නීති විද්‍යාල ගාස්තු මෙච්චර නැග්ගේ ඇයි ? – අනුර කුමාර දිසානායක

104

දීර්ඝ උත්තරයකට සති දෙකක් කල් දෙන්න – ඇමැති විජයදාස රාජපක්‍ෂ

නීති විද්‍යාල ප්‍රවේශ ගාස්තු ඉහළ දැමීම් සම්බන්ධයෙන් ජාතික ජන බලවේගය නායක කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තුවේදී ඊයේ (24 දා) 27/2 යටතේ විශේෂ ප්‍රකාශයක් කරමින් අධිකරණ ඇමැතිවරයාගෙන් විමසීය.

ලබන වසරේ (2024) සිට නීති විද්‍යාලය වෙත ඇතුළු වන සිසුන්ට ප්‍රවේශ ගාස්තු, අභ්‍යන්තර ගාස්තු ඇතුළු අනෙකුත් ගාස්තු අසාධාරණ ලෙස ඉහළ දමා ඇතැයි ද කී මන්ත්‍රීවරයා ඒ හේතුවෙන් නීති විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබීමට සිටින සිසුන් සහ ඔවුනගේ දෙමාපියන් අසරණ වී ඇතැයි ද කීය.

කලින් රුපියල් 6000 ක් වූ නීති විද්‍යාල ප්‍රවේශ විභාග ගාස්තු රුපියල් 15000 දක්වා සියයට එකසිය පනහකින් වැඩි කර ඇතැයි ද ඇතුළත් වීමේ ගාස්තු, පුස්තකාල, දේශන, පහසුකම් ආදී පළමු වසරේ අධ්‍යයන ගාස්තු සියයට 257කින් වැඩි කර ඇතැයි ද හෙතෙම කියා සිටියේය.

ඒ අනුව කලින් පැවැති රුපියල් 18900 ක්වූ එම මුදල 67500 දක්වා වැඩි කර ඇතැයි ද දෙවැනි වසරේ සිසුවකුට ගෙවීමට සිදුවූ රුපියල් 15000 ක මුදල දැන් 40500 දක්වා වැඩි කර ඇතැයි ද අවසන් වසර ගාස්තුව රුපියල් 19500 සිට 55500 දක්වා වැඩි කර ඇතැයි ද කී ඒ මහතා ඊට අමතරව ප්‍රායෝගික පුහුණුව සඳහා අය කරන රුපියල් 6000 ගාස්තුව රුපියල් 25000 දක්වා ඉහළ නංවා ඇතැයි ද කීය.

විශේෂ නීති උපාධිය ලබන සිසුන්ගේ ගාස්තු ද විශාල වශයෙන් වැඩි කිරීම් සිදු කර ඇතැයි ද එබැවින් මෙම අසාධාරණ ලෙස විශාල පරිමාණයෙන් ගණන් ඉහළ දැමීම් පිළිබඳව සම්පූර්ණ පිළිතුරක් ලබා දෙන ලෙස ද අනුර කුමාර දිසානායක මහතා ඉල්ලුවේය.

මෙම වැඩි කිරීම් ඇතුළු සියලු තීරණ අගවිනිසුරු යටතේ ඇති ස්වාධීන ආයතනයක් වන නීති අධ්‍යන ආයතනය විසින් සිදු කර ඇති බැවින් සහ දීර්ඝ උත්තරයක් ඉල්ලා ඇති බැවින් ඊට පිළිතුරු දීමට සති දෙකක කාලයක් ලබාදෙන ලෙස අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා ඉල්ලා සිටියේය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment