නවගත්තේගම බී ලූනු ගොවියෝ හූල්ලති…. අස්වැන්න හොඳයි ඒත්… මිලක් නෑ!

309

නවගත්තේගම, ඉඟිනිමිටිය යෝජනා ක‍්‍රමය යටතේ මෙවර බී ලූනු වගා කළ ගොවීන්ට සැලකිය යුතු අස්වැන්නක් ලැබුණද නියමිත මිලක් නොමැතිවීම නිසා අස්වැන්න අලෙවි කර ගැනීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇති බව ගොවීහු පවසති.

එම ගොවීන් ප‍්‍රථම වතාවට මෙවර බීලූනු වගා කිරීමට කටයුතු කර තිබිණි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් හඳුන්වාදුන් අස්වැන්න වැඩි නව බී ලූනු ප‍්‍රබේදයක් වගා කළ බව ගොවීහු පැවසූහ. ඉඟිනිමිටිය යෝජනා ක‍්‍රමය යටතේ කෝන්කඩවල සහ පැරකුම්පුර යන ගම්මානවල ගොවීන් මෙලෙස ලූනු වගාවට යොමු වී තිබිණි.

නවගත්තේගම  බී ලූනු ගොවියෝ  හූල්ලති.... අස්වැන්න හොඳයි ඒත්... මිලක් නෑ!

ඇතැම් ගොවීන් මෙවර වී වගා නොකර ඔවුන්ගේ කුඹුරුවල බී ලූනු වගා කිරීමටද යොමුවී තිබිණි. කිලෝග‍්‍රෑම් එකකට රුපියල් සීයයක වැනි මිලකට ගැනුම්කරුවන් ඉල්ලූම් කළ ද එවැනි මුදලකට ලබා දීමෙන් වගාවට යෙදවූ මුදල පියවා ගැනීමට නොහැකි බව ඔවුහු පැවසූහ. තම අස්වැන්න අලෙවි කර ගැනීමට නොහැකි තත්ත්වයක මේ සම්බන්ධව රජයේ අවධානය යොමු කර ඊට කඩිනම් විසඳුමක් ලබාදෙන මෙන් ගොවීහු ඉල්ලා සිටිති.

ඩබ්ලිව්. එම්. බණ්ඩාර මහතා:

අපි නොහිතපු විදියට අස්වැන්න ලැබුණා. නමුත් විකුණා ගැනීම තමයි ප‍්‍රශ්නෙ. අද වෙළෙදුන් ඇවිල්ලා අඩු ගානට ඉල්ලනවා. ඉතින් ගිය වියදම බැලූවම අපිට ඒ ගණන්වලට දෙන්න බෑ.

කාලිංග විජේසූරිය මහතා :

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් පොහොර දිලීර නාශක සියලූ උපදෙස් අපිට නොමිලේ ලබා දුන්නා. අපි ඒ ගැන ස්තුතිවන්ත වෙනවා. රජය මැදිහත් වෙලා අපිට සාධාරණ මිලකට විකුණ ගන්න අවස්ථාව සලසන්න කියලා තමයි ඉල්ලන්නෙ.

අමරනන්ද විජේසේකර – මහවැව

advertistmentadvertistment
advertistmentadvertistment