දෙව් බඹුන් උදම් ඇනූ මනු ලොවට අසිරිය කැන්දූ මොහොත

290

සොත්තිය බමුණා පිදූ කුස තණ අට මිට රැගෙන මහා බෝසතාණන් වහන්සේ ඇසතු බෝ රුක්මුල ඒ අතුරා ආසනයක් පිළියෙළ කොට ඒ මත සංඝාටිය සිව් ගුණකොට නවා අතුරන ලදී. නැඟෙනහිර දිශාවට මුහණලා දැඩි අධිෂ්ඨානයකින් යුතුව බද්ධ පර්යංතයෙන් වාඩි වූයේය..

“මාගේ මේ ශරීරයෙහි ලේ මස් වියළී යතොත් වියැළේවා. සම් නහර ඇට ඉතිරි වෙතොත් ඉතිරිවේවා සාක්ෂාත් කළ යුතු අවබෝධයක් ඇද්ද, එය අවබෝධ නොකොට මම මේ ආසනයෙන් නොගැටිමියි චතුරංග සමන්නාගත වීර්යය අදිටනින් වැඩ සිටියේය.

එවිට දස දහසක් ලෝක ධාතූන්හි අපමණ දෙවියන් බඹුන් අහස් තලය සිසිරා ප්‍රීති ඝෝෂා කරන්නට විය. සක් දෙවිඳුන් විජයතුරා නම් සංඛ්‍ය පිඹින්නට විය. පඤචසිඛ දෙව් පුතුන් බේලුව පණ්ඩු වීනාව ගෙන ස්තූති ප්‍රසංසා ගී ගැයුවේය. සූ ලක්ෂකයක් නාගයින් පිරිවරා ගත් මහා කාල නාරජු ආසිරි ගී ගයන්නට විය. සකල ලෝකයම කිසියම් අද්භූත චමත්කාරයකින් ඇළලී යද්දී විමුක්ති මාර්ගයට අකුල් හෙළන වසවර්ති මරුතෙමේ දස බිම්බරක් මාර සේනාව සමඟ බුද්ධගයා බෝ මැඬ දෙසට ඇදෙන්නට වූහ. දෙව් පිරිස හිස් ලූ ලූ අත පලා ගියේය. යුගාන්තයෙහි හෙණ හඬ පරිද්දෙන් බිහිසුණු හෙණ හඬින් පළාතම කැළඹී ගියේය. මාරයා විසින් නානා විධ දරණු වර්ෂාවන් වස්සවන ලද්දේය. ගිරි මේඛලා ඇතුපිට නැගගත් වසවත් මාරතෙමේ සක්වල ගර්භය ඒක කෝළාහල කරවමින් අප මහා බෝසතාණන් වහන්සේව සිටි තැනින් බැහැර කරවන්නට වෙහෙස ගත්තේය.

“එම්බා සිද්ධාර්ථයනි, වහා ඔය අසුනෙන් නැගිට යව. ඔය අසුනේ හිමිකරුවා තොප නොවේ මම වෙමයි ගුගුළේය.”

මාරයා ඔබට ඒ සඳහා ඇති සාක්ෂි මොනවාද?” එසනින් ඒ සඳහා අපි සාක්ෂි දෙමුයි කියමින් දස බිම්බරක් මහා සෙනඟ ඒක නින්නාද කළහ.

“එම්බා සිද්ධාර්ථයෙනි, තොප ඔය අසුනෙහි ස්ථිර අයුරින් සිටීමට ඇති බලය කුමක්ද? ඒ සඳහා ඇති සාක්ෂි මොනවාද?

එකල්හි මහා බෝසතාණන් වහන්සේ දකුණත සිවුරෙන් මෑත්කොට ඇඟිලි තුඩු මගින් මහා පෘථුවිය ස්පර්ශකොට පොළොව මහී කාන්තාව අරභයා මෙසේ කීවේය. “ හේ ධාරනි මාතාවෙනි, කියව මා විසින් කෙළවරක් නැති සසර පුරා අසංඛ්‍ය කල්ප ගණනන් මුළුල්ලේ උතුම් සම්බෝධිය පතා දිවි පරදුවට තබා පෙරුම්දම් පිරූය. එකල තී ප්‍රීතියෙන් ඔද වැඩී කම්පිතව ගියාය. පවසන්න ධරනි මාතාවෙනි, මා සිටින මේ වජ්‍රාසනයෙහි හිමිකරුවා මම නොවෙම්ද?

අසිරියෙකි, ධරනි මාතාව සැළෙන්නට පටන් ගත්තාය. ගිඟුම් දෙන්නට පටන් ගත්තාය. හඬ නඟමින් සයුරු රළසේ කැළඹෙන්නට පටන් ගත්තාය. ගිරිමේඛලා ඇතුපිට සිටි වසවත් මාරයා බිම ඇද වැටුණේය. බිම්බරක් මාර සේනාව හිස්ලූ ලූ අත පළා ගියෝය. දෙව් බඹ පිරිස් අහසේ මුළු දුන්හ. දෙව් බඹ සමූහයා ප්‍රීති ඝෝෂා පැවැත්වූහ.

මෙසේ හිරු බැස යන්නට පෙරම මාර බලය මැඬලූ මහා බෝසතාණන් වහන්සේ ආනාපානසති භාවනාව ප්‍රගුණ කරමින් පිළිවෙළින් ප්‍රථම ධ්‍යානය, ද්විතීය ධ්‍යානය, තෘතීය ධ්‍යානය චතුර්ථ ධ්‍යානය දක්වා සිත වැඩූහ. මෙලෙසින් මනා ලෙස වැඩුණු කර්මණ්‍ය වූ අකම්පිත වූ සිත පෙර විසූ තද පිළිවෙළ දැකීමට යොමු කරන ලද්දේය. එහිදී ගෙවී ගිය සසරේ අතීත උප්පත්තිය මෙනෙහි කරමින් ක්‍රමයෙන් කල්ප ගණන් ආපස්සට බලන්නට සමත්වූහ. සංවට්ට කල්ප, විවට්ට කල්ප, දහ දහස් ගණනින්, ලක්ෂ ගණනින් බලන්නට සමත් වූහ. ඉතා පැහැදිලි ලෙස දකින්නට සමත්වූහ. ගෙවී ගිය සසරේ අතීතය අරභයා ඇති අවිද්‍යාව දුරුව ගියේය. විද්‍යාව පහළ විය. ආලෝකය උපන්නේය. එය වනාහි අප භාග්‍යවතුන් වහන්සේ ලද ප්‍රථම විද්‍යාවයි.

මෙසේ පෙරයම ගෙවී ගියේය. මධ්‍යම යාමයේදී සත්වයන් චුත වන අයුරුත්, උපදින අයුරුත්, දකිණු පිණිස සිත යොමු කරන ලදී. එවිට තම තමන් විසින් කරනු ලබන කර්මයන්ට අනුරූපව හීන වූත්, ප්‍රනීත වූත්ථ ස්වර්ණවූත්, දුර්වර්ණවූත්, සුගති වූත්, දුගති වූත් භවයන්හි උපත ලබා ඇති අයුරු පෙනී ගියේය. මෙසේ සත්ත්වයන්ගේ චුති හා උපත ගැන ඇති අවිද්‍යාව දුරුවී ගියේය. විද්‍යාව පහළ විය. ආලෝකය පහළ විය. මෙය භාග්‍යවතුන් වහන්සේ ලබන ලද දෙවන විද්‍යාවයි.

රෑ මැදියම ගෙවී ගියේය. පැසළුයම පැමිණියේය. උන්වහන්සේ හේතුඵල දහම විමසන්නට පටන් ගත්තේය. එසේ විමසද්දී හේතූන් නිසා හට ගන්නා යමක් ඇද්ද, එම හේතු නිරුද්ධවීමෙන් එය නිරුද්ධවන ස්වභාවයෙන් යුතු බව පසක් විය. එකල්හි දුඛ්‍ය ආර්ය සත්‍යයත්, දුක්ඛ සමුධය ආර්ය සත්‍යයත් දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යයත් දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා ආර්ය සත්‍යයත්, සත්‍ය ඥාන වශයෙන්ද, තෘත්‍ය ඥාන වශයෙන්ද, තෘත ඥාණ වශයෙන්ද, පරිවර්ක තුනකින් යුතුව ආකාර දොළසකින් යුතුව අවබෝධවී ගියේය. කාම තණ්හාව, භව තණහාව, විභව තණ්හාව යළි නූපදින පරිද්දෙන් ප්‍රහානය විය. පටිච්ච සමුප්පාදය නිරුද්ධ විය. කාමාසව, භවාසව, අවිජ්ඡාසව, සදහටම නිරුද්ධ විය. සෝවාන්,
සකෘදාගාමී, අනාගාමී, අරහත් යන මාර්ගඵල පිළිවෙළින් පසක් විය. හේතු පත්‍යයන්ගෙන් හට නොගත් අසංඛත වූ අමා නිවනෙහි සිත බැස ගත්තේය. සකලවිධ අවිද්‍යාව පහව ගියේය. විද්‍යාව පහළ විය. ආලෝකය පහළ විය. අප භාග්‍යවතුන් වහන්සේ ගුරූපදේශ රහිතව ශ්‍රී සම්බුද්ධත්වය සාක්ෂාත් කරමින් අරහත් ඵල විමුක්තියෙන් යුතුව අමා නිවන් සුවයට සමවැදුණු සේක.

මෙසේ අපගේ යුගයෙහිදී ශ්‍රී සම්බුද්ධත්වයට පත්වූ ඒ භාග්‍යවත් අරහත් ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ අනුත්තර යෝගක්ඛේම වූ උතුම් වූ උතුම් නිවන සාක්ෂාත් කරමින් සත් දිනක් මුළුල්ලේ ජය ශ්‍රී මහා බෝ සෙවණෙහි වැඩහුන් සේක. මෙය සිදුවූයේ මින් වසර දෙදහස් හයසියයකට පෙර වෙසක් පුර පුන් පොහෝ දිනකදීය.

දඩල්ල, වාලුකාරාම වෙහෙරවැසි,
ශාස්ත්‍රපති,
රත්ගම සුනීත හිමි

සංස්කරණය – නිශාන්ත අමරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment