පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ මෛත්‍රීගේ රිට් පෙත්සම පිළිබඳ විවාදය ඔක්.16 ඇරඹේ

108

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ඔහුට එරෙහිව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර ඇති නඩුවකට එරෙහිව ගොනුකර ඇති රිට් ආඥා පෙත්සම සම්බන්ධයෙන් විවාදය අභියාචනාධිකරණ පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේදී ලබන ඔක්තෝබර් 16 වැනිදා ආරම්භ කිරීමට අභියාචනාධිකරණය ඊයේ (31දා) දින නියම කළේය.

එම පෙත්සම ඊයේ (31දා) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න හා එම්. ඒ. ආර්. මරික්කාර් යන මහත්වරුන් හමුවේදී කැඳවිණි.

පාස්කු ප්‍රහාර මාලාවක් එල්ල වන බවට තොරතුරු ලැබී තිබියදීත් ඒවා වළක්වා ගැනීමට නිසි පියවර නොගත් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට එරෙහිව නිසි නීතිමය පියවර ගන්නා ලෙසට නියෝගයක් කරන්නැයි ඉල්ලා සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා සහ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට එල්ල වූ බෝම්බ ප්‍රහාරවලින් බරපතළ තුවාල ලබා පාදයක් අහිමිවූ ජේසුදාසන් ගනේෂන් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෞද්ගලික නඩුවක් පවරා තිබිණි.

එකී නඩුවට එරෙහිව මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ගොනුකර තිබූ රිට් ආඥා පෙත්සම සම්බන්ධයෙන් විවාදය සඳහා පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් පත්කරන ලෙසට එම පෙත්සමේ තුන්වන වගඋත්තරකරු ලෙස නම් කොට තිබූ සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයාගෙන් ඉල්ලා තිබිණි.

එම ඉල්ලීම සලකා බැලූ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා විසින් කළ නියෝගය අනුව අභියාචනාධිකරණ රෙජිස්ටාර්වරයා විසින් පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් නම්කර තිබූ නමුත් එකී විනිසුරු මඬුල්ලට නම් කළ විනිසුරු නීල් ඉද්දවෙල මහතා පෞද්ගලික හේතූන් මත විනිසුරු මඬුල්ල නියෝජනය නොකරන බව දැනුම් දී ඇතැයි සභාපති විනිසුරුවරයා පැවසීය. ඔහු වෙනුවට අභියාචනාධිකරණ විනිසුරු ඩී. එම්. සමරකෝන් මහතා නම් කර පංචපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේදී ලබන ඔක්තෝබර් 16 වැනිදා විවාදය පැවැත්වීමට පියවර ගන්නැයි සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා අභියාචනාධිකරණ රෙජිස්ටාර්වරයාට නියෝග කළේය.

නීතිඥ කීර්ති තිලකරත්න මහතා පෙත්සම්කාර මෛත්‍රිපාල සිරිසේන මහතා වෙනුවෙන් පෙනී සිටි අතර නීතිඥ තිළිණ පුංචිහේවා, තේජිත කෝරළගේ, උදාර මුහම්දිරම්ගේ හා නාමල් කරුණාරත්න යන නීතිඥ මණ්ඩලය සමග ජ්‍යෙෂ්ඨජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා සිරිල් ගාමිණී පෙරේරා පියතුමා වෙනුවෙන් පෙනී සිටියේය.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඩිලාන් රත්නායක මහතා නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටියේය.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment