දානයේ උත්තරීතර අනුසස්

746

බෞද්ධයින් වන අපි, දාන දීම අපගේ ජීවිත තුළ උසස් ලෙස පුරුදු පුහුණු කරන, නිවන් අවබෝධය පිණිස ප්‍රගුණ කළ යුතු උසස්ම පාරමිතාවක් ලෙස වටහාගෙන දන්දීම සිදුකරන පිරිසකි. දාන පිරිනැමීමේ උසස් අනුසස් භාග්‍යවතුන් වහන්සේ විසින්ම දේශනා කර ඇති පරිදි අපි විමසා බලමු.

එක් සමයක අප තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ කිඹුල්වත්පුර නිග්‍රෝධාරාමයේ වැඩ වාසය කරන කල්හි, උන්වහන්සේව ගිහි කල රැකබලාගත් මහා ප්‍රජාපතී ගෝතමිය අලුත් වස්ත්‍ර යුගලක් ගෙන බුදුරජාණන් වහන්සේ බැහැදැකීමට පැමිණ උන්වහන්සේට වැඳ නමස්කාර කොට එකත්පස්ව සිටිමින් මෙසේ ප්‍රකාශ කළාය.

“භාග්‍යවතුන් වහන්ස, මා විසින්ම, ඔබ වහන්සේ උදෙසාම පිළියෙළ කළ මේ අලුත් වටිනා වස්ත්‍ර යුගලය, මා කෙරෙහි අනුකම්පා උපදවා පිළිගන්නා සේක්වා!”

ඒ අවස්ථාවේදී අප තථාගතයන් වහන්සේ ඇයට මෙසේ පිළිතුරු ලබාදුන් සේක.

“ගෝතමිය, සංඝයාට මේ වස්ත්‍ර යුගලය පූජා කරන්න. එසේ කළ විට, ඔබ මාව පුදන ලද්දේ ම වන්නේය. සංඝයා ද පුදන ලද්දේය.”

මේ ආකාරයෙන් ප්‍රජාපතී ගෝතමිය නැවත නැවත තුන් වාරයක්ම බුදු පියාණන් වහන්සේටම සියතින් පූජා කිරීමට උත්සාහ කළ ද, භාග්‍යවතුන් වහන්සේ සංඝයාටම පූජා කරන ලෙස ඇයට උපදෙස් ලබාදුන් සේක.

ඒ අවස්ථාවේ, බුදුරජුන්ගේ අග්‍ර උපස්ථායක ආනන්ද තෙරණුවෝ, එහි පැමිණ භාග්‍යවතුන් වහන්සේට මෙසේ ආයාචනා කළහ.

“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මහා ප්‍රජාපතී ගෝතමිය පිරිනමන මේ අලුත් වස්ත්‍ර පිළිගන්න සේක්වා! ඇය ඔබවහන්සේට බොහෝ උපකාර කළාය. සුළු මවු ද වූවාය. කිරි දී හදා වඩා ඔබවහන්සේව පෝෂණය කළාය. එසේම, භාග්‍යවතුන් වහන්සේ ද මහා ප්‍රජාපතී ගෝතමියට බොහෝ උපකාර කර ඇති සේක. ඔබ වහන්සේ නිසා ප්‍රජාපතී ගෝතමිය තුණුරුවන් සරණ ගියාය. පන්සිල් රැකීමේ යෙදුනාය. තුණුරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාවෙන් හා ප්‍රසාදයෙන් යුක්ත වන්නීය. ආර්ය කාන්ත ශීලයෙන් යුක්ත වූවාය. චතුරාර්ය සත්‍යයේ ද නිසැක වූවාය.”

ඒ අවස්ථාවේ භාග්‍යවතුන් වහන්සේ “ආනන්දය, එය එසේමය. යම් පුද්ගලයකු නිසා තව කෙනෙක් තුණුරුවන් සරණ ගියේද, ඒ පුද්ගලයාට කළගුණ දැක්වීමෙන් අවසන් කළ නොහැකි යැයි කියමි. ඒ කුමකින් ද යත්, වන්දනා කිරීම, දුටුවිට අසුණින් නැගිටීම, දොහොත් මුදුන් දී වන්දනා කිරීම, උපස්ථාන කිරීම, ගෞරව කිරීම, සිවුරු පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස, බෙහෙත් ආදිය පූජා කිරීමෙනි.

එසේම, ආනන්දය, යම් පුද්ගලයෙකු නිසා තව කෙනෙක් පස්පව්වලින් වැළකුණේ ද, යම් පුද්ගලයෙකු නිසා තව කෙනෙක් තුණුරුවන් කෙරෙහි අචල ප්‍රසාදයට පත්වීද, උතුමන් ගරු කරන ආර්ය කාන්ත ශීලයෙන් යුක්ත වීද, යම් පුද්ගලයෙකු නිසා තව කෙනෙක් චතුරාර්ය සත්‍යයේ නිසැක (සෝවාන් මාර්ග ඵලයට පත්වීද) වීද, ඒ පුද්ගලයාට ද පෙර දේශනා කළ පරිදි ක්‍රියාකිරීමෙන් කළගුණ සළකා අවසන් කළ නොහැකි යැයි කියමි. ආනන්දය, පෞද්ගලික දාන (14) දාහතරකි. ඒ දාන දීම අතුරින්,

  1. තිරිසනෙකුට දන් දී සිය ගුණයක ආනිශංස ලැබීමට කැමැති විය යුතුය.
  2. දුශ්ශීල පෘථග්ජනයෙකුට දන් දී ආනිශංස දහසක් (1000) ලැබීමට කැමති විය යුතුය.
  3. සිල්වත් පෘථග්ජනයෙකුට දන් දීමෙන් ආනිශංස ලක්‍ෂයක් කැමති විය යුතුය.
  4. බුදු සසුනෙන් බාහිර කාමයේ පහ වූ රාගය ඇත්තෙකු (ධ්‍යාන ලාභියෙකු) උදෙසා දන් දී කෝටි ලක්‍ෂයක් ආනිශංස කැමති විය යුතුය.
  5. සෝවාන්ඵලය සාක්ෂාත් කිරීමට පිළිපන් කෙනෙකුට දන් දීමෙන් අප්‍රමාණ සංඛ්‍යාවක් (කිව නොහැකි තරම්) ආනිශංස කැමති විය යුතුය.
  6. සෝවාන් මාර්ගඵල ලාභී උතුමෙකුට දන්දීම ගැන කවර කථාද?
  7. සකදාගාමී ඵලය සාක්ෂාත් කිරීමට පිළිපන් කෙනෙකුට දාන පිරිනැමීම ගැන කවර කථා ද?
  8. සකදාගාමී මාර්ගඵලාභී උතුමෙකුට දන්දීම ගැන කවර කථා ද?
  9. අනාගාමී ඵලය සාක්ෂාත් කිරීමට පිළිපන් කෙනෙකුට දාන පිරිනැමීම ගැන කවර කථාද?
  10. අනාගාමී මාර්ගඵලලාභී උතුමෙකුට දන්දීම ගැන කවර කථාද?
  11. රහත්ඵලය සාක්ෂාත් කිරීමට පිළිපන් කෙනෙකුට දාන පිරිනැමීම ගැන කවර කථා ද?
  12. රහතන් වහන්සේ කෙනෙකුට දන් පිරිනැමීම ගැන කවර කථා ද?
  13. පසේබුදු රජාණන් වහන්සේ කෙනෙකුට දාන පිරිනැමීම පිළිබඳ කවර කථාද?
  14. සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙරෙහි දුන් දානය පිළිබඳ කවර කථා ද?

ආනන්දය, සාංඝීක දාන 07 (හත) කි.

  1. බුදුරජුන් ප්‍රමුඛ භික්‍ෂු භික්‍ෂුනී යන උභය සංඝයාට දන්දීම.
  2. තථාගතයන් වහන්සේගේ පිරිනිවීමෙන් පසු, භික්‍ෂු, භික්‍ෂුණී යන උභය සංඝයාට දන්දීම.
  3. භික්‍ෂු සංඝයා උදෙසා දාන දීම.
  4. භික්‍ෂුණී සංඝයා උදෙසා දන්දීම.
  5. මෙපමණ භික්‍ෂූන්ද, මෙපමණ භික්‍ෂුණීන්ද, මට සංඝයා කෙරෙන් ලබාදෙනු මැනවයි කියා ලබාගෙන සංඝයා කෙරෙහි දන්දීම.
  6. මෙපමණ භික්‍ෂූන් මට ලබාදෙන මෙන් ඉල්ලා සංඝයාට දන්දීම.
  7. මෙපමණ භික්‍ෂුණීන් මට ලබාදෙන මෙන් ඉල්ලා සංඝයාට දන් පිළිගැන්වීම.

ආනන්දය, අනාගත කාලයේදී බුද්ධ ශාසනය විනාශ කරන්නා වූ දුස්ශීල පවිටු ස්වභාව ඇති කහ සිවුරු දරන්නා වූ (කසාවකන්ඨක) කෙනෙක් වෙති. ඒ දුස්ශීලයන් කෙරෙහි ද සංඝයා උදෙසා දාන පිරිනමති. එවැනි කාල වකවානුවක වුවද, මම සඟසතු දානයේ අනුසස් ප්‍රමාණ සංඛ්‍යාවකින් කිව නොහැකි අප්‍රමාණ අනුසස් ඇතැයි කියමි.

කෙසේ වෙතත්, සාංඝීක දානයට වඩා එක් පුද්ගලයකුට දෙන දානය, ඉතා උසස් මහත්ඵල යැයි නොකියමි.

“යමෙක් පහ වූ රාගය ඇතිව, දැහැමින් ලැබෙන දෙයින්, පහන් සිත් ඇතිව, මහත් වූ කර්ම ඵල අදහමින් වීතරාගී උතුමන්ට දානයක් පිරිනමන්නේ නම්, ඒ දානය ඒකාන්තයෙන්ම ආමිස දාන අතුරින් අග්‍ර යැයි කියමි.”

පින් නොවැඩෙන දාන

★ යමෙකු රටේ පාලකයන් දඬුවම් දෙතැයි කියා බියෙන් දන් දේ ද, එයින් පින් නොවැඩේ.

★ අකැප දෙයින් සිල්වතුනට දාන පිරිනැමීමේ ද ඔහුට පින් නොවැඩේ.

★ වධ හිංසා කිරීම පිණිස දඬු මුගුරු, අවි ආයුධ දන්දීම අකුසල්ම වේ.

★ මත් වතුර ලබාදීම අසත්පුරුෂ දානයකි.

මේ අතර, උතුම් බුද්ධ ශාසනයක් තුළ සිල්වත් පැවිදි උතුමන්ට අකැප දේ කිහිපයක්

★ රන් රිදී, කහවනු, මුදල්

★ අමු ධාන්‍ය හා අමු මස්

★ කුඹුරු හා ඉඩම්

★ ඇතුන්, අශ්වයින්, වෙළඹුන්, හරක්, එළුවන්, කුකුළන් ආදී සතුන්

★ දැසි දස්සන් (සේවක, සේවිකාවන්)

දන් පිරිනැමීම පිළිබඳව නිසි අවබෝධයකින් අපි කටයුතු කරන්නේ නම්, ඒ උතුම් සද් ක්‍රියාවෙන් ලැබෙන උසස් ආනිශංස, නොඅඩුව ලබා සුගතිගාමී වීමටත්, නිවන් අවබෝධය පිණිස පාරමිතාවක් බවට පත්කර ගැනීමටත් පිංවත් බෞද්ධ උපාසක උපාසිකා පිරිසට හැකි වන්නේය. අපට ලැබී ඇති මේ උතුම් ගෞතම බුද්ධ ශාසනය තුළදීම, දාන පාරමිතාව සම්පූර්ණ කර ගනිමින් අනන්ත සසර දුකින් අත්මිදීමට මේ සදහම් කරුණු ඔබ සැමට උපකාරී වේවා

එස්. එම්. විජයරත්න – බිංගිරිය

advertistmentadvertistment
advertistmentadvertistment