පන්දු යවන්නන් සහ මැදපෙළ පිතිකරුවන් ජයග්‍රහණය පහසු කළා – ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ්

313

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ පැවැති ශ්‍රී ලංකා – බංග්ලාදේශ ඒක්දින තරගයේදී ලකුණු 32කට කඩුලු හතරක් දවා ගනිමින් තරගයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස තේරුණු වේගපන්දු යවන මතීෂ පතිරණ දීප්තිමත් අනාගතයකට හිමිකම් කියන තරුණ ක්‍රීඩකයකු යැයි ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් සඳහන් කර සිටියි.

ජාත්‍යන්තර මට්ටමට මේ වන විට පිවිස සිටින මුල් කාලයේදී වුවද මතීෂ පතිරණ නව පන්දුව දක්ෂ අයුරින් යැවීමට යෝග්‍ය තත්ත්වයකට පත්ව සිටින බව පැවසූ ශ්‍රී ලංකා පුහුණුකරු ඉදිරියේදී මේ තරුණ පන්දු යවන්නා හොඳින් දක්ෂතා පෙන්වනු ඇතැයි ද කීය.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේදී දස්කම් දැක්වීමෙන් පසු ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේදී පන්දු යැවීමේ දිගු පුහුණුවක් ලබා ගත් මොහු පසුව ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේදී දක්ෂතා වඩාත් ප්‍රගුණ කර ගනිමින් මේ වන විට පන්දු යැවීමේ පුහුණුකරුවන්ගේ අධීක්ෂණය යටතේ උපරිම තත්ත්වයකට පත්වෙමින් සිටින බව ද ඔහු කියයි.

ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරගය පිළිබඳව සිය අදහස් දැක් වූ ශ්‍රී ලංකා පුහුණුකරු ජයග්‍රහණය කරා යායුතු ලකුණු ප්‍රමාණය අඩු වුවත් එය පහසු කාර්යයක් නොවූ බවත් කණ්ඩායම් දෙකේම ඉදිරි පෙළ පිතිකරුවනට නව පන්දුවට මුහුණදීම අසීරු කාර්යයක් වූ බව ද පැවසීය.

“පල්ලේකැලේ තණතිල්ල හොඳ තත්ත්වයක පැවැතියත් නව පන්දුවට මුහුණදීම එහි මඳක් අපහසු වූවා. තරගයේ කාසියේ වාසිය දිනුවා නම් ගත යුතු තීරණය පිළිබඳව අප සාකච්ඡා කළත් අපට මුලින් පන්දු යැවීමේ අවස්ථාව හිමි වූවා. අපගේ පන්දු යවන්නන් සහ මැදපෙළ පිතිකරුවන් තම කාර්යය හොඳින් ඉටු කිරීම නිසා අපට පහසු ජයග්‍රහණයකට යාමට අවස්ථාව උදා වූවා.”

“බංග්ලාදේශ කණ්ඩායමේ වමත් සහ දකුණත් පිතිකරුවන් රැසක් සිටියත් ඊට උචිත අයුරින් අප සතුව පිට දඟපන්දු සහ පා දඟපන්දු යවන්නන් සිටීම වාසියට කරුණක්. අප ඉදිරියේදී සකස් කරගත යුතු ප්‍රධාන අංගයක් වන්නේ පන්දු රැකීම මීට වඩා දියුණු කර ගැනීමයි. අපගේ පන්දු රැකීමේ පුහුණුකරුවන් මේ වන විට අදාළ කටයුතු සිදු කරගෙන යනවා. මේ තරගයේදී අසීරු උඩ පන්දුවක් ගිලිහුනත් ඉන්පසු කටයුතු හොඳින් සිදු වූවා.”

ආබාධ තත්ත්වයෙන් පසුවන වනිඳු හසරංග නැවත පුහුණු තරගවලින් පසුව කණ්ඩායමට එක්වේවි. ඔහුගේ දක්ෂතා කණ්ඩායමට අවශ්‍යයි. මේ වන විට එම හිස්තැන දුනිත් වෙල්ලාලගේ පුරවනු ඇති යැයි ද ක්‍රිස් සිල්වර්වුඩ් පැවසීය.

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පෙරේදා පැවැති තරගයෙන් ශ්‍රී ලංකාව කඩුලු 5ක ජයක් අත් කර ගත්තේය. ශ්‍රී ලංකාව ලද එම ජයග්‍රහණය මත සුපිරි හතර දෙනාගේ වටයට යෑමේ වැඩි අවස්ථා උදාකර ගැනීමට සමත්වී සිටියි.

කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශය පළමුව පන්දුවට පහරදීමට තීරණය කොට ඕවර් 42.4කදී ලකුණු 164ක් ලබාගත් අතර, ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුලු 5ක් දැවී ලකුණු 165ක් ලබා එම ඉලක්කය හඹා ගියහ. ශ්‍රී ලංකා පළමු කඩුලු 3ක් ලකුණු 43කට දැවී ගොස් තිබියදී පිටියේ එක් වූ සධීර සමරවික්‍රම හා චරිත් අසලංක සිවුවැනි කඩුල්ලට පන්දු 110කදී ලකුණු 78ක සම්බන්ධතාවක් ගොඩ නැගීම හේතුවෙන් තරගයේ ජයග්‍රහණය පහසු විය. බංග්ලාදේශ පිතිකරුවන් 4ක්ම දවාගත් 20 හැවිරිදි මතීෂ පතිරණ තම එක්දින ජාත්‍යන්තර දිවියේ හොඳම පන්දු යැවීම මේ තරගයේදී වාර්තා කළේය. මතීෂ ඕවර් 7.4ක් යවා ලකුණු 32කට කඩුලු 4ක් බිඳ හෙළීය.

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් සධීර සමරවික්‍රම පන්දු 77කදී හතරේ පහර 6ක් සමග ලකුණු 54ක් ලබාගත් අතර, ඔහුට අනගි සහයක් දුන් චරිත් අසලංක 9 වැනි අර්ධ ශතකය වාර්තා කරමින් පන්දු 77කදී හයේ පහරක් හා හතරේ පහර 5ක් සමග නොදැවී ලකුණු 62ක් ලබා ගත්තේය. නායක දසුන් ශානක නොදැවී ලකුණු 14 ක් ලබා සිටියේය.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment