රටට අවශ්‍ය වෙනස ඇති කරන්න බැරි නම් වහා මැතිවරණයකට යා යුතුයි – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

59

රටට වෙනසක් අවශ්‍ය බවත් එම වෙනස වත්මන් පාලකයන්ට ඇති කරන්න බැරි නම් වහා මැතිවරණයකට යා යුතු යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ආණ්ඩුවේ ක්‍රියාකලාපය නිසා රටේ ජනතාව අන්ද මන්ද වී ඇති බවත් හෙතෙම කීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඉකුත් (30දා) අනුරාධපුර අටමස්ථානයේදීය. එහිදී විපක්ෂ නායකවරයා වැඩිදුරටත් මෙසේද පැවසීය.

දුර්වල රාජ්‍ය පාලනය නිසා කබලෙන් ලිපට වැටිලා ජන ජීවිත විනාශ මුඛය කරා ගිහිල්ලා. මේ රටේ සාමාන්‍ය ජනතාව අන්ත අන්ධකාරයට පත්වෙලා. ගොවි ජනතාවට තමන්ගේ නිෂ්පාදන වී ටික ස්ථාවර මිලකට විකුණා ගන්න බැරි වෙලා. රුපියල් 60ට 65ට 70ට වී ටික අලෙවි කර ගෙන කොහොමද ගොවියා කරපු වියදම මඟහරවා ගන්නේ. කොහොමද තමන්ගේ දූදරුවන්ට අත්‍යාවශ්‍ය ආහාර පාන ටික ලබා දෙන්නේ. ණය බරෙන් මිරිකිලා පීඩනයෙන් තෙරපිලා ඒ මදිවට සේනා දළඹුවාගෙන් ඇති වී තිබෙන උවදුර තුළ මේ රටේ ගොවි ජනතාව ඉමහත් පීඩනයකට අසහනයකට ලක්ව තිබෙනවා. රටේ ජනතාව දුක් විදින කොට වද විදින කොට බංකොලොත් රටේ රජය කරන්නෙ ජනතාවගේ කර පිටින් කොමිස් ගැසීම සහ හොරා කෑම. මේ මොහොත වන විටත් කෝටි ප්‍රකෝටි ගණනක කොමිස් ලබා ගෙන තමන්ට කැමැති ආයතන මිලදී ගැනීමට අවස්ථාව ලබාදීලා. අතිවිශාල මුදල් ප්‍රමාණයක් මේ රටට පාඩු කරන තත්ත්වයක් අද සෞඛ්‍ය අමාත්‍යාංශය ක්‍රියාත්මක කරනවා. බංකොලොත් රටේ ජනතාව මරණ මංචකයට ගෙන යන්න සෞඛ්‍ය අමාත්‍යවරයා කටයුතු කරනවා. අල්ලස දූෂණය හොරකම වංචාව සෞඛ්‍ය ක්ෂේත්‍රය පුරාවට ව්‍යාප්ත වෙලා. බාල බෙහෙත් නිසා ජීවිත අහිමි වෙලා. මේ රටේම ජනතාව අන්ධ භාවයට පත් වෙනවා.

මෙවන් තත්ත්වයක් තුළ රටට පැහැදිලි වෙනසක් අවශ්‍යයි. ඒ වෙනස තීන්දු කරන්න ඕන මේ රටේ ජනතාව. ඒ නිසා වහාම රජයෙන් ඉල්ලීමක් කරනවා තමුන්නාන්සේලාට මේ රට යහමගට ගෙන යන්න බැරි නම් යහපත් රාජ්‍ය පාලනයක් ක්‍රියාත්මක කරන්න බැරි නම් වහාම ජන වරමකට යන්න සූදානම් වෙන්න. මේ රටේ ජනතාව ඉදිරියට ගිහිල්ලා මැතිවරණයකට මුහුණ දීලා ජනතා මතය තුළ අපි සූදානම් ජනතාව කියන විදිහට ජනතාවාදී ආණ්ඩුවක් නිර්මාණය කරන්න. රජයට කියන්න කැමතියි ජනමතයට බය වෙන්න එපා. ඡන්දවලට බය වෙන්න එපා. මේ බියගුලු‍ නිවට ක්‍රියාවෙන් ඉවත් වෙලා රටේ ජනතාවට තමන්ගේ පොදුජන ආණ්ඩුව බිහි කරන්න වහාම ඡන්දයක් ලබා දෙන්න කියලා ඉල්ලීමක් කරනවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අභයගිරිය, උඩමලු‍ව, රුවන්වැලිසෑය, ඉසුරුමුණිය, ථූපාරාමය සහ සාරානන්ද පිරිවෙන ආදී විහාරස්ථානවල චාරිකාවක නිරත වෙමින් මහා සංඝරත්නය බැහැ දැක ආශිර්වාද ගැනීමද සිදු විය. මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා සහ ප්‍රාදේශීය දේශපාලනඥයන් රැසක්ද එක්ව සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment