දිල්ලි පිටියේ වලි පිට වලි මැද බංගලි ජය කෙළියේ

514

ඉන්දියාවේ අරුන් ජෙට්ලි ක්‍රීඩා පිටිය මධ්‍යයේ එකිනෙකාට එරෙහිව එල්ල කර ගත් වාග් ප්‍රහාර සහ නොයෙක් මතභේදාත්මක සිදුවීම් රැසක් සමග ඊයේ (06 වැනිදා ) නිමා වූ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ලෝක කුසලාන ක්‍රිකට් තරගයේ ජය බංග්ලාදේශය ට හිමි වූයේය.

බංගලාදේශ ක්‍රීඩකයන් විසින් ඇන්ජලෝ මැතිව්ස් ”‍ටයිම්ඩ් අවුට්”‍ අවස්ථාවකින් දවා ගැනීමෙන් අනතුරුව සිට ඇරඹි එම මතභේදයන් හි අවසාන ඵලය ලෙස ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ බංගලාදේශ ක්‍රීඩකයන්ට අතට අත වත් නොදී ක්‍රීඩා පිටියෙන් ඉවත් වූහ.

කණ්ඩායම් දෙකේ පුහුණු කාර්ය මණ්ඩලය එකිනෙකාට අත ට අත දී සුබ පතා ගත්තද කුසල් මෙන්ඩිස් ප්‍රමුඛ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ බංගලදේශ ක්‍රීඩකයන් මඟහැර ක්‍රීඩාගාරයට පිවිසියහ.

බංග්ලාදේශ කණ්ඩායමේ පුහුණුකරු චන්දික හතුරුසිංහ වහා ඉදිරියට පැමිණ ක්‍රීඩාගාරයට ප්‍රවේශ වෙමින් සිටි අවසන් ශ්‍රී ලංකා ක්‍රීඩක දෙතුන් දෙනාට නම් සිය අත දිගු කිරීමට දැරූ උත්සාහය යම්තමින් සාර්ථක වූයේය.

මෙම තරග ජයග්‍රහණය අයිසීසී තරග ඉසව්වකදී ශ්‍රී ලංකාව පරදවා බංග්ලාදේශය ලබාගත් පළමු ජයග්‍රහණය වූ අතර ශ්‍රී ලංකාව ලබා ගත් ලකුණු 279 බංග්ලාදේශ කණ්ඩායම කඩුලු‍ 3 ක් අතැතිව ජය ගත්තේය.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූ ඩිල්ශාන් මධුසංඛ කඩුලු‍ 3 ක් දවා ගත් අතර මේ සමගම තරගාවලියේ වැඩිම කඩුලු‍ ලාභියා ලෙස ද ඩිල්ශාන් පත් වූයේය.

ඔහු මේ වනවිට කඩුලු‍ 21 ක් දවාගෙන ඇති අතර ඇන්ජලෝ මැතිව්ස් ශකීබ් අල් හසන් ගේ කඩුල්ල ද ඇතුළුව කඩුලු‍ දෙකක් දවා ගෙන ජයග්‍රහණය සඳහා මහත් පරිශ්‍රමයක් දරුවද තෙවැනි කඩුල්ල වෙනුවෙන් ශකීබ් සහ නජ්මුල් සැන්ටෝ ගොඩනැඟූ ලකුණු 169 ක සම්බන්ධතාවය ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු දුරස් කළේය.

කෙසේ වෙතත් ශකීබ් අල් හසන් ලකුණු 7 ක් ලබා සිටියදී මැතිව්ස් ගේ පන්දුවකට චරිත් අසලංක වෙත දුන් උඩ පන්දුව ගිලිහී නොයන්නට තරගයේ ප්‍රතිඵලය මීට වඩා වෙනස් වන්නට තිබුණි.

තම එක්දින ජාත්‍යන්තර පිටියේ දෙවෙනි ශතකය මෙන්ම ලෝක කුසලාන තරග පිටියේ පළමු ශතකය රැස් කළ චරිත් අසලංක ගේ විශිෂ්ට ඉනිමේ සහාය ඇතිව ලකුණු 279 ක්

රැස් කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (06 වැනිදා ) සමත් වූයේය.

එහිදී පන්දු 108 කට මුහුණ දුන් චරිත් ඉන් පන්දු 5 ක්ම හයේ සීමාවෙන් එපිටට පියාසර කර යැවූ අතර හතරේ පහර 6 ක් ද එම ඉනිම ට ඇතුළත් කර ගත්තේය.

සධීර සමරවික්‍රම සහ ධනංජය ද සිල්වා සමඟ ගොඩ නැඟූ අර්ධ ශතකය ඉකමවූ සම්බන්ධතාවයන් දෙකක් සමග විනාඩි 159 ක් කඩුල්ලේ රැදී සිටි චරිත් 101 වැනි පන්දු වේදී ශතකය ලබා ගත්තේය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලු‍ ක්‍රීඩකයන් පන්දු වාර 49.3 කදී දැවී ගිය අතර හසන් සකීබ් කඩුලු‍ 3 ක් ද සකීබ් අල් හසන් සහ ශොරිෆුල් ඉස්ලාම් කඩුලු‍ 2 බැගින් දවා ගත්හ.

තරගයේ කාසියේ වාසිය දිනු බංග්ලාදේශ නායක ශකීබ් අල් හසන් පළමුව පන්දු යැවීමට තීරණය කළ අතර ශකීබ් ගත් තීරණය නිවැරැදි බවට ඔප්පු කරමින් කුසල් ජනිත් පෙරේරා තරගයේ 6 වැනි පන්දුවේදීම දැවී ගියේය.

ශොරිෆුල් ඉස්ලාම් විසින් එවන ලද එම පන්දුවට කුසල් එල්ල කළ පහර වැරදී උඩ පන්දුවක් ලෙස පළමු ස්ලිප් ක්‍රීඩකයාගෙනුත් ඈතට ඇදී යද්දී තම වම්පසට ඉගිලී ගොස් රැක ගැනීමට කඩුලු‍ රකින ක්‍රීඩක මුෂ්ෆිකාර් රහීම් සමත් වූයේය.

ලෝක කුසලාන තරගාවලියක ශ්‍රී ලංකා පිතිකරුවෙකු එල්ල කර ඇති වැඩිම 6 පහර සංඛ්‍යාවේ වාර්තාව (17) ඊයේ දිනයේ තම නම ඉදිරියේ ලියා ගෙන සිටි කුසල් තවත් 6 පහරකින් එම වාර්තාව ඉදිරියට රැගෙන යාමට දැරූ උත්සාහයක් 4 සීමාව ආසන්නයටම ගොස් රැක ගැමීමෙන් කුසල් මෙන්ඩිස් ගේ ඉනිම ද ලකුණු 19 කට නිමා වූයේය.

ඒ අනුව බංග්ලාදේශ නායකයා ඉදිරියේ ශ්‍රී ලංකා නායකයා ගේ ඉනිම නිමා වූ අතර තවත් අර්ධ ශතකයක් කරා පිය නගමින් සිටි ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක ගෙ ඉනිම ලකුණු 41 කට අවසන් විය.තම සුපුරුදු පිති හරඹයෙන් මිදී වේගවත් පිතිහරඹයක නිරත වූ පැතුම් එහිදී තම ලකුණු 41 සඳහා හතරේ පහර 8 ක් එල්ල කර තිබුණි.

යළි ලකුණු අතරට පැමිණෙමින් සුපුරුදු පහරවල් කරා යමින් සිටි සධීර සමරවික්‍රම ද ලකුණු 41 ක් ලබා ගත්තේය.

සධීර දැවී යාමෙන් අනතුරුව ඇන්ජලෝ මැතිව්ස් ද ”‍ටයිම්ට් අවුට්”‍ නීතිය යටතේ දැවී ගිය පිතිකරුවෙකු ලෙස සැලකීමෙන් ශ්‍රී ලංකාවේ 4 වෙනි සහ 5 වෙනි කඩුලු‍ දෙකම 24 වෙනි පන්දු වාරයේ දෙවෙනි පන්දුවේදී දැවී ගියා ලෙස සැලකිණි.

ලකුණු සාරාංශය

ශ්‍රී ලංකාව 279/10(49.3)

පැතුම් නිස්සංක 41,කුසල් පෙරේරා 04,කුසල් මෙන්ඩිස් 19 ,සදීර සමරවික්‍රම 41,චරිත් අසලංක 108, ඇන්ජලෝ මැතිව්ස් 00, ධනංජය ද සිල්වා 34, මහීෂ් තීක්ෂණ 22, කසුන් රාජිත 00ඉ, දුෂ්මන්ත චමීර 04, ඩිල්ෂාන් මධුෂංක නොදැවී 00

පන්දු යැවීම

ෂොරිෆුල් ඉස්ලාම් 9.3-52-2,ටස්කින් අහමඩ් 10-39-0,ටැන්සිම් හසන් සකීබ් 10-80-3,සකීබ් අල් හසන් 10-57-2 මෙහෙදි හසන් මිරාස් 10-49-1

බංග්ලාදේශය 282/7 (41.1)

සකීබ් අල්හසන් 82 ටැන්සිඩ් හසන් 09, ලිටන් දාස් 23, නජ්මුල් හොසේන් 90, මුෂ්ෆිකුර් රහීම් 10, මහමුදුල්ලා රියාද් 22, තව්හිත් රි‍ඩෝයි නොදැවී 15 , මෙහෙදි හසන් මිරාස් 03, ටැන්සිම් හසන් ශකීබ් නොදැවී 08

පන්දු යැවීම

ඩිල්ශාන් මධුසංඛ 10-69-3 ,දුෂ්මන්ත චමීර 8-54-0 මහීෂ් තීක්ෂණ 8.5-47-2 කසුන් රාජිත 4-47 ධනංජය ද සිල්වා 3-20-0 ඇන්ජලෝ මැතිව්ස් 7-35-2
කුෂාන් සුබසිංහ දිල්ලි හි අරුන් ජෙට්ලි ක්‍රීඩාංගණයේ සිට

advertistmentadvertistment
advertistmentadvertistment