්වුණු සර්ව පාක්ෂික සමුළුව සම්බන්ධයෙන් වුවද කිව හැක්කේ එයින් නූතන ආර්ථික අර්බුදයට අදාළව කවර හෝ සාධනීය සාංවාදයකටවත් ආරම්භයක් නොලැබුණු බවය.

අයි.එම්.එෆ්. ගිජිඳු දැක දැක පැණි කෑම!

ශ‍්‍රී. ල. නිප සභාපති මෛත‍්‍රිපාල සිරිසේන තුළ වුවද එම සමුළුව ගැන ප‍්‍රසාදයක් නොවූ බව පසුව ඔහු විසින් කරන ලද විශ්ලේෂණයකදී පැහැදිලිවිය. සැබැවින්ම ආණ්ඩුව එයට දැක්වු ප‍්‍රතිචාරය ඉතා දියාරු එකකි. ශ‍්‍රී. ල. නි. පය හැර වෙනත් කිසිදු පක්‍ෂයකින් සමුළුවට කවර හෝ යෝජනා මාලාවක් ඉදිරිපත් නොවීමද කැපී පෙනුණි. මෛත‍්‍රීපාලට අනුව එය පිරිස එක්ව වාචිකව යම් යම් දේ පවසා විසිර යෑමකි. ආණ්ඩුවද සමුළුව ගැන නිවේදනයක් හෝ කර නොතිබුණි. එහෙත් අනෙක් පක්‍ෂවලටද ඒ සඳහා එක්වන ලෙස ජනාධිපතිවරයා ඇරයුමක් කර ඇත.

එදා සමුළුවේදී අනාවරණය වූ එකම දෙය ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදේශය ලබා ගැනීමට එකඟවී සිටින බවය. ඇත්ත වශයෙන්ම මහ බැංකු අධිපතිවරයා ඇතුළු ආණ්ඩුව දැඩිව තීරණය කර තිබුණේ මේ අර්බුදයට බාහිර උපදෙස් අනවශ්‍ය බවය. එහෙත් ආණ්ඩුවට තමන් දැඩි අවුලකට මැදිවී සිටින බව ක‍්‍රමයෙන් තේරුම් ගොස් ඇත. මේ අර්බුදයෙන් ගොඩඒමට ආණ්ඩුව විසින් පත් කරන ලද ආර්ථික විශේෂඥ කමිටුවලින් හෝ කිසිදු සාධනීය උපදෙසක් නොලැබුණු බවද පෙනේ. ඔවුන් විසින් කෙබඳු උපදෙස් මාලාවක් දෙන ලද්දේද යන්නත් අපි නොදනිමු. ඒ උපදේශක කමිටු හා ආර්ථික විශේෂඥයන් සම්බන්ධයෙන්ද නොයෙක් විවේචන ඇසුණි. ඇත්ත වශයෙන්ම රටක ආර්ථික ක‍්‍රියාකාරකම් සඳහා උපදෙස් ගැනීමටද විශේෂඥයන් අත්‍යවශ්‍යය. එය තමන්ගේ දේශපාලන කෝණයට සීමා කළ යුතු නම් තමිල්නාඩු මහ ඇමැතිවරයාගේ ආර්ථික උපදේශක මණ්ඩලයට අයත් වූවෝ ජාත්‍යන්තරව කීර්තියද සහිත ආර්ථික ක්‍ෂෙත‍්‍රයේ ප‍්‍රාමාණිකයෝය. එහි සිටින එස්තර් ඩුෆ්ලෝ ආර්ථික විද්‍යාව සඳහා සාම නොබෙල් තෑග්ග ලැබූවෙකි. ඇය ඒ පිළිබඳ මහාචාර්යවරියකි. රඝුරම් රාජන්ද එබඳුම කීර්තිමත් මහාචාර්යවරයෙකි. ඔහු චිකාගෝ සරසවියේ මූල්‍ය කටයුතු පිළිබඳ මහාචාර්ය ධුරයද හොබවයි. අරවින්ද් සුබ‍්‍රමානියම්ද ඉන්දීය රජයේ (2014 – 2018) ආර්ථික උපදේශකයකු මෙන්ම අශෝක් සරසවියේ මහාචාර්යවරයෙක්ද විය. ජින් ඩෙ‍්‍රස් හා එස්. නාරායන් යන දෙදෙනාද එබඳු විද්වත් හා ප‍්‍රාමාණිකයෝ වෙති. මේ ආණ්ඩුවට ආර්ථිකය ගැන මෙන්ම වෙනත් බොහෝ ක්‍ෂෙත‍්‍ර පිළිබඳ වුවද සාධනීය උපදෙස් ලැබේද යන්න ගැන අපට කිව නොහැක.

මුදල් ඇමැතිවරයා ලෙස බැසිල්ගේ ක‍්‍රියාකාරකම් දැඩි විවේචනයකට ලක්ව ඇත්තේද ඔහුගේ විෂය දැනුම පිළිබඳ ප‍්‍රශ්නයද ප‍්‍රධාන හේතුවක් නිසාය. ආණ්ඩුවේ සමීප හිමිනමක් වන මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පසුගිය දිනවල පැවසුවේත් බැසිල්ට වෙනත් ඇමැතිධුරයක් ලබා දිය යුතු බවය. එසේම රාජපක්‍ෂ දේශපාලනය අනුමත කරන මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝද බැසිල්ට දැඩි විවේචනයක් සිදු කරති. සිවිල් සංවිධාන හා ආණ්ඩුවෙන් අස් කළ විමල් හා ගම්මන්පිල ඇතුළු පිරිසක් හමුවී කළ සාකච්ඡුාවකදී උන්වහන්සේ දැඩි ස්වරයකින් ප‍්‍රකාශ කළේ ගෝඨාභය ජනාධිපතිවරයාට හැට නව ලක්ෂයේ ජනවරමෙහි ආධ්‍යාත්මික ශක්තිය පිළිබඳ අවබෝධයක් හෝ අගයක් නැති බවය. බැසිල් යනු ජනාධිපතිවරයාට හොඳ සහෝදරයකු වුවත් ඔහුගේ දේශපාලන භාවිතය ජනතාව අනුමත නොකරන බවය. මෙහිදී උන්වහන්සේ 20 වැනි සංශෝධනයෙහි වු ද්විත්ව පුරවැසි යෝජනාව සම්මත වීම පිළිබඳවද දැඩි විවේචනයක් කළේය.

අද උද්ගතව තිබෙන මෙම ආර්ථික අර්බුදය හුදු බැසිල්ගේම වරදක් විය නොහැක. ඔහුගේ දේශපාලන හැසිරීම හා අධිපතිවාදී ආකල්පය එය ඉක්මන් අගාධයකට රැුගෙන ගිය බව පැහැදිලිය. එහෙත් ඒ වරද මෑත දසක කීපය මුළුල්ලේ අපේ පාලකයන් විසින් සිදු කළ සදොස් ක‍්‍රියාකාරකම් මෙන්ම මුග්ධ දේශපාලන අවිචාරය විසින්ද උත්පාදනය කරන ලද්දකි. ගජ මිතුරු දේශපාලනය හා අලූතින් බිහිවූ කසළ වෙළඳ පන්තියද ඒ ආර්ථික විනාශයේ පංගුකාරයෝය. මහ බැංකුව කොල්ල කෑමේ කුප‍්‍රකට කල්ලි මේ ආණ්ඩුවේ මෙන්ම එදා තිබුණු යහපාලන ආණ්ඩුවේද සෙවණ ලද්දෝය. රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයා ලෙස තම තනි මතය අනුව මහ බැංකු අධිපති ධුරයට පත් කළ අර්ජුන මහේන්ද්‍රන් ඒ බැංකු මගඩියෙහි චූදිතයෙකි. (ඔහු සිංගප්පුරු ජාතිකයකු මෙන්ම මේ රටේ කිසිදු නීතිමය හිමිකමක්ද නැත.) වත්මන් මහ බැංකු අධිපති පොහොට්ටු පාක්ෂිකයකු මෙන්ම මේ ආණ්ඩුවේ රාජ්‍ය ඇමැතිවරයෙකු ලෙසද ක‍්‍රියා කළ අයෙකි. ඔහුටද මහ බැංකුවේ ක‍්‍රියාකාරකම් පිළිබඳ චෝදනා එල්ල වෙයි.

අද රටම වෙලාගත් බිහිසුණුම අර්බුදය ලෙස අවධානයට ලක්ව තිබෙන මේ සමාජ ආර්ථික විපත මෙන්ම දේශපාලන පරාභවයද නිදහසින් පසු අප තෝරාගත් පාලකයන්ගේ මුග්ධ හාස්කම්ය. හැත්තෑහතේ සිට එහි ශීඝ‍්‍ර වර්ධනයක් සිදුවිය. ජයවර්ධන ජනාධිපතිවරයා හඳුන්වා දුන් ආර්ථිකය මෙන්ම දේශපාලනය මේ රට විනයක් සදාචාරයක් නැති නිරයක් බවට පත්වීමේ ආරම්භය විය. රටේ මූල්‍ය පාලනය පාර්ලිමේන්තුවෙන් ගිලිහී විධායක ජනාධිපතිවරයකුට යටත් වී තිබේ. මහජන නියෝජිතයා සංවර්ධනය නමින් ව්‍යාපාර මෙහෙයවන දූෂිතයකුගේ තත්ත්වයට පිරිහී සිටී. මේ දූෂිත ගර්හිත දේශපාලනය පිළිබඳව හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ විසින් දක්වන ලද අදහස් ආණ්ඩුවේ බලධාරීන්ගේ හෝ විපක්‍ෂයේ මෙන්ම වෙනත් සිවිල් පුරවැසියන්ගේද අවධානයට යොමු වී තිබේද යන්න නොදනිමු. ඒ සමාජ දේශපාලන විග‍්‍රහය අද අප මුහුණ දී සිටින සමාජ ආර්ථික දේශපාලනයේ යථාර්ථය හෙළි කරන්නකි.

එදා (1910* මැක්ලම් ආණ්ඩුකාරයා ලංකාවට සර්වබල ඡුන්ද අයිතිය ප‍්‍රදානය කිරීම අනුමත කර නැත. මෙරටේ බහුතර ජනතාව විමර්ශන බුද්ධියකින් තොරවීම නිසා ඒ ඡුන්දය රටට අහිතකර විය හැකි බවත් එයින් මෙරටේ පවුල් පාලනයක් ඇති වීමේ අනතුරක් තිබෙන බවත් මැක්ලම් ආණ්ඩුකාරයා පවසා ඇත. හිටපු විගණකාධිපතිවරයා දැක්වූයේ අද එය දේශපාලනිකව තහවුරු වී තිබෙන බවය. පසුගිය දිනවල ආණ්ඩුවෙන් එළියට පැමිණි විමල් උදය සෘජුවම පවසන්නේ අද මේ සියලූ විනාශය පවුල් පාලනය නිසා බවය. අද දේශපාලනය සඳහා හොරුන් තක්කඩියන් තේරී පත්ව ඇත්තේද ජනතාවගේ නොදැනීම නිසා බවය. හිස් මිනිසුන්ගේ ඝෝෂාවත් බුද්ධිමතුන්ගේ නිහ`ඩතාවත් අද අප රටේ පරිහානියට හේතු වී තිබෙන බවද හිටපු විගණකාධිපතිවරයා පවසයි. දේශපාලනයට හොරුන් පැමිණීම නිසා සමස්ත විනය හා සදාචාරය බිඳ වැටී තිබෙන ආකාරයද ඔහු පෙන්වා දෙයි. ඔහුගේ අවධාරණය වූයේ 20 වැනි සංශෝධනය රටට බරපතළ අනතුරක් බවය. එහෙත් ගෝඨාභය ජනාධිපතිවරයාට ලබා දුන් 20 වැනි සංශෝධනය නමැති අසිපත ඔහු පොදු ජනයහපත උදෙසා භාවිත කළේ නම් රටට මේ විපත සිදු නොවන බව පමණක් සටහන් කරමි. ගෝඨාභය දේශපාලන පවුලකට අයත් වුවත් ඔහු නිර්දේශපාලන චරිතයකි. ඔහු රටට අභිමානය අත්කර දුන් ජාතික වීරයකුගේ භූමිකාවක පුරෝගාමියෙකි. එහෙත් දූෂිත, අමන, අල්ලස්, වංචා කොමිස් හොර මැර යනාදියෙන් කෙළ පැමිණි පිරිස් ඔහු වටා නිරුපද්‍රිතව සිටිතියි ඔහුගේම අනුගාමිකයෝ පවසති. මේ ජනතාව අපේක්‍ෂා කළ රටදැයි ඔවුහු විමසති.

කෙසේ හෝ වේවා අද රටේ ඉරණම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට භාරවී තිබේ. ආර්ථිකය මෙහෙයවීමේ මාර්ග උපදේශකයා බවට එය පත්ව තිබේ. අනිසි ලෙස උපයා ගත් මුදල් ඇති ධනීන්ටද කොමිස් වරදාන ලද දේශපාලනඥයන්ටද සුවපහසු ජීවිත ගෙවිය හැකිය. විවෘත ආර්ථිකයෙන් බිහිවු ධනිය ගෝපාලලාට මැදුරුවල සඳලූතලවල සිටිය හැකි වෙති. එහෙත් ඒ ජනවරමට දායක වූවෝද නොවූවෝද මහපාරේ කඹුරති. ඒ කොපමණ කාලයකටදැයි කිව නොහැක. වීදි බැස කෑ මොර දෙන පීඩිතයන්ගේ හඬ ගම් දනව් ඔස්සේ නැගෙමින් දෝංකාර දෙන අයුරුද පෙනේ. ඒ ජනතාවට කන්දීම හැර එය මග හැර යෑමට පාලකයන්ට නොහැකි බවද ලියා තැබිය යුතුය.

කෙසේ හෝ අද රට ඉල්ලා සිටින ප‍්‍රජාතන්තවාදී පාලනය හෝ අලූත් දේශපාලන පරිවර්තනය තුළින් වුවද මේ ආර්ථික අර්බුදය හා විනිමය හිඟය වැනි ගැටලූ නිරාකරණය කර ගත නොහැක. සජිත් පේ‍්‍රමදාසට හෝ අනුර කුමාර දිසානායකට හෝ එබඳු ප‍්‍රාතිහාර්යක් කළ නොහැක. යම් ප‍්‍රමාණයක හෝ දේශපාලන සවිඥානයක් සහිත වමේ බලයක් ලෙස ජාතික ජන බලවේගයද ඉදිරියට ඇදෙමින් සිටියි. විමල්, ගම්මන්පිල ශ‍්‍රී. ල. නිපය ඇතුළු පක්‍ෂ එකොළහේ නායකයන්ගේ සමාජ ඇමතුමද අපට ඇසෙයි. මේ සියල්ලටම වඩා වෙනස් ගමනක් ස. ජ.බට හෝ එජාපයට යා හැකිද? කුමක් වුවත් හෙට දවස අභියෝගයකි.

අයි.එම්.එෆ්. ගිජිඳු දැක දැක පැණි කෑම!

ගාමිණී සුමනසේකර

advertistmentadvertistment
advertistmentadvertistment