පිරිමියා ඇඳ මත මියගිහින්: වයෝවෘද්ධ කාන්තාවගේ නිරුවත් මළ සිරුර කුස්සියේ

271

ශරීර කොටස් රස පරීක්‍ෂකට

මිරිහාන ජුබිලි මාවතේ නිවසක මියගොස් සිටියදී පෙරේදා (8 වැනිදා) හමුවූ වයෝවෘද්ධ යුවළගේ මරණ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකරන බව මිරිහාන මූලස්ථාන පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් තිබුණේ එඩ්වඩ් පරණවිතාන නමැති 96 හැවිරිදි අයෙක් හා වයලට් සූරියආරච්චි නමැති 80 හැවිරිදි වයෝවෘද්ධ කාන්තාවකි. මෙම යුවළ මීට දින කිහිපයකට උඩදී මියයන්නට ඇතැයි පොලිසිය සැකකරයි. දින කිහිපයක සිට දුඟඳක් හමන බවට අසල්වැසියන් විසින් සිදුකළ දැනුම් දීමක් මත පොලිසිය එම නිවසට ගොස් පරීක්‍ෂා කිරීමේ දී එම නිවසේ ඇඳක් මත වයෝවෘද්ධ පිරිමි පුද්ගලයාගේ මළ සිරුර සොයාගෙන තිබේ. තවදුරටත් නිවස පරීක්‍ෂා කිරීමේ දී එම නිවසේ මුළුතැන්ගෙයි තිබී නිරුවත් වයෝවෘද්ධ කාන්තාවගේ මළ සිරුර පොලිසිය විසින් සොයාගනු ලැබීය. නුගේගොඩ අතිරේක මහෙස්ත්‍රාත්වරයා මූලික මහෙස්ත්‍රාත් පරීක්‍ෂණය සිදුකළේය.

මියගිය අඹුසැමි යුවළගේ මෘතදේහ කළුබෝවිල දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ තැන්පත් කර තිබේ. මියගිය වයෝවෘද්ධ අඹුසැමි යුවළට දාව දරුවන් නොමැති අතර ඔව්හු වෙනත් දරුවකු හදා වඩාගෙන ඇත. එම දරුවා මේ වනවිට රත්නපුර පදිංචි වී සිටින බවද පොලිසිය කියයි. මෙම අඹුසැමි යුවළට අසල්වැසියන් විසින් ආහාරපානද ලබාදී තිබේ. මීට අමතරව ප්‍රජා පොලිස් කමිුව විසින් ද ඔවුන්ට ආහාරපාන, ඇඳුම් පැලඳුම් ලබාදී ඇතැයි ද පොලිසිය පවසයි. මේ පිළිබඳව මිරිහාන මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක මංජුල තුෂාර මහතාගේ උපදෙස් මත වැඩිදුර පරීක්‍ෂණ පැවැත්වේ. මියගිය වයෝවෘද්ධ යුවළගේ පශ්චාත් මරණ පරීක්‍ෂණය ඊයේ (9 දා) කළුබෝවිල දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලයේ දී සිදු කෙරිණි. එහිදී මියගිය යුවළගේ ශරීර කොටස් රජයේ රස පරීක්‍ෂකවරයා වෙත යොමු කරන ලෙසට පශ්චාත් මරණ පරීක්‍ෂණය සිදුකළ අධිකරණ වෛද්‍ය නිලධාරි දසනායක මහතා මිරිහාන පොලිසිය උපදෙස් ලබා දුන්නේය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ ඇන්ටන් ප්‍රනාන්දු

advertistmentadvertistment
advertistmentadvertistment