නැව පාලමේ ගැටී 6 දෙනෙක් මියගිහින්

379

නැව හැප්පෙයි කියලා නැවියෝ කලින් කියලා

පෙරේදා (26දා) කන්ටේනර් නෞකාවක් ඇමරිකා එක්සත් ජනපදයේ බෝල්ටිමෝර් නගරයේ තිබෙන පාලමක ගැටීමෙන් සිදු වූ අනතුරෙන් පුද්ගලයන් හයදෙනකු පමණ මිය යන්නට ඇතැයි විශ්වාස කෙරෙන බව බෝල්ටිමෝර් නගරයේ වෙරළාරක්ෂක භටයන් විසින් විදෙස් මාධ්‍යවලට පවසා තිබේ.

මෙසේ මිය ගිය බවට විශ්වාස කෙරෙන හයදෙනාම අනතුරෙන් පසු අතුරුදන්ව සිටින බව වාර්තා වී තිබේ. අතුරුදන්ව සිටින හය දෙනා සොයා බලධාරීන් විසින් බෝට්ටු හා හෙලිකොප්ටර් යානා යොදා ගෙන දැවැන්ත සෝදිසි මෙහෙයුමක් දියත් කර තිබේ.

නැව ෆ්‍රැන්සිස් ස්කොට් කී පාලමේ ගැටීමත් සමගම පාලමත් සමග පටාප්ස්කෝ ගඟට වැටුණු දෙදෙනකු ඊයේ උදෑසන වන විට සෝදිසි මෙහෙයුමේ යෙදී සිටින කණ්ඩායම් විසින් බේරා ගෙන තිබූ අතර ඉන් එක් අයකුගේ තත්ත්වය බරපතල බව වාර්තා වී තිබේ. පෙරේදා ඇමරිකානු වේලාවෙන් අලුයම 12.45 ට පමණ ඇමරිකා එක්සත් ජනපදයේ මේරිලන්ඩ් ප්‍රාන්තයට අයත් බෝල්ටිමෝර් නගරයේ පිහිටි බී්‍රස් වරායේ සිට කොළඹ වරාය දක්වා ගමන් ඇරඹූ සිංගප්පූරුවේ ලියාපදිංචි ‘ඩායි’ නමැති කන්ටේනර් නෞකාව ෆ්‍රැන්සිස් ස්කොට් කී පාලමේ ගැටීම හේතුවෙන් පාලම ගඟට කඩා වැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.

මේරිලන්ඩ් ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයා වන වෙස් මුවර් පවසා ඇත්තේ කන්ටේනර් නෞකාව පාලමේ ගැටීමට මොහොතකට පෙර එහි විදුලිය සැපයීමේ ගැටලුවක් හටගෙන ඇති බවත් ඒ පිළිබඳව නෞකාව වගකිවයුතු අංශ වෙත දැනුම් දී ඇති බවත් ය. එමෙන්ම නෞකාවේ සිටි නැවියන් පවතින විදුලි ගැටලුව නිසා කොයි මොහොතේ හෝ නැව පාලමේ ගැටිය හැකි බවට බෝල්ටිමෝර් ප්‍රවාහන බලධාරීන් දැනුවත් කර ඇති බවද ඔහු සඳහන් කර තිබේ. කෙසේ වුවද එම දැනුම් දීමෙන් මොහොතකට පසු නෞකාව පාලමේ ගැටී ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස, ගඟට කඩා වැටී ඇති පාලම සමග, එහි සිටි පුද්ගලයන් හා ගමන් කරමින් තිබූ වාහන

රැසක්ම ගඟට වැටී ඇති බව ආණ්ඩුකාරවරයා පවසා තිබේ. අනතුර සිදු වූ විගස බලධාරීන් නිවේදනය කර තිබුණේ කඩා වැටුණු පාලමේ සිටි ඉදි කිරීම් සේවකයන් ඇතුළු 20 දෙනකු අතුරුදන් වී ඇති බවකි.

පාලම කඩා වැටුණු පටාප්ස්කෝ ගංගාවේ බෝට්ටු හා හෙලිකොප්ටර් යානා යොදා ගෙන බලධාරීන් විසින් අනතුරෙන් විපතට පත් වූවන් සොයා, දැවැන්ත සෝදිසි මෙහෙයුමක් දියත් කර තිබේ. ඇමරිකානු වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ රියර් අද්මිරාල් ශැනොන් ගිල් රීත් පවසා ඇත්තේ පාලම සමග ගඟට වැටුණු පුද්ගලයන් හයදෙනා මිය ගිය බවට විශ්වාස කෙරෙනුයේ අනතුර සිදු වූ අවස්ථාවේ

ගඟෙහි ජලයේ පැවති අධික ශීතල උෂ්ණත්වය පදනම් කරගෙන බවත් අතුරුදන් වූ පිරිස පාලමේ සිදුරු වසමින් සිටි ඉදි කිරීම් සේවකයන් බවයි. සැතපුම් 1.6 ක් (කිලෝ මීටර් 2.6ක්) දිගැති මංතීරු හතරකින් යුතු ෆ්‍රැන්සිස් ස්කොට් කී පාලම කන්ටේනර් නෞකාවේ ගැටී ගඟට කඩා වැටෙන අවස්ථාවේදී ගඟට වැටුණු වාහන අතර දැවැන්ත ට්‍රැක්ටරයක්ද ඇති බව වාර්තා වී තිබේ.

මෙම අනතුරෙන් පාලමේ ගැටුණු කන්ටේනර් නෞකාවේ ගමන්ගත් නැවියන්ට කිසිදු අනතුරක් සිදු වී නැතැයි නැව අයත් සිනර්ජි මරයින් ගෲප් සමාගම නිවේදනය කර තිබේ. අදාළ නැවෙහි ඉන්දීය නැවියන් 20 දෙනකු හා බෝල්ටිමෝර් වරාය නියමුවන් දෙදෙනකු අනතුර සිදු වන අවස්ථාවේ සිට තිබේ. කෙසේ වුවද අනතුරට මුල් වූ හේතුව සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කෙරෙන බව එම සමාගම පවසයි.

මේ අතර ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් මෙම නෞකා-පාලම් ගැටීම ව්‍යසනයක් ලෙසින් හඳුන්වා දෙමින් තමා බෝල්ටිමෝර් නගරයට යෑමට අදහස් කරන බවත් අනතුරෙන් විපතට පත් වූවන් සෙවීමට ප්‍රමුඛත්වය දී ඇති බවත් පවසා තිබේ.

ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment