දිළීර නාශක නැතිව එළවළු, පලතුරු, තේ වගාව අනතුරේ…

157

නිර්දේශිත ප‍්‍රමාණයෙන් ආරක්ෂිත ක‍්‍රම  අනුගමනය කරමින් භාවිත කරන්නට දිළීර නාශක  ගොවියාට ලබාදෙන්න පොහොර නැති වුණාම වගේ නෙවෙයි, දිළීර නාශක නැතිවුණාම වගාව සම්පූර්ණයෙන්ම විනාශ වෙනවා. දිලීර නාශක නැතිකමින් උඩරට එළවළු – පලතුරු – මල් වගාවට දැනටමත් දැවැන්ත විනාශයක් සිදුව තිබෙනවා. මහ කන්නයට පෙර ගොවියාට හිඟයකින් තොරව දිලීර නාශක ලබාදීමේ වැඩපිළිවෙළක් රජය විසින් ආරම්භ කළ යුතු යැයි මාතලේ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රිනී රෝහිණී කවිරත්න මහත්මිය පවසන්නීය.

පොහොර හා කෘෂි රසායනික තහනම ලංකාවේ කෘෂිකර්මයට දැවැන්ත විනාශයක් අත්කර දී තිබෙනවා. ආණ්ඩුව කෘෂිකර්ම විශේඥයින්ගේ දැනුමට නිගරු කරමින් දිළීර නාශකවලටත් තහනමක් පනවලා තියෙනවා. පොහොර නැතිවුණාම අස්වැන්න අඩුවෙනවා විතරයි. නමුත් දිළීර නාශක නැති වුණාම ඕනෑම වගාවක් දින දෙක තුනකින් සම්පූර්ණයෙන්ම විනාශ වෙලා යනවා. පසුගිය වැසි සමයේ තේ වගාවේ දිලීර හානිය නිසා කුඩා තේ වතු හිමියෝ අන්ත අසරණ වෙලා.

වැවිලි සමාගම්වලට තමන්ගේ වගාවට දිළීර නාශක තොග  තියෙනවා. දෛනිකව කඩෙන් බෙහෙත් පැකට් එකක්, බෙහෙත් බෝතලයක් අරගන්න ගොවියෝ තමයි ආණ්ඩුවේ අඳ බාල වැඩවලින් වැඩිම පීඩාවට පත් වෙලා තියෙන්නේ. උඩරට විතරක් නෙවෙයි රටේ පුරාම යල කන්නයට දිලීර නාශක ලැබෙන වැඩපිළිවෙළක් සකස් කළ යුතුයි.

රජයේ විකාර ආනයන තහනම නිසා දැන් මාතලේ විතරක් නෙවෙයි රටේ හැම තැනම දිලීර නාශක හිඟයි. ගොවිතැන් කරන ගොවි පවුලක කෙනෙක් විදිහට මම දන්නවා පැලෑටි සමයේ ඉඳන් අස්වැන්න නෙළන කාලය දක්වාම විවිධ අවස්ථාවන් හි ශාකවලට දිලීර බලපෑම එල්ලවෙන බව. දිළීර ආක‍්‍රමණයක් සිදු වූ පසුව වහා පිළියම් යෙදිය යුතුයි. දිලීර නාශක නිසි ප‍්‍රමිතියකින් භාවිත කිරීම මිනිසාට හානියක් නෙවෙයි.

ආණ්ඩුව ආර්ථික බංකොලොත් භාවය වහගන්න අඳබාල තර්ක ගේනවා. කිසිම විද්‍යාත්මක පදනමක් නැති තහනම් කිරීම් නිසා රටේ ආහාර හිඟයක් ඇති වෙනවා. විදේශ වෙළෙඳපොළ ඉලක්ක කරගෙන නිෂ්පාදනය කරන එළවළු, පලතුරු, මල් හා සලාද වර්ගවලට නිසි ප‍්‍රමිතියක් තියෙනවා. ලස්සනක් නැති බඩුවලට විදෙස් වෙළෙඳපොළක් නෑ. ආණ්ඩුවේ වැරදි ප‍්‍රතිපත්ති රටේ සාගතයක් ඇති කරනවා. රටට විදේශ විනිමය නැති කරනවා.” යැයි රෝහිණී කවිරත්න මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නීය.

මාතලේ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රිනී  රෝහිණී කවිරත්න

සංස්කරණය – ජගත් කණහැරආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment