දේශපාලන අස්ථාවරත්වය සමනය කර ආර්ථික අර්බුදය  ජය ගැනීමට ප්‍රමුඛත්වය දෙමු

2423

දේශපාලන අර්බුදය

 ආර්ථික සහ විනිමය අර්බුදය දේශපාලන අර්බුදයක් දක්වා වර්ධනය වී, මේ මොහොතේ රටේ පවතින්නේ බරපතල දේශපාලන අස්ථාවර තත්ත්වයකි. ආණ්ඩුවට මේ වන විට බහුතරය අහිමි වී ඇති බව ද කියති. මේ අතර ගෝල්ෆේස්හි අඛණ්ඩව පැවැත්වෙන ‘ගෝඨා ගෝ හෝම්’ විරෝධතාව ද තවදුරටත් සිදු වෙමින් තිබේ. එසේම රට පුරා නොයෙකුත් විරෝධතා සහ උද්ඝෝෂණ ද සිදුවෙමින් තිබේ. මේවා ජාත්‍යන්තර මාධ්‍ය හරහා ලෝකයටම ප්‍රචාරය වෙමින් ද තිබේ. මේ විරෝධතා පිටුපස නොයෙකුත් දේශපාලන පසුබිම් තිබිය හැකිය. එහෙත් මේ වන විට ජනයා මුහුණ දී සිටින ආර්ථික ප්‍රශ්න හමුවේ පක්ෂ භේදයෙන් තොරව ආණ්ඩුවට එරෙහිව විශාල මහජන විරෝධයක් ඇතිව තිබෙන බව නොරහසකි. රට මුහුණ දී සිටි විනිමය අර්බුදය කොරෝනා වසංගතය හමුවේ උග්‍ර වූ බව ඇත්තය. එහෙත් මේ රජය මුල සිටම නිසි ලෙස මේ අර්බුදය කළමනාකරණය කර ගැනීමට අසමත් වූවා පමණක් නොව මේ ප්‍රශ්නය ගත්තේ ඉතා සැහැල්ලුවෙනි. ඇත්ත වශයෙන්ම කලෙක සිටම අප මුහුණ දී සිටියේ ආර්ථිකමය වශයෙන් හදිසි ආපදා තත්ත්වයකය. බොහෝ ආර්ථික විද්වතුන් මේ තත්ත්වය දුර තියා දැක නොයෙකුත් යෝජනා ඉදිරිපත් කරමින් අදහස් පළ කළත් ඒවා ගැන හෝ ජනයා මුහුණ දෙන දුෂ්කර තත්ත්වය ගැන හෝ සංවේදීව රජය කටයුතු කළේ නැත. මේ ආණ්ඩුව පත් වූ වහාම විශාල බදු කපා හැරීම් ඇතුළු ඇතැම් වැරදි තීරණ ගත් අතරම නිසි වෙලාවේ නිසි තීන්දු තීරණ නොගැනීම ද විසින් පැවැති විනිමය අර්බුදය අද පවතින මට්ටම දක්වා වර්ධනය කරගත්තේය. මේ වන විට විදේශ ණය ගෙවීමට නොහැකිව රට බංකොලොත් වී ඇත. කිසි දිනෙක අපේ රට මෙවැනි තත්ත්වයකට ඇද වැටී නැත. මෙයට දේශපාලනඥයන් මෙන්ම ආර්ථික බලධාරීන් ද වගකිව යුතුය. එනම් මේ තත්ත්වයට රජය සහ මහ බැංකුව යන දෙපාර්ශ්වයම අඩුවැඩි වශයෙන් වගකිව යුතුය. මේ ගැන අනිත් අයට හෝ

 පසුගිය රජයට ඇඟිල්ල දික්කර වැඩක් නැත. එහි විපාක අද රටවැසියාට පමණක් නොව මේ ජනාධිපතිවරයා ඇතුළු රජයටම විඳීමට සිදුව තිබේ. මේ වන විට රජයට එරෙහිව රට පුරා විරෝධතා රැල්ලක් මතුව ඇත්තේ මේ නිසාය.

 දේශපාලන අස්ථාවරත්වය

 වර්ධනය වූ ඩොලර් ප්‍රශ්නය මේ සියලු ප්‍රශ්නවලට මුල වුවත් අද ආර්ථික අර්බුදය විශාල දේශපාලන අර්බුදයක් දක්වා වර්ධනය වී ඇති නිසා මේ ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීම ද පහසු නැත. එසේම මහජනයා මුහුණ දෙන ආර්ථික පීඩනය හමුවේ විශාල සමාජ අස්ථාවරත්වයක් ද නිර්මාණය වී ඇත. එය සමනය කර ගැනීමට නම් මේ පවතින පෝලිම්, විදුලි කැපිල්ල සහ වේගයෙන් බඩු මිල ඉහළ යන තත්ත්වය පාලනය කරගත යුතු වේ. එසේ මහජනයා මුහුණ දෙන ආර්ථික පීඩා සමනය කරගත හැකි නම් එය දේශපාලන අස්ථාවරත්වය සමනය කර ගැනීමට ද සහයක් වනු ඇත. මේ රට මුහුණ දී සිටින දුෂ්කර මොහොතේ ආණ්ඩුවේ මෙන්ම විපක්ෂයේ දේශපාලන පක්ෂවල හැසිරීම කනගාටුදායකය. ඒ හැසිරීම් අනුව අපට පෙනෙන්නේ ඔවුන් බොර දියේ මාළු බාමින් දේශපාලන වාසි ලබා ගනිමින් සිටින බවයි. මහ බැංකු අධිපතිවරයා ලෙස ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පත් වූ පසුව ඔහු කීවේ ආර්ථික අර්බුදය විසඳා ගැනීම සඳහා දේශපාලන සහ සමාජ ස්ථාවරත්වය අවශ්‍ය වන බවයි. මේ අප මුහුණ දෙමින් සිටින්නේ ඉතිහාසයේ බලවත්ම ආර්ථික අර්බුදයටය. මේ නිසා අනිවාර්යයෙන්ම දැන් පවතින ආර්ථික අර්බුදය විසඳා ගැනීමට නම් දේශපාලන අස්ථාවරත්වය ද සමනය කරගැනීමට සිදුවනු ඇත. ඒ සඳහා මහජනයා වෙනුවෙන් ආණ්ඩුවේ මෙන්ම විපක්ෂයේ දේශපාලන පක්ෂවල කැපවීම අවශ්‍ය වේ. පොදු මහජනයාට ද කිසියම් ඉවසීමකින් කටයුතු කිරීමට සිදුවනු ඇත. එසේ නැතහොත් වනුයේ අප මුහුණ දී සිටින ආර්ථික අගාධයේ තවත් පතුළට ගමන් කිරීමට සිදු වීමයි. මහජනයා තවත් පීඩාවට පත් වීමයි. ඒ තත්ත්වය වළක්වාගෙන මේ ආර්ථික ප්‍රශ්න සමනය කර ගැනීමට අප සියලු දෙනාම ප්‍රමුඛත්වය දිය යුතු වේ. ඉන් පසු ඕන දේශපාලනයක් කරගෙන බහුතර ජනමතය අනුව ආණ්ඩුව වෙනස් කරගත්තාට ප්‍රශ්නයක් නැත. ඒ නිසා මේ මොහොත දේශපාලනය කරන මොහොතක් නොව අප සියලු දෙනාම එකතු වී මේ ආර්ථික අර්බුදයෙන් රටත් ජනයාත් මුදා ගත යුතු මොහොතක් බව අප සියලු දෙනාටම සිහිපත් කරමු. එනම් මෙය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන හෝ මැතිවරණ පැවැත්විය හැකි මොහොතක් නොවේ. ඉන් සිදුවනුයේ ආර්ථික අර්බුදය විසඳා ගැනීම තවත් ව්‍යාකූල තත්ත්වයට පත් වීමයි. ඉදිරි මැතිවරණය තෙක් හෝ යම් නිශ්චිත කාලයකට මහ නාහිමිවරුන් ද යෝජනා කර ඇති පරිදි තාවකාලික අන්තර්වාර පාලනයක් පිහිටුවාගෙන හෝ වෙනත් ආකාරයකට යම් දේශපාලන ස්ථාවරත්වයක් ඇතිකරගෙන මේ ආර්ථික අර්බුදය සමනය කර ගැනීමට සියලු පාර්ශ්වයන් ප්‍රමුඛත්වය දිය යුතුව තිබේ. එසේ කරගතහොත් අපට ආර්ථික අර්බුදයේ තවත් පතුළට ගමන් කිරීමෙන් වැළකිය හැකි වනු ඇත.

 මූල්‍ය අරමුදලේ සාකච්ඡාවල ප්‍රගතිය

 මුදල් ඇමැති අලි සබ්රි, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සහ මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් යුත් නියෝජිත පිරිස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාකච්ඡා නිමා කර දැන් රටට පැමිණ සිටී. මේ සාකච්ඡාවල ප්‍රගතිය කවරේද? දැන් රටේ ජනයාට මේ ගැන පැහැදිලි කළ යුතුව තිබේ. මේ සම්බන්ධයෙන් එම නියෝජිත පිරිසේ සහභාගිත්වයෙන් ප්‍රමාද නොවී වහාම මාධ්‍ය හමුවක් පැවැත්වීම සුදුසුය. එය මහජනයාට මේ මූල්‍ය අර්බුදය විසඳා ගැනීමේ ඉදිරි සැලසුම් ගැන දැනුවත් කිරීමට මෙන්ම මහජනයා තුළ පවතින නොසන්සුන්තාවන් සමනය කර ගැනීමට හේතු වන්නකි. එනම් සමාජ අස්ථාවරත්වය සමනය කර ගැනීමටද හේතු වන්නකි. හැමෝම අපගෙන් පවා අසන්නේ රටට මොකද වෙන්නේ කියාය. ඩොලරය සහ රුපියල අතර අගය ස්ථාවර වෙන්නේ කවදා ද? මේ පෝලිම් සහ විදුලිය කැපිල්ල තව කොපමණ කාලයක් තියෙයි ද? මේ ආදී දහසකුත් එකක් ප්‍රශ්න, අසීමිතව පීඩාවට පත්ව සිටින පොදු ජනයාට ඇත. මේ දිනවල දේශපාලනඥයන් කරන කියන දේ ගැන මහජනයාට එතරම් විශ්වාසයක් නැත. මේ නිසා රටේ ආර්ථිකයේ හෙට දවස ගැන වඩා නිවැරදි චිත්‍රයක් විශ්වාසදායී ලෙස ඇති කළ හැකි වන්නේ මේ මොහොතේ මහ බැංකු අධිපතිවරයාට සහ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට ය. ඒ නිසා අයිඑම්එෆ් සාකච්ඡාවල ප්‍රගතිය සහ එමගින් මූල්‍ය පහසුකමක් ලබා ගැනීමට කොපමණ කලක් ගතවනු ඇති ද යන්න ගැන මහජනයාට අදහසක් ඇතිකරගත හැකිවනු ඇත. එසේම එතෙක් අපට අත්‍යවශ්‍ය ආනයන කර ගැනීමට අවශ්‍ය මුදල් සොයා ගන්නේ කෙසේ ද යන්න ගැනත් මහජනයාට පැහැදිලි කර දීමෙන් ඔවුන් තුළ ඉදිරිය ගැන පැහැදිලි විශ්වාසයක් ඇති කළ හැකිවනු ඇත. මේ නිසා මේ මොහොතේ රටේ ආර්ථික බලධාරීන් විසින් සතියකට වතාවක් හෝ ආර්ථික අර්බුදය සමනය කර ගැනීමේ ක්‍රියාමාර්ග සහ ඒවායේ ප්‍රගතිය ගැන මාධ්‍ය හරහා ජනයා දැනුවත් කිරීමට පියවර ගැනීම සුදුසු බව මේ ලියුම්කරු විසින් යෝජනා කිරීමට කැමතිය. මේ ගැන ආර්ථික බලධාරීන්ට මෙන්ම රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මොහාන් සමරනායක මහතාට ද සිහිපත් කරමි. මේ සන්නිවේදන කාර්ය හරිහැටි ඉටු නොවෙන නිසා මහජනයා තුළ ඉදිරිය ගැන ඇත්තේ විශාල අවිනිශ්චිත හැඟීමකි. කෙසේ හෝ මුදල් ඇමැති අලි සබ්රි මහතා වොෂින්ටන් නුවර සිටියදීම පසුගිය සිකුරාදා (22) සූම් තාක්ෂණය ඔස්සේ ශ්‍රී ලාංකික මාධ්‍යවේදීන් සමග සාකච්ඡාවක් කළේය.

 ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිල ප්‍රකාශය

 ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී මසහිරෝ නොසාකි මහතා විසින් පසුගිය සෙනසුරාදා (23) නිල ප්‍රකාශයක් කර තිබුණි. එයට අනුව අපේ නියෝජිත පිරිස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝජිවා සහ එහි අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමග සාකච්ඡා කර තිබේ. එහිදී ප්‍රධාන වශයෙන් සාකච්ඡා කර ඇත්තේ ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික අභියෝග ජය ගැනීම සඳහා වන ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග ගැනය. මේ අනුව අයිඑම්එෆ් නියෝජිතයින් සහ ශ්‍රී ලංකා නියෝජිතයින් අතර 2022.04.18 දින සිට 2022.04.22 දින අතර කාලයේ සාකච්ඡා පැවති අතර එහිදී අයිඑම්එෆ් සහාය ලබන වැඩසටහනක් සඳහා වන ශ්‍රී ලංකාවේ ඉල්ලීම ගැන මූලික තාක්ෂණික සාකච්ඡා ආරම්භ වී ඇත. මේ සාකච්ඡාවලදී ශ්‍රී ලංකාවේ මෑතකාලීන ආර්ථික හා මූල්‍ය ප්‍රවණතා, සාර්ව ආර්ථික ස්ථායිතාව යළි ඇති කිරීම සඳහා විශ්වසනීය සහ පැහැදිලි උපායමාර්ගයක් ක්‍රියාත්මක කිරීමට ඇති අවශ්‍යතාව සහ දිළිඳු සහ දිළිඳුකමින් අගතියට පත් විය හැකි ජනකොටස්වලට, පවතින ආර්ථික අර්බුද හේතුකොටගෙන සිදුවිය හැකි අහිතකර බලපෑම් අවම කිරීම සඳහා ශක්තිමත් සමාජ ආරක්ෂණ ජාලයක ඇති වැදගත්මක ගැන මූලික අවධානය යොමුව තිබේ. එසේම ණය හිමියන් සමග සහයෝගිතාවයෙන් යුතු සංවාදයක නියැලීමට බලධාරීන්ගේ ඇති සැලසුම් මූල්‍ය අරමුදලේ කණ්ඩායම පිළිගෙන ඇත. එහි අවසානයේ මෙසේ ද සඳහන් විය.

 ‘බලධාරීන් සමග සහ ඔවුන්ගේ ආර්ථික වැඩසටහන් සමග සමීපව කටයුතු කරමින් අර්බුදවලට කාලීන විසඳුම් සෙවීමට උත්සාහ දරන ප්‍රයත්නයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම උපකාර කිරීමට බලාපොරොත්තු වේ.’

 මේ අනුව මූලික තාක්ෂණික සාකච්ඡා සාර්ථක බව කිව හැකිය. කෙසේ හෝ අපට අරමුදල් පහසුකමක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබා ගැනීමට නම් තරමක් කාලයක් ගත වනු ඇත. දැනට අපේ විදේශ ණය තිරසාර නැති බව මූල්‍ය අරමුදල විසින් නිගමනය කර තිබීම ඊට හේතුවයි. ඒ අනුව අපට වහාම මුලින්ම අපගේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කර ගැනීමට සිදුවනු ඇත. එසේ කරමින් අපගේ විදේශ ණය තිරසාර කරගන්නා  මාර්ගයකට සාර්ථකව අවතීර්ණ කරගෙන අපට මූල්‍ය අරමුදලේ ණය පහසුකම් ලබා ගැනීමට හැකිවනු ඇත. එය බොහෝ විට ඇමෙරිකානු ඩොලර් බිලියන තුනක් හෝ ඊට වඩා වැඩි අගයක් විය හැකිය. එහෙත් ප්‍රශ්නය තිබෙන්නේ අප ඒ කාලය ගත කරන්නේ කෙසේ ද යන්නයි. ඒ කාලයේ අපට අත්‍යවශ්‍ය ආනයන කරගැනීමට අවශ්‍ය විදේශ මුදල් සොයා ගන්නේ කෙසේ ද යන්නයි. මුදල් ඇමැතිවරයා සූම් තාක්ෂණයෙන් වොෂින්ටන් සිට පැවැත්වූ මාධ්‍ය හමුවේ දී මේ ලියුම්කරු විසින් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අලි සබ්රි ඇමැතිවරයා කියා සිටියේ අමෙරිකානු ඩොලර් බිලියන 3 ත් 4 ත් අතර මුදලක් මේ සඳහා සොයා ගැනීමට සිදුවනු ඇති බවයි. ඒ ගැන මිත්‍ර රටවල් සමග මෙන්ම ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව ඇතුළු බහුපාර්ශ්වීය ආයතන සමග ද සාකච්ඡා කරන බව ඔහු සඳහන් කළේය. අප ඇත්තවශයෙන්ම මූල්‍ය අරමුදලට ගියේ බොහෝ ප්‍රමාද වී විදේශ ණය ගෙවාගත නොහැකිව අප විසින්ම බංකොලොත්භාවය ප්‍රකාශ කිරීමෙන් ද පසුවය. එනම් ප්‍රශ්නය ඉතාම නරක අතට පත් වූ පසුවය. මේ නිසා මීට බොහෝ පෙර අප අයිඑම්එෆ් එකට ගියා නම් මේ වන විට මේ විනිමය අර්බුදය සෑහෙන දුරකට අපට සමනය කර ගැනීමට ද ඉඩ තිබුණි. කෙසේ හෝ අප කළේ අසාර්ථක අපේම සැලසුමක් ගැන විශ්වාසය තබමින් සහ වැරදි ප්‍රතිපත්ති අනුගමනය කරමින් අපගේ නාහෙ උඩින් වතුර යනතෙක්ම ප්‍රශ්නය වර්ධනය කර ගැනීමයි.

 රාජ්‍ය වියදම් දැඩි පාලනයකට

 රාජ්‍ය වියදම් ඉතාම අත්‍යවශ්‍ය සේවාවන් සඳහා පමණක් යොදා ගැනීමට හැකිවන පරිදි දැඩිව පාලනය කිරීමට සිදුව ඇති බැවින්, වියදම් දැරීමේ දී සහ දේශීය අරමුදල් භාවිතයෙන් සිදුකරන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දී වියදම් පාලන ක්‍රමවේදයන් අනුගමනය කළ යුතු ආකාරය දක්වමින් මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා විසින් පෙරේදා (26) චක්‍රලේඛයක් නිකුත් කළේය. එම චක්‍රලේඛය ප්‍රකාරව සිදු කරන වියදම් සීමා හා පාලනයන් ගැන මහා භාණ්ඩාගාර ලේකම්වරයා විසින් සියලු අමාත්‍යාංශ ලේකම්වරුන් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් ඇතුළු සෙසු රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට දැනුම් දී තිබේ. මේවා මීට පෙර සිටම කිරීමට තිබුණු දේවල්ය. මේ නිසා ඉදිරි කාලයේ දී පවතින ආර්ථික අර්බුදය සමනය කර ගැනීමට නිවැරදි ආර්ථිකමය තීන්දු තීරණ ගන්නා බවට කිසියම් විශ්වාසයක් ඇතිකරගත හැකි වුවත් දේශපාලන සහ සමාජ අස්ථාවරත්වය සමනය කර ගැනීම ද ඒ සඳහා තීරණාත්මක ලෙස බලපානු ඇත. එම දේශපාලන සහ සමාජ අස්ථාවරත්වයන් ඉක්මනින් සමනය කර ගැනීමට අප අසමත් වුවහොත්, මේ රටේ ජනයාට ගත කිරීමට සිදුවන දුෂ්කර කාලපරිච්ඡේදය තවත් දීර්ඝ එකක් වනු ඇත.

 ශ්‍යාම් නුවන් ගනේවත්ත
shyam.divaina@gmail.com

advertistmentadvertistment
advertistmentadvertistment