දරුවාගේ දකුණු වකුගඩුවෙන් 90%ක් ක්‍රියාකාරීව තිබුණා – රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ ළමා ශල්‍ය වෛද්‍ය මලික් සමරසිංහ සාක්‍ෂි දෙයි

367

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේදී සිදු කළ වකුගඩු සැත්කමකින් අනතුරුව මියගිය තෙහැවිරිදි දරුවාගේ වම් වකුගඩුව සියයට නමයකුත්, දකුණු වකුගඩුව සියයට 91%ක ක්‍රියාකාරීත්වයෙන් තිබූ බවත් මනා ක්‍රියාකාරීත්වයෙන් තිබූ දකුණු වකුගඩුව පිහිටා තිබිය යුතු ශරීරයේ නිසි ස්ථානයේ පිහිටා ඇති බව සිදු කළ සියලු වෛද්‍ය පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇතැයි රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ ළමා ශල්‍ය වෛද්‍ය මලික් සමරසිංහ මහතා ඊයේ (31දා) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය හමුවේදී සාක්‍ෂි දෙමින් පැවසීය.

එම දරුවාගේ උදරයේ ඉදිමීමක් සම්බන්ධයෙන් පරීක්‍ෂණ සිදුකර තිබූ වෛද්‍යවරයකු විසින් 2021 වසරේදී ඔහු තමා හමුවට ඉදිරිපත් කළ බවත් පවසමින් සාක්‍ෂි ලබාදුන් විශේෂඥ ශල්‍ය වෛද්‍ය මලික් සමරසිංහ මහතා දරුවාගේ රෝගී තත්ත්වය හා ඒ සඳහා ලබාදිය යුතු ප්‍රතිකාර නිශ්චිතව හඳුනා ගැනීම සඳහා සිය රෝහල තුළදී පමණක් නොව ප්‍රධාන පෙළේ වෙනත් රෝහල්වලින් සිදුකළ පරීක්‍ෂණ වාර්තා ද උපයෝගී කරගත්තේ යැයිද පැවසීය. ඒ සියලු පරීක්‍ෂණවලදී එම දරුවාගේ වම් වකුගඩුවේ රෝගී තත්ත්වයක් හා දුර්වලවීමක් දක්නට ලැබුණත් දකුණු වකුගඩුව සාමාන්‍ය තත්ත්වයෙන් තිබූ බව අනාවරණය වී තිබූ බව ද හෙතෙම වැඩිදුරටත් පැවසීය. ඔහුගේ වැඩිදුර සාක්‍ෂි ලබා ගැනීම ලබන මස 5 වැනිදා දක්වා කල් තැබීමට අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය නියෝග කළාය.

අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ රුෂ්ඩි හබිබ් මහතා ඇතුළු නීතිඥ මණ්ඩලයක් සමග නීතිඥ වෛද්‍ය වයි.එල්.එම්. යුෂුෆ් මහතා පෙනී සිටි අතර ජනාධිපති නීතිඥ නලින්ද්‍ර ඉන්ද්‍රතිස්ස මහතා සාක්‍ෂිකාර වෛද්‍යවරයාගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටියේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment