මහනුවර සහ සී. ආර්. ඇන්ඩ් එෆ්. සී. අපරාජිතයි

59

නිපෝන් පේන්ට් අභියෝග කුසලාන ලීග් ශූරතා රග්බි තරගාවලිය

ශ්‍රී ලංකා රග්බි පාපන්දු ආයතනයේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක කෙරෙන “නිපෝන් පේන්ට් අභියෝග කුසලාන” අන්තර් සමාජ ලීග් ශූරතා රග්බි පාපන්දු තරගාවලියේ 06 වැනි සතියේ ජයග්‍රහණ සටහන් කර ගනිමින් කැපී පෙනෙන්නට සී.ආර්. ඇන්ඩ් එෆ්.සී, මහනුවර, ගුවන් හමුදාව සහ සී. එච්. ඇන්ඩ් එෆ්. සී. කණ්ඩායම් සමත් විය.

ගුවන් හමුදාව හමුවේ යුද හමුදාව ලකුණු 03 කින් ද සී. එච්. ඇන්ඩ් එෆ්. සී. පිල හමුවේ පොලිසිය ලකුණු 06 කින් ද සී. ආර්. ඇන්ඩ් එෆ්. සී. පිල හමුවේ හැව්ලොක්ස් පිල ලකුණු 15 කින් ද මහනුවර හමුවේ නාවික හමුදාව ලකුණු 41 කින් ද පරාජය ලැබීය.

මහනුවර සමාජය සහ සී. ආර්. ඇන්ඩ් එෆ්. සී. යන දෙපිල තම අපරාජිත බව තවදුරටත් ආරක්ෂා කර ගැනීමට සමත් වීම මෙම සතියේ දී ද කැපී පෙණුනි. ඔවුන් තරග 06 බැගින් ජයග්‍රහණ අත් කර ගැනීමට සමත් වූහ. එහි ප්‍රතිඵලයක් ලෙස ප්‍රසාද ලකුණු පුවරුවේ මුල් ස්ථානය ආරක්ෂා කර ගෙන සිටින මහනුවර පිල සහ දෙවන ස්ථානයේ පසුවන සී. ආර්. පිල අතර අපරාජිතයන්ගේ සටන මේ සති අන්තයේ දී ක්‍රියාත්මක කෙරේ.

ගුවන් හමුදාව 17 යුද හමුදාව 14 යුද හමුදාවෙන් එල්ල වූ පීඩනකාරී අභියෝගයට අසීරුවෙන් මුහුණ දෙමින් ලකුණු 03 ක තියුණු ජයග්‍රහණයක් වාර්තා කර ගැනීමට ගුවන් හමුදාව සමත් විය.

ප්‍රථම භාගය නිමා වන විට ලකුණු 14 – 10 ක් ලෙස යුද හමුදාව පෙරමුණේ පසු වුවත් දෙවන භාගය තුළ ආක්‍රමණශීලී ක්‍රීඩා රටාවක නිරත වෙමින් අදාළ ජයග්‍රහණය සටහන් කර ගැනීමට ගුවන් හමුදාවට හැකියාව ලැබිණි.

ගෝල් දිනුම් 02 ක් සහ දඬුවම් පහරක් සාර්ථක කර ගනිමින් ගුවන් හමුදාවේ ලකුණු පුවරුව ඉහළ නංවා ගත් අතර යුද හමුදාවේ ලකුණු එකතුව ගෝල් දිනුම් 02 ක් ආශ්‍රිතව සටහන් විණි.

මහනුවර සහ සී. ආර්. ඇන්ඩ් එෆ්. සී. අපරාජිතයි

මහනුවර 48 නාවික හමුදාව 07

නාවික හමුදාව වැලිසර දී ලබා ගත් ලකුණු 07ට එරෙහිව ලකුණු 48 ක් වාර්තා කර ගනිමින් තම 06 වැනි ජයග්‍රහණය සටහන් කර ගැනීමට මහනුවරට හැකි විය.

තරගයේ ප්‍රථම භාගය නිමා වන විට ලකුණු තත්ත්වය 17 – 07 කි. ජයග්‍රාහී මහනුවර සමාජය ගෝල් දිනුම් 05 ක් එක් උත්සාහක දිනුමක් සහ එක් දඬුවම් පහරක් සාර්ථක කර ගනිමින් තම ලකුණු පුවරුව ක්‍රියාත්මක කර ගත් අතර පරාජිත පිලේ ලකුණු එකතුව එක් ගෝල් දිනුමක් ආශ්‍රිතව සටහන් වුණි.

සී. ආර්. ඇන්ඩ් එෆ්. සී 25 – හැව්ලොක්ස් 10

ප්‍රථම භාගය තුළ හැව්ලොක්ස් පිල සංවිධානාත්මක ක්‍රීඩා රටාවක නිරත වෙමින් පෙරමුණ ගැනීමට සමත් වුවද තරගය සඳහා නියමිත කාලය නිමා වන විට ලකුණු 25 – 10 ක් ලෙස ජය සටහන් කර ගැනීමට සී. ආර්. පිල සමත් වීම කැපී පෙනුණි. සී. ආර්. පිල ගෝල් දිනුම් 01, උත්සාහක දිනුම් 03 සහ දඬුවම් පහර 01 මගින් ලකුණු සටහන් කර ගත් අතර පරාජිත පිලේ ලකුණු එකතුව ගෝල් දිනුමක් සහ දඬුවම් පහරක් ආශ්‍රිතව සටහන් වුණි.

සී. එච්. ඇන්ඩ් එෆ්. සී. 18 පොලිසිය 12

සී. එච්. පිල සහ පොලිස් පිල අතර පැවති තරගය තියුණු මුහුණුවරක් ගත් නමුත් විනිසුරුගේ අවසන් නලා හඬ නිකුත් වන විට ලකුණු 18 – 12 ක ජයග්‍රහණයක මිහිර අත්විඳින්නට සී. එච්. ක්‍රීඩකයෝ සමත් වූයේ සුපිරි වටයට පිවිසීමේ බලාපොරොත්තුව ද ඇතිවය. තරගයේ ප්‍රථම භාගය නිමා වන විට ලකුණු තත්ත්වය 18 – 07 කි.

උත්සාහක දිනුම් 03 ක් සහ දඬුවම් පහරක් සාර්ථක කර ගැනීමට සී. එච්. පිල සමත් වන අතර වාරයේදී පොලිස් පිලට සටහන් කර ගැනීමට හැකියාව ලැබුණේ ගෝල් දිනුමක් සහ දඬුවම් පහරක් පමණි.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment